master
New Page 1

තෛපොංගල් උත්සවය අද


2017-01-13 07.45 AM -  617 යි

හිරු ස්‌වභාව ධර්මයාගේ අපූර්ව නිර්මාණයකි. හිරු නොමැති නම් මෙලොව ජීව වස්‌තු කිසිවකට පැවැත්මක්‌ නොමැත. මිනිසාගේ පැවැත්මටත්, හිරු අත්‍යවශ්‍ය සාධකයකි. මිනිසාට අවශ්‍ය ආහාර ශාක පත්‍රවල නිෂ්පාදනය කරන්නේ හිරුගේ උපකාරයෙනි. මෙම ක්‍රියාවලිය ප්‍රභාසංශ්ලේෂණය ලෙස හැඳින්වේ. එනම් හිරුගේ ශක්‌තියෙන් ශාක පත්‍ර ආහාර නිෂ්පාදනය කිරීම මින් අදහස්‌ කෙරේ.

ප්‍රධාන වශයෙන් හිරු සියලු ජීව රාශින්ට ජීවත් වීමට ශක්‌තිය ලබාදුන් නිසා ලොව සෑම ජීවියෙක්‌ම හිරුට සදා ණය ගැතිය. මෙම ණය ගැති භාවයෙන් මිදීම පිණිස ලෝකයේ බොහෝ ජාතීන් හිරු දෙවියන් පුදනු ලබති. තෛපොංගල් දිනයේ දී හිරු දෙවියන්ට පූජෝපහාර කරනු ලබති. තෛපොංගල් යනුවෙන් නැති වුණත් මෙම උත්සවය කැනඩාවේ, ජපානයේ කොංගෝ දුපත්වල සමරති. තෛපොංගල් වශයෙන් සමරන්නේ ද. ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව සහ ශ්‍රී ලාංකික දෙමළ හින්දු ජනතාව ලොව පුරා වාසය කරන රටවල්වලය. "තෛ" යනුවෙන් අදහස්‌ කරනු ලබන්නේ "තෛ" මාසය නොහොත් දුරුතු මාසයයි. "පොංගල්" යන්නෙහි අදහස ඉතිර වීමයි. එනම් කිරි ඉතිරවීමයි. මෙම කිරි ඉතිරවීම සිදු කරනු ලබන්නේ සූර්ය දිව්‍ය රාජයා උදෙසාය.

දෙමළ හින්දු ජනතාව තෛපොංගල් උත්සවය සැමරීමේ මූලික පරමාර්ථය කරගෙන ඇත්තේ ආහාරපාන සපයා ගැනීමට උදව් උපකාර කරන සියලුම ජීව අජීව වස්‌තූන්ට කෘතවේදී බව ප්‍රකාශ කිරීමටය. තෛපොංගල් ඇරැඹීමට "සිලප්පදිකාරම්" මහා කාව්‍ය කෘතිය මෙසේ සඳහන් කරයි. "පෝට්‌ටි්‍රඩුවෝම් යිරු පෝට්‌ටි්‍රඩුවෝම්" යනුවෙනි මෙහි පොට්‌ටි්‍රඩුවෝම් යන්නෙන් අදහස්‌ කරන්නේ "ප්‍රශස්‌ති ගායනා කරමු" යන්නයි. යිරු යන්නෙන් අදහස්‌ කරන්නේ "හිරු" ය. හිරුට ප්‍රශස්‌ති ගායනා කරමු යන්න මෙයින් අදහස්‌ වේ.

මෙසේ ප්‍රශස්‌ති ගායනා කරන්නේ කිරි ඉතිර වීමෙනි. දෙමළ හින්දු ජනයා කිරි උතුරවන හැලියේම කිරිබතක්‌ පිස එය හිරු දෙවියන්ට පුදනු ලබති.

මෙම තෛපොංගල් උත්සවයේ සමාජ විද්‍යා වටිනාකමක්‌ද ඇත. එනම් මෙම උත්සවයට පෙර දිනයේ සිටම දෙමළ හින්දු ජනතාව කරනු ලබන වතාවත්වලින් එය ඉස්‌මතු වී පෙනේ. තෛපොංගල් දිනය එළැඹෙන්නට පෙර දින සියලුම ගෙවල් දොරවල් ශුද්ධ පවිත්‍ර කර පරණ දෑ ඉවත් කොට කිරි ඉතිරවීම සඳහා සුදුසු භූමි භාගයක්‌ තෝරා ගනිති. මෙම භූමි භාගයට අනිවාර්යයෙන්ම හිරු එළිය වැටී තිබිය යුතුය. එම භූමි භාගය බොහෝ විට නිවෙස්‌ තුළ නොව එළිමහනේ සකස්‌ කර ගැනීමට අමතක නොකරති.

මෙසේ තෝරාගත් භූමි භාගය මත ගොම පිරියම් කර සකස්‌ කර ගනිති. මෙම භූමි භාගයේ හතර කොනේ කෙසෙල් ගස්‌ හතරක්‌ සිටුවා එම කෙසෙල් ගස්‌ අතර කොඩිවැල් ඇද එම කොඩිවැල්වලට අඹ කොළ, ගොක්‌ කොළ එල්ලති. භූමියේ හුණුවලින් හෝ හාල් පිටිවලින් "කෝලම්" (මල් රටා) දමති. මෙම කෝලම්වලින් සශ්‍රීකත්වය පිළිබිඹු වේ.

මෙම කෝලම් දමනු ලබන්නේ හාල්පිටිවලිනි. මේවා එසේ කරනු ලබන්නේ පොළවේ වෙසෙන කුඩා කෘමීන්ට ආහාරයක්‌ වන්නටය. මෙම භූමි භාගය තුළ අලුත් ළිපක්‌ කරවා අලුත් මුට්‌ටියක කිරි උතුරවා ගනිති. මෙම කිරි ඉතිරීගෙන එන අවස්‌ථාවේදී නිවසේ සියලු දෙනාම එක්‌වී "පොංගලෝ, පොංගල්" යනුවෙන් හඬ නඟා හිරුට නමස්‌කාර කරති. අනතුරුව මෙම කිරි මුට්‌ටියට පිරිසිදු කරගත් හාල් දමති. පසුව කිරිබත රස කරගැනීම සඳහා මුං, මුද්දරප්පලම්, හකුරු, කජු ආදිය ද එක්‌කර ගනිති.

මෙම කිරිබත හොඳට ඉදුණු පසු එම භූමි භාගයේම කෙසෙල් කොළවලට දමා හිරුට පූජා කරති. එයට ගෙදරදී සාදාගත් රසකැවිලි වන උඳු වඩේ, පැණි වළලු ආදී කොටගත් කැවිලි සමඟ කෙසෙල් ගෙඩි පුදනු ලැබේ. මෙහිදී පොල් ගෙඩියක්‌ද බිඳ එයද කෙසෙල් කොළයේ පසෙකින් තබනු ලැබේ. ඉන් අනතුරුව නිවසෙහි ගෘහ මූලිකයා ඇතුළු සියල්ලෝම හිරු දෙවි නමස්‌කාරය කරනු ලබති. ඉන් අනතුරුව ගණ දෙවියන් ඇතුළු සියලු දෙවිවරුන්ට තම නිවස තුළ ඇති දේවාලයේ මේ සියල්ලක්‌ම පුදා වැඳ ආශිර්වාද ලබා ගනිති.

අනතුරුව කිරිබත සමඟ රසකැවිලි නිවැසියන් සමඟ නෑදෑ හිතමිතුරන්ටදී අනුභව කරති. ඉන් සූර්යයා උදෙසා පූජෝපහාරය නිමා වූවත් දවසේම ආගමික වතාවත් කිරීමට කෝවිල්වලට යති. නෑදෑ හිතමිතුරන්ගේ නිවෙස්‌වලට යැමටත්, ක්‍රීඩා උත්සව පැවැත්වීමටත් උත්සුක වෙති.

දෙමළයේ ප්‍රස්‌ථා පිරුළක්‌ මෙසේ එයි. "තෛපිරන්දාල් වලිපිරක්‌කුමි" තෛ මාසය ලැබුවහොත් මාවත විවෘත වේ හෝ මාවත ඉපදේ යන්න මින් අදහස්‌ වේ. දෙමළ හින්දු ජනතාව තෛ මාසය නොහොත් දුරුතු මාසය ලැබුවාම "වාසනාව" උදා වෙනවා යයි විශ්වාස කරනු ලබති. මෙම මාසය වාසනාව උදාවීමත් සමඟ ගොවියන්ට ගොවිතැන සඳහා උදව් උපකාර කළ සතුන්ට, උපකරණවලට ප්‍රස්‌ථා පිරුළක්‌ ගොඩනැඟී ඇත. එනම් "උන්ඩි්‍ර කොඩුත්තෝරේ උයිර් කොඩුත්තෝ" යනුවෙන්ය.

මෙයින් අදහස්‌ වන්නේ "හදවතින්ම දන් දුන් අය පණ දුන් අය වේ" යන්නයි. එනම් දෙන විට ලෝභය නොමැතිව ඉත සිතින්ම දන් දිය යුතුය යන අදහස මතු වේ. අස්‌වැන්න පැහෙන්නේ කිසිදු ලෝභ ෙච්තනාවක්‌ නොමැතිව බව ඉන් අදහස්‌ වේ.

තෛපොංගල්වල දෙවැනි දිනය එනම් මෙවර පහළොස්‌ වැනිදා (15 දා) ගොවිතැනට උපකාර කරන සත්ව සමූහයට කෘතවේදී වීමට අමතක නොකරති. මෙය මාටු පොංගල් නොහොත් පට්‌ටිපොංගල් යනුවෙන් හඳුන්වනු ලබති. මෙහිදී ගවයන්, එළුවන්, බැටළුවන් ආදී සතුන්ව නහවා උන්ව අලංකාර කර ගනිති. අනතුරුව ගවහල්, එළු පට්‌ටි, බැටළුහල් ශුද්ධ පවිත්‍ර කර අඹ අතු, ගොක්‌ අතු එල්ලා එය සරසා උත්සවාකාරයෙන් එම උත්සවය සමරති.

මෙම උත්සවයේ දී ගවහල් ඉදිරිපිට මිදුල ශුද්ධ පවිත්‍ර කර ගොම පිරියම්කොට ළිපක්‌ බැඳ භූමියේ කෝලම් රටා දමා කිරිබතක්‌ පිස ගනිති. මෙම කිරිබත් හකුරු හෝ සීනි, මුද්දරප්පලම්, කජු ආදිය දමා රසකර ගනිති. මෙසේ කිරිබත සකස්‌ කර ගැනීමෙන් අනතුරුව කිරිබත දෙවියන්ට පුද කිරීමට, එම ගවයා ඉදිරියේ ගණදෙවි, මුරුගන් (කතරගම) දෙවි, ලක්‍ෂ්මී, සරස්‌වතී වැනි දේව රූප තබා ඒවා ඉදිරියේ කිරිබත සහ කැවිලි පෙවිලි පුදා වැඳ නමස්‌කාරකොට ඉන් අනතුරුව ඒවා ගවයන්ට, එළුවන්ට, බැටළුවන්ට කවති. එදින මෙම සතුන්ගෙන් වැඩ කරවා ගන්නේ නැත.

තෛපොංගල් උත්සවයේ තෙවැනි දිනය කානුම් පොඩි යනුවෙන් හැඳින්වේ. මෙම දිනයේ දී කාන්තාවෝ බතක්‌, හත්මාළුවක්‌ එනම් එළවළු හතක්‌ හෝ තුනක්‌ සමඟ බත එකට පිසගනු ලැබේ. ඊටපසු කපුටන් ඉන්න තැනකට ගොස්‌ බත් පිඬුකොට කපුටු දානයක්‌ සේ දෙති. මෙසේ දෙන විට ඔවුන් විසින් කරනු ලබන ප්‍රාර්ථනයක්‌ද වේ.

කාක්‌කා පොඩි වෛත්තේන්

කානුම් පොඩි වෛත්තේන්

උන්කූඩම් කලෛන්දානුම්

එන්කුඩම් කලෛයාදු

මෙහි සිංහල තේරුම මෙසේය.

කපුටන් හට බත් පිඬක්‌

කානුම් පොඩි බත් පිඬක්‌

නුඹේ කූඩුව විසිර ගියත්

මගේ කූඩුව විසිරෙන්නේ නෑ

මෙම ප්‍රාර්ථනය පවුලේ සමගිය ඇති වීමට ප්‍රාර්ථනය කරති. අවුරුද්ද උදාවීමේදීම මෙම ප්‍රාර්ථනය කාන්තාවන් විසින් කරන්නේ පවුල රැක ගැනීම සඳහා ය. තෛපොංගල් උදාවීම කෘතවේදීත්වය දැක්‌වීම පමණක්‌ නොව සමගියද ප්‍රාර්ථනා කරන උත්සවයක්‌ බව හඳුන්වාදිය හැක.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com