පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට ලබා දී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඉවත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. එල්.ටී.ටී.ඊ.යෙන් තර්ජන ඇති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ලබාදුන් වාර්තාවක් මත පසුගිය රජය සමයේ පටන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබිණි. එම විශේෂ ආරක්ෂාව වත්මන් රජය පැමිණි පසුද මේ වනතෙක් ලබාදුන්නේය.
එල්.ටී.ටී.ඊ. තර්ජන ඇති බව සඳහන් කර පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ ආරක්ෂාවක් ලබාගෙන උතුර නැගෙනහිර පෙළපාළි යාමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ‘අරුණ’ට පැවැසීය. මෙම තත්ත්වය මත තවදුරටත් ඔහුට එස්.ටී.එෆ්. විශේෂ ආරක්ෂාව සපයා දීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් එම ආරක්ෂාව ඉවත් කර සාමාන්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.
තමන්ට නොදන්වා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව පෙරේදා (7 වැනිදා) රාත්‍රියේ සිට ඉවත් කර ඇති බව අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ද ප්‍රකාශ කළේය. ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාකරන ආකාරය පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව ඔහු කියා සිටියේය.