www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මුස්ලි රහුමාන් හා රහුමාන් මොහොමඞ් යන අයිය මලෝ හදද්දී පුපුරා ගියේ මල් වෙඩිල්ලක්මද..


2021-05-02 09:41:07 -  1074 යි

රුවන් ජයවර්ධන
 
යකඩ බට යොදා ගනිමින් ‘ගල් වෙඩිල්ලක්’ සකස් කිරීම යනු අවදානම් සහගත ක‍්‍රියාවක්. මින් පෙර එවැනි උත්සාහයක් පිළිබඳ වූ පුවතක් මෙරටින් වාර්තා නොවූ තරම් ය. එවැනි වටපිටාවක් තුළ ත‍්‍රීවිල් රථ කාර්මිකයන් වූ අයියා මලෝ දෙපළක් එවැනි ක‍්‍රියාවක නිරත වූ පුවතක් සහ ඒ හේතුවෙන් සිදු වූ ඇබැද්දියක් පිළිබඳව පුවතක් පසුගිය දිනෙක වාර්තා විය. ඉබ්බාගමුව පන්නල මීගහමුලවත්ත ප‍්‍රදේශයෙන් වාර්තාවන එම පුවතට අනුව ඉහත සඳහන් ‘මල්වෙඩිල්ල’ පුපුරා ගොස් ඇත්තේ පහත ආකාරයටය.
 
 මුතාලිෆ් මුස්ලි රහුමාන් 21 හැවිදිරිය. ඔහුගේ අයියාවන මුතාලිෆ් රහුමාන් මොහොමඞ් 27 හැවිරිදි වියෙහි පසුවන්නෙක් ය. ඔවුන් දෙදෙනාගේ වෘත්තිය ත‍්‍රිරෝද රථ පිණිස කුෂන් ආසන සකස් කිරීමය. ඒ පිළිබඳ හසල දැනුමක් ඇති දෙදෙනකුවන ඔවුන්ගේ හැකියාවන් හඳුනාගත් බොහෝ දෙනෙක් ත‍්‍රිරෝද රථ කුෂන් ආසන සැකසීම ඔවුන් වෙත භාරදෙන අතර එම ව්‍යාපාරික කටයුත්ත හේතුවෙන් දිනපතා සැලකිය යුතු ආදායමක් මෙම අයියා මලෝ දෙපළට හිමිව ඇත.
 
 සුපුරුදු පරිදි ඔවුන්ගේ ‘දෑතේ රැකියාව’ සිදුකරමින් සිටින අතරතුර මෙම අයියා මලෝ දෙපළ වෙනස්ම ආකාරයේ නිෂ්පාදනයක් සඳහා අවධානය යොමු කරනු ලබන්නේය. එම අලූත් නිෂ්පාදනයේ පවතින අවධානම දැන හෝ නොදැනය. සිදුවීමෙන් අනතුරුව පොලිසිය විසින් සිදුකළ ප‍්‍රශ්නකිරීම් හමුවේ අනතුරට පත් අයියා මලෝ දෙපළ සඳහන් කර ඇත්තේ එළැඹීමට නියමිත රාමසාන් උත්සවය නිමිත්තෙන් මල් වෙඩිල්ලක් සකස් කිරීමට යෑමේදී එම අනතුර සිදු වූ බවත් ය. අනතුර හේතුවෙන් එක් පුද්ගලයකුගේ අත් දෙකට ම බරපතළ හානි සිදුවන අතර අනෙක් පුද්ගලයාගේ අත්දෙක මැණික් කටුවෙන් පහළ මුළුමනින්ම විනාශයට පත්ව ඇත.

මෙම පුපුරායෑම සිදුවන්නේ ඉකුත් 24 වැනි දිනය. රතික්‍ඳ්ක්‍ඳා කරල්වලින් ඉවත් කරන ලද වෙඩි බෙහෙත් යකඩ බටයකට පුරරවමින් මෙම ‘මල් වෙඩිල්ල’ සකස් කරන අයියා මලෝ දෙපළ මෙය පුපුරා යෑමේ ගොදුරක් බවට පත්වන්නේ එම යකඩ බටය ග‍්‍රයින්ඩර් යන්ත‍්‍රයක ආධාරයෙන් කැපීමට උත්සාහ ගැනීමත් සමඟය. විශාල පිපිරුම් ශබ්දයක් ද සමගින් මෙම පුරා යෑම සිදු වී ඇත. එම පුපරා යෑමත් සමඟ අවට රැස්වන පිරිස විසින් කුරුණෑගල රෝහල වෙත ඇතුළත්කොට තිබෙන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව පැති කීපයක් ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කරන පොලිසිය අනතුරට පත් තරුණයන් දෙදෙනාගෙන් දිගින් දිගට ම ප‍්‍රශ්න කිරීම් ආරම්භකොට ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ උසස් පොලිස් බලධාරියෙක් සඳහන්කර සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පිණිස ගොකරැල්ල පොලිසියට අමතරව රාජ්‍ය බුද්ධි සේවාවේ සහ විශේෂ කාර්ය බළකායේ සහාය ද ඒ සඳහා ලබා ගන්නා බවත් ය.
 
 ඊට අමතරව මෙම පිපිරීම සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් පිරිසක් ද මේ සම්බන්ධව පරීක්‍ෂණ සිදුකිරීම ට අදාළ ස්ථානයට පැමිණ ඇත. මෙම සටහන තබන අවස්ථාව වනවිට ද අදාළ පරීක්‍ෂණ කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරමින් ඇත.
 
 කෙසේ වෙතත් මෙම හදිසි පුපුරා යෑම සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් තුළ මහත් කුකුසක් හටගෙන ඇත. ඊට හේතුව බවට පත්වන්නේ යකඩ බටයක් උපයෝගීකර ගනිමින් සකස් කරන්නට ගිය මෙම අමුතු මල් වෙඩිල්ල හදිසියේ පුපුරා යෑමත් සමඟය. මේ ආකාරයේ අත්හදා බැලීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය ද මීට පෙරත් ඔවුන් විසින් මෙවැනි උත්සාහයන්ගේ නිරතව ඇතිද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් තුළ දැනටමත් මතුව ඇති ගැටලූ බවට පත්ව ඇත. කෙසේ වෙතත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු දැනට සිදුකරමින් පවතින පරීක්‍ෂණ හමුවේ ඉදිරියේදී නිරාවරණය වීමට නියමිතය. තුවාලකරුවන් පවසා සිටින ආකාරයට ඔවුන් විසින් සකස් කරමින් සිට ඇත්තේ රාමසාන් උත්සවය නිමිත්තෙන් දැල්වීමට නියමිත මල් වෙඩිල්ලක් නම් එය නියමිත පරිදි එදින දැල්වූවේ නම් සිදුවීමට නියමිත විනාශය මීට වඩා බරපතළ එකකි. එසේ වී නම් මෙම අරුම පුද්ම මල් වෙඩිල්ලේ හිමිකරුවන් පමණක් නොව තවත් බොහෝ දෙනෙක් එහි ‘ගොදුරක්’ වීමට තිබුණ ඉඩකඩ මෙම හදිසි පුපුරායෑම හරහා වැළකී යන අතර, මෙම සිදුවීම හරහා සමාජයට ලබා දී ඇති ආදර්ශය බවට පත්ව ඇත්තේ මාරාන්තික අත්හදාබැලීම් මරණයෙන් හෝ මරණීය අවධානමකින් කෙළවරවන බවකි.
 
 මෙම සිදුවීම සම්බන්ධයෙන් වයඹ හා උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප‍්‍රියන්ත, කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි. ක‍්‍රිශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත ගොකරැල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සමරසිංහ මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායම් කීපයක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com