හැමෝම කැමති තමන්ගේ විවාහය දවසේ සුන්දර මනාලියක් වෙන්න..
ඉතින් ඔයත් සමහරවිට උඩරට මනාලියක් විදිහට හැඩ වෙන්න හීන දකිනවා ඇති..
එහෙනම් ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න ගොඩක් ආස වෙයි.. මේ උඩරට මාල කට්ටලය පත්තිනි දෙවියන්ගේ ආභරණ කට්ටලය යැයි මතයක් පවතිනවා. මේ මාල ඉතා දිගයි. මෙයින් සංකේතවත් කරන්නේ මනාලියගේ ශරීරයේ ඇති සෞඛ්‍ය ගැටළු සහ රෝගී තත්වයන් මාලය දිගේ පොලව වෙත ගොස් මනාලිය නිරෝගී වන බවයි. ඊට අමතරව මාල හත මඟින් හත්මුතු පරම්පරාව නොහොත්, පරම්පරා හතක් නියෝජනය කරන බවටත් මතයක් පවතිනවා. ඊට අමතරව මේ එක් එක් මාලවලින් මෙන්න මේ වගේ අදහසක් පිළිබිඹු වෙනවා..
හංස පූට්ටු මාලය
මෙය මනාලිය පළඳින මාල අතරින් බලවත්ම මාලය ලෙස සැලකෙනවා. මෙහි හංසයන් නිර්මාණය කර ඇත්තේ එකට පූට්ටු වී සිටින ලෙසයි. මෙයින් අදහස් කරන්නේ විවාහක යුවල වෙන් නොවී, සදාකාලයටම බැඳී සිටින බවයි.
හංස පූට්ටු තැල්ල රැඳවිය යුත්තේ මනාලියගේ පපුව මතයි. මෙයින් අදහස් කරන්නේ මනාලිය යම් දිනක මවක් වී, තම කිරෙන් දරුවන් පෝෂණය කරන බවයි.
පදක්කම් මාලය
පදක්කම් මාලය මනාලියට පළඳවන්නේ ඇගේ පියා විසිනුයි. එයින් අදහස් කරන්නේ මනාලිය මෙතෙක් කල් පියාගේ ගෞරවය ආරක්ෂා කළ පරිදිම අනාගතයේදී සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන බවයි.
මකර මාලය
මකර මාලය පැළඳීමෙන් නවග්‍රහ අපල සහ වස් දොස් දුරු වන බව විශ්වාස කරනවා.
කිරි මාලය
කිරි මාලය රැඳවිය යුත්තේ මනාලියගේ පපුවට පහලිනුයි. එයින් අදහස් කරන්නේ ඇයව වැළඳගෙන සිටින දරුවන්වයි.
අගස්ති මාලය
අගස්ති මාලයෙන් සංකේතවත් කෙරෙන්නේ අවාසනාව දුරු වී, සෞභාග්‍යය උදා වන බවයි. අගස්ති මනාලියගේ සිරුරේ ගැටීමෙන් සියලු අපල දුරු වන බව විශ්වාස කරනවා.
ධාන්‍ය මාලය
ධාන්‍ය මලයෙන් සංකේතවත් කරන්නේ මනාලියගේ මනා සෞඛ්‍ය තත්වයයි.
පෙති මාලය
පෙති මාලයෙන් මනාලියගේ පවිත්‍රතාවය සංකේතවත් කරනවා. එමඟින් අපල දුරු වන බව විශ්වාස කරනවා.
කර මාලය
මෙය මනාලියට පළඳවන්නේ මනාලයායි. මෙය අතීතයේ සිට පැවත එන සිරිතක් වෙනවා.
එසේම උඩරට ආභරණ කට්ටලයට ඇතුළත් වෙන අනෙකුත් ආභරණ අතරට මෙන්න මේ දේවල් අයත් වෙනවා..
නළල් පටිය
මෙය මනාලියට පළඳවන්නේ ඇගේ මව විසිනුයි. නළල් පටිය පළඳවන අවස්ථාවේ පිරිත් කීම සිදු කරනු ලබනවා. නළල් පටියේ දකුණු පැත්තෙන් මනාලයවත්, වම පැත්තෙන් මනාලියවත් සංකේතවත් කරනවා.
ඉර හඳ ආභරණය
ඉර මනාලියගේ හිසේ දකුණු පැත්තෙත්, සඳ වම් පැත්තෙත් පළඳවනවා. හිරුගේ ගති ගුණ තරුණයාටත්, සඳුගේ ගති ගුණ තරුනියටත් සමාන කරන අතර ඉර හඳ පවතින තුරු දෙදෙනාගේ බැඳීම ආරක්ෂා වෙන බවත් එයින් සංකේතවත් කරනවා. මේ ආභරණය පැළඳීම නිසා, මනාලියට තමාගේ පතිවෘතාව ආරක්ෂා කර ගැනීමට ශක්තිය ලැබෙන බව විශ්වාස කරනවා.
කොණ්ඩා කූරු
මේවා පළඳවන්නේ හිසේ පිටුපසටයි. මේවා පැළඳිමෙන් ඇයට සෞභාග්‍යය සහ වාසනාව ලැබෙන බව විශ්වාස කරනවා.
කරාබු නොහොත් කඩුක්කන්
මෙවයෙනුත් සංකේතවත් කෙරෙන්නේ මනාලියට ලැබෙන සෞභාග්‍යය පිළිබඳවයි.
අත් පළඳනා
වළලු ලෙස අගස්ති වළලු සහ බංගලි වළලු පළඳිනවා. මුදු ඇඟිලි පහටම පළඳිනවා. මුදු වලින් මනාලියට නිරෝගී ජිවිතයක් හිමි වන බව සංකේතවත් කරනවා.
හවඩිය
හවඩිය පළඳින්නේ මනාලියගේ ඉනේ නියම හැඩය ඔප් නැංවීමටයි.