www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 25යි....


2021-01-31 11:17:44 -  293 යි

වසර 25 කට පෙර අද වැනි දිනක මෙරට ආර්ථිකය වැනසීමේ මහා ‌මෙහෙයුම ක්‍රියාත්මක විය.. ජනාකීර්ණ කොළඹ නගරයේ ප්‍රධානතම වානිජ වීදියක් වන ජනාධිපති මාවත එදින පෙරවරු 10 හෝරාව පසුවීමත් සමගම සුපුරුදු කලබලකාරී ගතියෙන් පැවතියේය.  


ගාලු මුවදොර පිටිය දෙසටත් කොළඹ කොටුව දෙසටත් වැල නොකැඩී ඇදී යන වාහන කන්දරාවද පදික වේදිකාවේ ඒ මේ අත ඇවිදින දහස් සංඛ්‍යාත ජනී ජනයාද නිසා ශ්‍රී ලංකා මහ බැංකුව, සෙලින්කෝ මන්දිරය, ඒ.බී.එන්. ඇම්රෝ බැංකුව වැනි කාර්යාල සංකීර්ණ පිහිටි පෙදෙසේ කලබලකාරී බව වැඩිවී තිබිණි.  


ජනාධිපති මාවත මැද පිහිටි ඔර්ලෝසු කණුවේ කටුව වේලාව පෙරවරු 10.47 බව සටහන් කළා පමණි. රතිඤ්ඤා වැලක් පිපිරෙන්නා සේ එක දිගටම පිපිරුම් හඬක් ඇසෙන්නට විය. මිනිසුන්ගේ කෑ කෝ ගැසීම් මැද තවත් පිපිරීම් ශබ්ද කිහිපයක්ද ඒ සමගම නැගී ආවේය.  


කොළඹ නගරයම වේගයෙන් කම්පනයෙන් සලිත කළ තවත් එක් අධිබලැති බිහිසුණු බෝම්බ පිපිරීමක් එසේ සටහන් විය.  


ජනවාරි 19 වෙනි දින ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත එල්ලාලන් බළකාය යන ශීර්ෂය යටතේ රහසිගතයි යනුවෙන් සීල් තබන ලද ලිපියක් ලැබී තිබිණි.  
ශ්‍රී ලංකාවේ කොළඹ අගනුවර මුළුමනින්ම ක්‍රියා විරහිත කරන බවටත් රජයේ හමුදාවන් විසින් යාපනයේදී සිදුකරන ලද ඝාතනයන් හෙළා දැකීමට ඉදිරිපත් නොවූවන්ට කොළඹ සිදුකරන මිනිස් ඝාතනයන් ද හෙළාදැකීමේ අයිතියක් නැති බවත් එහි සටහන්ව තිබිණි.  


විදේශ සංචාරකයින්ටත් විදේශ ආයෝජකයින්ටත් ශ්‍රී ලංකා රජයට යුද්ධය සඳහා දෙනු ලබන ආධාර නතර කරන ලෙසට ඉන් අනතුරු ඇඟවිණි.  


ලිපිය ලැබුණු විගස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ෆැක්ස් යන්ත්‍රය හරහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට ලිපියේ සඳහන් සියලු විස්තර දක්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයේ අදාළ බලධාරීන්ට මේ බව දන්වාලීමට අමතක නොකළේය.  


දේශපාලන හා ආරක්ෂක අංශ කොළඹ නගරයේ ආරක්ෂාව දෙස දැඩි අවධානයක් යොමු කරද්දී කිලිනොච්චි මහ වනයේදී කොටි සංවිධාන නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සිය සගයින් සමග අලුත්ම පිම්මකට සැරසෙමින් සිටියේය. ඒ ඔහු ටොසී රහස් ඔත්තු සේවා ප්‍රධානීන් කැඳවා කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන ස්ථානයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමයි.  


පහරදිය යුත්තේ රටේ ආර්ථිකයේ හදවතට බව ඔහු තීන්දුකොට තිබුණේ බොහෝ කලකට පෙරය. ඔහුගේ උපදෙස්වලට අනුව ටොසී රහස් ඔත්තු සේවා ප්‍රධානීන් විසින් මරාගෙන මැරෙන කළු කොටි සාමාජිකයන් අතුරින් කිහිපදෙනෙකු තෝරා ගනු ලැබීය.  


කිලිනොච්චියේ වැසියෙකුගෙන් ඉසුසු වර්ගයේ ලොරියක් ලබාගනු ලැබුවේත් මේ කාලය තුළදීය. තෝරාගත් කළු කොටි සාමාජිකයන් කොළඹ නගරය හා එහි පිහිටීම් පිළිබඳව දැනුම්වත් කරනු ලැබිණි.  


කිලිනොච්චි මහ කැල​යේදී ඔවුන්ට වෙන වෙනම පුහුණුව දෙනු ලැබුවේ මින් පසුවය. ටොසී රහස් ඔත්තු සේවා ප්‍රධානීන් විසින් සකස් කරන ලද සැලසුම ඔවුන් අතට පත්කරනු ලැබුවේත් පුහුණුව ලැබූ කාලසීමාවේදීය.  


කොළඹ බලා පිටත්ව ඒමට පෙර ඔවුන්ට ප්‍රභාකරන් හමුවීමේ භාග්‍යය හිමිවිය. ඒ මරාගෙන මැරෙන කළු කොටින්ට හිමිවන දුර්ලභ අවස්ථාවකි. ප්‍රභාකරන් පිරිසට අවශ්‍ය උපදෙස් දෙනු ලැබුවේ මරණයට කැපවූවන් වෙනුවෙන් පවත්වනු ලැබූ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේදීය.  


අදාළ සැලසුමට අනුව කෙසේ හෝ වව්නියාව හරහා තාන්ඩිකුලම් මුරපොළේ සිට කොළඹට කිලිනොච්චි වැසියාගෙන් ලබාගත් ඉසුසු වර්ගයේ ලොරිය රැගෙන යායුතුව තිබිණි.  
ලොරිය රැගෙන යාමට තිබුණේ රඝු සහ කුට්ටි යන නම්වලින් හැඳින්වෙන දෙමළ ජාතිකයන් දෙදෙනාටය.  


සහල් දහයියා පටවන ලද ලොරිය කිසිදු කරදරයකින් තොරවම තාන්ඩිකුලම් මුරපොළ පසුකොට ඉදිරියට අැදුණේය.  


ගලේවෙල සිට කුරුණෑගල දක්වා පැමිණි ලොරිය කොළඹ ආදුරුප්පු වීදියට පැමිණෙද්දී රඝු, කුට්ටි ඇතුළු පිරිස සැනසුම් සුසුම් හෙළුෑහ.  


ඒ වනවිටත් කොටි සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් 78 දෙනෙක් පමණ කොළඹට පැමිණ සීසීකඩ විසිරී සිටියහ. මේ සාමාජිකයන් සිටිනා තැන් පිළිබඳව තොරතුරු දත්ත දන්නා ඔවුන් නිතර හමුවූ කොටි නායකයින් 10 දෙනෙක්ද කොළඹ නගරයේ විවිධ ස්ථානවල සැඟවී සිටියහ.  


සිව කුමාරන්, සින්නතම්බි, කුමාරස්වාමි, විජය කුමාර්, මුත්තුරාජා සහ සබානාදන් මේ පිරිස අතර සිටි ප්‍රධාන පෙළේ නායකයෝ වූහ. රඝු සහ කුට්ටි ඇතුළු පිරිසද කොළඹට විත් මොවුන් හා එකතු වූහ.  


ඔවුන්ට උපදෙස් දීමට නායකයෙකුද සිටි අතර පිරිස ඔහු හමුවී කළයුතු සියල්ල කතිකා කරගත්හ. ඒ ටොසී රහස් ඔත්තු සේවා සාමාජිකයන් ලබාදී තිබූ ඔත්තුවලට අනුවය. ​ෙකාළඹ මහ බැංකුව අසල ඔත්තු බැලීමේ කාර්යයෙහි වෙනම පිරිසක් යොදවා තිබිණි.  


ජනවාරි 31 වන බදාදා දින ජනාධිපතිනිය කොළඹින් බැහැරව සිටින බවටත් මහ බැංකුව, ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය අසල පෙදෙසේ ආරක්ෂක මුරකාවල් ලිහිල්කොට ඇති බවටත් පිරිසේ නායකයාට තොරතුරු ලැබී තිබුණේ ටික දවසකට පෙරදීය. එබැවින් තම සැලසුම ක්‍රියාත්මක කළයුතු දිනය ලෙස ජනවාරි 31 ඔහු යොදාගත්තේ ඒ අනුවය.  


ජනාකීර්ණ කොළඹ නගරයේ ජනාධිපති මාවත ඔස්සේ ඉදිරියට ඇදෙන ලොරියකි. මෙහි රියදුරු අසුනේ රාජු නම් දෙමළ ජාතිකයෙක් විය. රථය මහ බැංකුව දෙසට සෙමින් ධාවනය වෙද්දී වෙනත් මාවතක් ඔස්සේ ඇදුණු ත්‍රිරෝද රථයක්ද මහ බැංකුව අසල ප්‍රදේශයට ළඟාවෙමින් තිබිණි.  


එහි සිටියේ රඝු සහ කුට්ටි නම් දෙමළ ජාතිකයන් දෙදෙනාය.  


ජනාකීර්ණ අගනුවර මාවත් ඔස්සේ ධාවනය කළ ත්‍රිරෝද රථය මග බැංකුවේ කරුණාතිලක බැරියර් ගේට් අසල නතර විය. එම රථය ප්‍රධාන පිවිසුම අසල නවත්වත්ම එයින් එළියට බැසගත්තේ සරම වලාපොට ගසාගත් රඝු සහ කුට්ටිය.  


ඔවුන්ගේ දෑත්වල ස්වයංක්‍රීය ගිනිඅවි දෙකක් තිබිණි. ඊළඟ මොහොතේ එම ගිනිඅවි වලින් මහ බැංකු ගොඩනැගිල්ල දෙසටත් ඒ අවට ප්‍රදේශයටත් දිගට හරහට වෙඩි තබන්නට වූහ. ආරක්ෂක වළල්ලේ සිටි ආරක්ෂක නිලධාරීන්ද ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ක්ෂණයෙන් මහ බැංකුව ඉදිරිපිට යුද පිටියක් නිර්මාණය විය.  


මෙම හදිසි ප්‍රහාරයෙන් කලබලවූ ජනතාව හිස්ලුලූ අත දුවන්නට වූ අතර සමහරු තුෂ්නිම්භූතව බලා සිටියහ. මේ අතර ජනාධිපති මාවත ඔස්සේ පැමිණෙමින් තිබූ ලොරිය මහබැංකු ගොඩනැගිල්ලේ බිම්මහලේ පිහිටි පිවිසුමට වේගයෙන් සමීප විය.  


ලොරිය පැමිණෙමින් තිබුණේ ගාලු මුවදොර පෙදෙසේ සිට ජනාධිපති මාවත ඔස්සේය. ඔවුන් බලාපොරොත්තු වූ ලෙසම මහ බැංකුව අවට එකම යුද පිටියක් බවට පත්වී තිබිණි.  


මෙම කලබලකාරී ව්‍යාකූලත්වය මධ්‍යයේ ලොරිය බැංකු ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව දෙසට ආරක්ෂක සීමාව පනිමින් ඉදිරියට ආවේය. ලොරියට ඉදිරියට නොඑන ලෙස ප්‍රධාන දොරටුව අසල සිටි ආරක්ෂක නිලධාරීන් අතින් සංඥා කළත් එය ඉදිරියටම විත් බැංකුව ඉදිරිපිට යකඩ වැටේ දෙතුන්වරක් ගැටුණේය.  


තෙවනවර ගැටීමත් සමගම ගේට්ටුවේ පැත්තක අත්තිවාරම ගැලවී ගිය අතර ඒ සමගම කොළඹ නගරයම දෙදරුම්කමින් මහා පිපිරුමක් ඇති විය. පිපිරුම මහබැංකුව ඇතුළු සැතපුම් භාගයක පමණ ප්‍රදේශයේ පිහිටි සෑම ගොඩනැගිල්ලකටම බලපෑවේය. ඒවායේ වීදුරු කඩා හැලෙන්නට වූයේ වීදුරු කැට වරුසාවක් මෙන්ය. ප්‍රහාරයෙන් මහබැංකු ගොඩනැගිල්ලේ බිම්මහලේ අඩි 12 ක පමණ ගැඹුරු වළක් හෑරී තිබිණි.  


ඇමෙරිකානු බැංකු ගොඩනැගිල්ල, රේණුකා ගොඩනැගිල්ල, රොයිටර් ප්‍රවෘත්ති සේවයේ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල, සෙලින්කෝ මන්දිරය, ආසන්නයේම තිබූ සෙසු ගොඩනැගිලිද එම දෙදරුම් කෑමට බඳුන් විය.  


අහස උසට දිවයන ගොඩනැගිලි අතරින් කළු දුමාරය අහස් කුස සිපගනිමින් තිබිණි. ගොඩනැගිලි සුන්බුන් අතර හිරවූ මිනිසුන්ගේත් හිස්ලුලූ අත දිවගිය මිනිසුන්ගේත් මරළතෝනි හඬ මුළු කොළඹ නගරය පුරා දෝංකාර දෙන්නට විය.  


සුන්බුන් බවට පත්ව තිබූ ගොඩනැගිලිවල කොටස් මුහුද දෙසින් හමාඑන සුළං පහර නිසා කඩාවැටී විසිරෙන්නට විය.  


ගිනිගනිමින් තිබූ ගොඩනැගිලිවල ඉහළ මාලවල කොටුවී සිටියවුන් ආධාර ඉල්ලා දිගටම කෑගැසූ අතර සිරවී සිටි පිරිස් බේරාගැනීම සඳහා හෙලිකොප්ටර් යානා යොදවා තිබුණත් අහස උසට නැගි කළු දුමාරය ඊට තදබල බාධාවක් වී තිබිණි. මෙලෙස ජනවාරි 31 වැනිදා කොළඹ නගරයම එකම අඳෝනාවක් කිරීමට කොටි ත්‍රස්තයෝ සමත්වූහ.  
බෝම්බය ගෙනාවේ කෙසේද? ​ෙබා්ම්බය ගෙනා වාහනය කොළඹ නගරයේ ආරක්ෂක මුර කපොලු පසු කරමින් පැමිණියේ කෙසේද? බෝම්බයෙන් ඉලක්ක කළේ කුමක්ද? මහ බැංකුවට ඉලක්ක කළේ නම් අවට පිහිටි ගොඩනැගිලි විනාශවූයේ කෙසේද? යනාදී ගැටලු ආරක්ෂක අංශයන්හි අවධානයට ලක්වූයේ ඉන් අනතුරුවය.  


පළමුවෙන්ම ආරක්ෂක අංශයන්හි අවධානයට ලක්වූයේ ගොඩනැගිල්ලේ බිම්මහලේ අඩි 12 ක් පමණ ගැඹුරට හා අඩි 20 ක් පමණ විශ්කම්භයක් සහිතව හෑරී තිබූ විශාල වළ දෙසටය. බෝම්බය ගෙන ආවේ ලොරියකින් බවත් බෝම්බය පුපුරුවා හැර ඇත්තේ එම ස්ථානයේ බවත් ඉන් අනාවරණය විය. මේ අනුව බෝම්බය ඉලක්කකොට ඇත්තේ මහ බැංකුවට බව පැහැදිලිය.  


අප්‍රේල් පළමුවැනිදාට පෙර ඉහළ පෙළේ නායකයකු ඝාතනය කරලීමට හෝ අගනුවර ප්‍රධාන ස්ථානයක බෝම්බ පුපුරුවාලීමට ප්‍රබල කොටි සාමාජිකයන් 78 දෙනෙකු, කොටි නායකයින් 10 දෙනෙකු ​ෙකාළඹට එවා ඇති බවට ආරක්ෂක අංශයන්ට ලැබුණු තොරතුරු ඔවුන්ගේ අවධානයට ලක්වූයේ මේ සමගය.  


එම ආරංචියත් සමග කොළඹ නගරයේ ආරක්ෂක මුරකාවල් තරකොට තිබුණත් කොටි සංවිධානය මහ බැංකුව ඉලක්ක කරනු ඇතැයි ඔවුන් තුළ නිසි තක්සේරුවක් නොවීය.  
උඩප්පුව පොලිසිය විසින් මුන්දලම වෙරළේදී කිලෝග්‍රෑම් 400 ක් බරැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධිය ද ආරක්ෂක අංශයන්හි විමසීමට ලක්ව තිබිණි. මුන්දලමේ තවත් ස්ථානවල පුපුරන ද්‍රව්‍ය සඟවා තිබුණේද? එම පුපුරන ද්‍රව්‍ය රහසින් කොළඹට ප්‍රවාහනය කරනු ලැබුවේද? මේ අනුව බෝම්බය සාදනු ලැබුවේ කොළඹදීද? යන ගැටලු කෙරෙහි ආරක්ෂක අංශයන්හි අවධානයට ලක්වූ අතර කොටුව දුම්රියපොළට නුදුරින් අතහැර දමා ගොස් තිබූ ත්‍රිරෝද රථයක්ද පොලිසිය භාරයට ගැනිණි.  
බැංකුව අසල වෙඩි තැබීමේ සිද්ධියට සහභාගි වූ පිරිස පැමිණියේ මේ ත්‍රිරෝද රථයේද?  


මහ බැංකුව අසල බෝම්බ පිපිරවීමත් සමගම පලායමින් සිටි අවිගත් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබූ අතර ඔවුන්ගෙන්ද තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.  


ආරක්ෂක අංශයන්හි මනසට වද දුන් විශාලතම ගැටලුව වූයේ කොළඹ නගරයේ ආරක්ෂක මුර කපොලුවලට නොදැනී බෝම්බය පටවාගත් ලොරිය ගාලු පාර ඔස්සේ පැමිණියේ කෙසේද? යන්නයි.  


මේ පරීක්ෂණ මෙහෙයවූ පොලිස් නිලධාරීන්ට ප්‍රහාරය සම්බන්ධ වැදගත් තොරතුරක් ලැබිණි. එනම් මරාගෙන මැරෙන කොටි සාමාජිකයන්ට ප්‍රභාකරන් පිරිනමා තිබූ සමරු තිළිණයයි. මේ පිළිබඳ ආරක්ෂක අංශයන්ට කරුණු දැක්වූ අත්අඩංගුවට පත් රඝු සහ කුට්ටි කියා සිටියේ තමන්ට ලැබුණු ඒ සමරු ඵලක සිය නිවෙස්වලට යැවූ බවයි.  
ආරක්ෂක අංශ පසුව එම නිවෙස්වලට ගිය අතර, පවුලේ සියලු දෙනා සහ අදාළ සමරු ඵලක අත්අඩංගුවට ගැනිණි. 


සමරු ඵලකයේ ඇඟිලි සලකුණු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට භාරවිය. ඉන් දෙකක් රඝුගේ විය. අනෙක ප්‍රභාකරන්ගේ බව ආරක්ෂක අංශවලට විශ්වාසයක් තිබිණි. එහෙත් එය සනාථ කිරීමට ආරක්ෂක අංශ සතුව ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සටහනක් නොතිබිණි.  


1982 මැයි 25 දින ප්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් තමිල්නාඩුවේ පොන්ඩිබසාර්හිදී වෙඩි තබාගැනීමකට සම්බන්ධ වී තිබිණි. එහිදී තමිල්නාඩු පොලිසිය ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන තිබූ අතර ඒවා සැමරුම් ඵලකයෙහි ඇඟිලි සලකුණු හා සැසඳිණි. ඒ අනුව මෙම ප්‍රහාරය ප්‍රභාකරන්ගේ අනුදැනුම මත සිදුවූ බවට තහවුරු විය.  


ඇඟිලි සලකුණු පිළිබඳ පරීක්ෂණ කටයුතු පැවරුණේ එවකට ඇඟිලි සලකුණු රෙජිස්ටාර් නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික සිරිවර්ධන, උප පොලිස් පරීක්ෂක ටී.එච්. නෝර්මන් පෙරේරා සහ පොලිස් කොස්තාපල් ආර්.එම්.ටී.බී. රත්නායක සහ ජී.කේ. ආරියපාල යන මහත්වරුන්ටය. පැවති නඩු විභාගයේදී සාක්ෂි දීමට ඉදිරිපත් වී තිබුණේ ද මේ පිරිසය.  


මෙලෙස ඉතාමත් සාර්ථක ලෙස පරීක්ෂණ මෙහෙයවීමේ ප්‍රතිඵලයක් ලෙස චෝදනා 52 කට ප්‍රභාකරන් වැරදිකරු විය. අවසානයේ ඔහු වසර 200 ක සිර දඬුවමකට යටත් කෙරිණි. රඝු සහ කුට්ටි යන විත්තිකරුවන් දෙදෙනාට ද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය.  


එල්.ටී.ටී.ඊය මහ බැංකුවට එල්ල කළ ප්‍රහාරයෙන් දහසකට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර 76 දෙනෙක් මරණයට පත්වූහ. ලංකා ආර්ථිකයට රුපියල් මිලියන 1050 කට වැඩි හානියක්ද සිදුවී තිබිණි.  


බෝම්බය මහ බැංකුවට ඉලක්ක කරලීමෙන් ප්‍රභාකරන් බලාපොරොත්තු වූයේ කුමක්දැයි යන්න පිළිබඳව දේශපාලන අංශයන්හි කතාබහට ලක්විය. එම අරමුණ හොඳින් පැහැදිලි වන්නේ කොටි සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් විදෙස් පුවත්පතකට දී තිබූ ප්‍රකාශයක් මතය.  


මෙහිදී ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ රජය විසින් ඉදිරිපත් කරනු ලබන මීළඟ අයවැය වාර්තාවයි. නැගෙනහිර පළාතේ දුරකථන හා විදුලිබල පද්ධති විනාශ කිරීම, කොලොන්නාව තෙල් ටැංකිවලට පහරදීම සහ මහ බැංකු ප්‍රහාරයන් ආදියෙන් බලාපොරොත්තු වූයේ අයවැය පරතරය වැඩි කිරීමය.  


අයවැය පරතරය වැඩිවීම මගින් ආරක්ෂක වියදම අඩුවන අතර එමගින් නවීන ආයුධ ලබාගැනීමේ ශක්තිය දුර්වල වේ. මෙලෙස ආර්ථිකය බිඳහෙළා හමුදාවේ ඉදිරිගමන වැළැක්වීම මෙහි අරමුණ වී තිබිණි. එහෙත් එල්ටීටීඊය අපේක්ෂා කළ අන්දමේ 100% සාර්ථකත්වයක් ප්‍රහාරයෙන් වූයේ නැත. කෙසේ වුවත් රටට දැනෙන විනාශයක් කිරීමට එල්ටීටීඊයට හැකි විය.  


සුවිශේෂී වගකීම් රැසක් මහ බැංකුව සතුව පවතී. මේ අංශවල සේවය කළ විශාල සේවක පිරිසක් තුවාල ලැබූහ. පළපුරුදු සේවක පිරිසක් මියගියහ. මෙයින් මහ බැංකුව යථා තත්ත්වයට පත් කළද සේවාව පවත්වාගෙන යාමේ අර්බුදයක් යම් පමණකට මතුවිය. එමෙන්ම මහ බැංකු පුස්තකාලයද සම්පූර්ණයෙන්ම විනාශ විය. මේ ප්‍රහාරයෙන් ආර්ථිකයේ අංශ ගණනාවකටම හානි සිදුවී තිබිණි.  


ජනාධිපති කාර්යාලය, වරාය අධිකාරිය, මහ බැංකුව, නාවික හමුදා මූලස්ථානය ආදී ආර්ථික, දේශපාලනික හා ආරක්ෂකමය වශයෙන් වටිනා මර්මස්ථානයන් ඉලක්ක කොට බෝම්බ ප්‍රහාරය එල්ල කරලීමෙන් එල්ටීටීඊය ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත් වූහ.  


තරු පහේ හෝටල් අසලට බෝම්බය ගෙන ඒමෙන් සංචාරක කර්මාන්ත අඩපණ වූ බවද පැහැදිලිය.  



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com