ටෙන්ඩර් කාලය අවසන් වූ මස් කඩය පවරා ගැනීමට ගිය ජා-ඇල ප්‍රාදේශීය සභා සේවකයාට මස් කඩහිමියා පිහියෙන් අනී
|

2021-01-26 10:10:48
- 229
යි
ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු රාජකාරි කරමින් සිටියදී එල්ල කළ පිහි ඇනුමකින් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පැවසීය.
ඉකුත් (24)දා සවස 5.30ට පමණ රාගම නගරයේ දී මෙම පිහි ඇනුම සිදුව තිබේ. ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු වූ එච්. ඞී. තරිදු නුවන් (32) නැමති අයකු මෙලෙස පිහි ඇනුමකට ලක් ව තිබිණි.
පිහි ඇනුමට ලක්වූ සෞඛ්‍ය අංශයේ සේවකයා රෝහලේදී පවසා සිටියේ තමන් රාගම නගරයේ රාජකාරි කරමින් සිටියදී රාගම පොදු වෙළඳ සැලේ මස් කඩ හිමියකුගේ ගෝලයෙක් බහින් බස් වී තමන්ට පිහි පාරක් එල්ල කළ බවයි. ඒ අවස්ථාවේදී තවත් අයකු තමන්ගේ බෙල්ල තදින් අල්ලාගෙන පිහි පහර එල්ල කළ තැනැත්තාට සහාය දැක්වූ බවද සෞඛ්‍ය සේවකයා පැවසීය. පසුව තමන් කෙසේ හෝ එම පිහිය පොලිසියට භාර දීමට ක්‍රියා කළ බවද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා කියා
‘‘පිහි ඇනුමට ලක්වෙලා ඉන්නේ මගේ සෞඛ්‍ය සේවකයෙක්. ඔය පිහි ඇනුමට සම්බන්ධ මස් කඩයේ ටෙන්ඩරය පසුගිය 31දායින් පසුව අවසන් වුණා. පසුව එම කඩය සභාවට පවර ගන්න ආදායම් පරිපාලක ගිය අවස්ථාවේ එහි හිමිකරු ඔහුට බැන තර්ජනය කරලා දිගින් දිගටම මස් කඩය නීති විරෝධීව පවත්වාගෙන
ගිහින් තියනවා. ඒ බව රාගම පොලිසියට පැමිණිලි කර එම කඩය සභාවට ලබා ගැනීමට පොලිසියේ ආරක්ෂාව ඉල්ලා සිටියා. නමුත් ඒ ආරක්ෂාව නිසි ලෙස නොලැබී යෑමේ ප්‍රථිපලයක් තමයි මේ පිහි ඇනුම. තාමත් මෙම පිහි ඇනුමට ආධාර අනුබල දුන් අය පොලිසිය අත් අඩංගුවට ගෙන නෑ.”
මේ සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානාධිපති වරයාගෙන් විමසා සිටියදී ඒ මහතා පවසා සිටියේ සිද්ධියට සම්බන්ධ පිහි ඇණුම කළ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගත් බවයි. එසේම තමන්ට මාධ්‍යට ප්‍රකාශ ලබාදීමට නොහැකි බවද ඒසඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිටින බවද ස්ථානාධිපතිවරයා පවසා සිටියේය.
කදාන - රුක්මන් පිංතු, වත්තල - සරත් චින්තක
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|