පල්ලියමුල්ල ප්‍රදේශයේ ධීවරයා ඝාතනයට යොදාගත් බව කියන ටී-56 ගිනි අවිය හා පතුරම් 16ක් කිරිබේරිය ප්‍රදේශයේ කනත්තක තිබී ඊයේ (28 වැනිදා) සොයාගෙන ඇත.
ඝාතනයට යොදාගත් බව කියන යතුරුපැදිය බොල්ගොඩ ගඟට දමා ඇති අතර පොලිස් කිමිදුම් කණ්ඩායම් යොදවා එය සෙවීමට ඊයේ (28 වැනිදා) උත්සාහ කළද සොයා ගැනීමට අපහසු වී ඇති හෙයින් අද (29 වැනිදා) දිනයේද මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.
මෙම ඝාතනය මෙහෙය වූ බවට සැකකරන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සුද්දා නමැත්තාගේ සිර මැදිරිය පරීක්ෂා කිරීමේදී ඝාතනය මෙහෙයවීමට යොදාගත් ජංගම දුරකථනයද සොයා ගැනීමට හැකිවී තිබේ.
එම ඝාතනයට පැමිණි පුද්ගලයන්ට නවාතැන් දුන් බව කියන පුද්ගලයකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගනිමින් සිටින බවයි.