එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.
ජගත් මානව හිමිකම් සැසිවාරයට සත්කාරක රාජ්‍යයන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඊයේ සම්මත වුණා.
එහිදී එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය භාවිත කළ අතර ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ චීනය, රුසියාව ඇතුළු රටවල් 11ක් පමණයි.
ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
එහිදී බි්රතාන්යය, ජර්මනිය, කැනඩාව, උතුරු මැසඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන සත්කාරක රාජ්‍යයන් ගෙන ආ 46 - එල් 01 යෝජනාවට පක්ෂව ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවල් 22ක් ඡන්දය භාවිත කළා.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව චීනය, පාකිස්ථානය, රුසියාව සහ බංග්ලාදේශය, ඇතුළු රටවල් 11ක් ඡන්දය භාවිත කළ අතර ඉන්දියාව, ජපානය, නේපාලය ඇතුළු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ එහි සංශෝධන ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතියට අනුකූලව සිදුකළ යුතු බවත්, අදාළ යෝජනාවේ සඳහන්.
යෝජනාව සම්මත වීම පිළිබද ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඡන්ද විමසීමෙන් පසු එම අමාත්‍යාංශයේදී ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යෝජනාව සම්මතවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
“යෝජනාව සම්මත වීම අපි පිළිගන්නවා සහ ඒ පිළිබඳව සන්තෝස වෙනවා.
ඒකේ කරුණු ක්‍රියාත්මක වෙන්න ඕන.
සංහිඳියාව, වගවීම, ගෞරවය ඇතුළත් විදිහට අපිට ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලැබෙන්න ඕන කියන එකයි අපේ ස්ථාවරය.
වගවීම, සංහිඳියාව, ස්ථිර සාමය ඒවා ස්ථාපිත වන අයුරින් යෝජනාව ගෙන ආපු රටවල් සහ ජගත් මානව හිමිකම් කොමසාරිස් කටයුතු කරන්න ඕන කියලා අපි කියනවා.
ඉන්දියාව සහය දුන්නේ නැතත් මේකට එරෙහිව ඡන්දය පාවිච්චි කරලා නැහැ.
ඉන්දියාව ගොඩක් දුරට ගැඹුරින් කල්පනා කරලා ලංකාව ගැන හිතලා, දෙමළ ජනතාවගේ යහපත උදෙසා යම් කිසි තීන්දුවක්අ රගෙන තිබෙනවා.
ඒගොල්ලන් කියන විදිහට යෝජනාවේ ඇතුළත් දේවල් ක්‍රියාත්මක වෙන්න ඕන.”