ඉන්දියාවට පැනගොස් ජාත්‍යන්තර කුඩු ජාවාරම් මෙහෙය වූ කිඹුලාඇළේ ගුණා, ඔහුගේ පුතා සහ කෙනඩි නමැති වෙඩික්කරු ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් බවට මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර තහවුරු කරයි.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර තිබිණි.
තමිල්නාඩුව කේන්ද්‍රකරගෙන ජීවත් වූ මෙම පිරිස දිල්ලියේ සිට චෙන්නායි බලා යාමට තැත් කිරීමේදී පෙරේදා (01 වැනිදා) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී පස්දෙනකු පොලිස් භාරයට ගෙන ඇති අතර කොට ගාමිණි නමැති සැකකරුගෙන් ලද තොරතුරකට අල්ලා ඇති බවත් කියති.
සින්නයියා ගුණසේකර හෙවත් කිඹුලා ඇළේ ගුණා එල්.ටී.ටී.ඊ. යට උදව් උපකාර කරමින් මෝදර කිඹුලා ඇළ කේන්ද්‍ර කරගත් පාතාලය මෙහෙය වූ අයෙකි.
මිනිස් ඝාතන රැසකට හා මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට නායකත්වය දුන් ගුණා 2008 දී ඉන්දියාවට පලායන්නේ පාතාල මර්දන මෙහෙයුම්වලට බියෙනි.
1999 දී කොළඹ පුරහලේදී ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉලක්ක කරගත් එල්.ටී.ටී.ඊ. බෝම්බකරුට නවාතැන් දුන් බවට චෝදනා එල්ල වූයේද කිඹුලා ඇළේ ගුණාටය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිඹුලා ඇළේ ගුණාට ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබාගෙන ඇත්තේ රාගමදී සුනිල් මෙන්ඩිස් නමැති බස්නාහිර පළාත් සභාවේ ඇමැතිවරයකු ඝාතනය කිරීම හා 2008 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාම සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් කළ පසුවය.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් කෙනඩි ප්‍රනාන්දු හෙවත් බුම්මා එල්.ටී.ටී.ඊ. දක්ෂ වෙඩික්කරුවෙකි. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී කොස්ගොඩ සුජී හඳුනාගෙන පාතාල ලෝකයට සම්බන්ධ වී ඇත.
දකුණේ සැඟවුණු පාතාල වෙඩික්කරුවකු වූ ඔහු ඝාතන රැසක්ම මෙහෙයවා තිබේ. එමෙන්ම ජම්පටා වීදියේ කුඩු සෙල්විගේ පුත්තු සමග එක්වී කොළඹ කේන්ද්‍ර කරගත් ඝාතන රැසකට බුම්මා සම්බන්ධවී ඇත.
බුම්මා ඉන්දියාවට පනින්නේ වත්මන් රජය බලයට පත්වී පාතාල මර්දනය පටන් ගැනීමත් සමගය. බුම්මා දෑතින්ම වෙඩි තැබීමට හැකි පාතාල වෙඩික්කරුවකු බව හෙළිවී තිබේ.
මෙම සැකකරුවන් මෙරටට ගෙනඒම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
අත්අඩංගුවට පත්වූ කිඹුලා ඇළේ ගුණාට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් හා ඔහුගේ බිරිඳ අතුරුගිරියේදී කොට ගාමිණී ඇතුළු පාතාලයන් යොදවා ඝාතනය කිරීමේ චෝදනාවද එල්ල වී තිබේ. තමිල්නාඩුවේ තූත්තුකුඩියේදී එරට පොලිසිවලද සහාය ඇතිව මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගිය කිඹුලා ඇළේ ගුණා කිහිපවතාවක්ම එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මුදාහැර තිබිණි.