ජපන් ජාතික 15 හැවිරිදි තම පෙම්වතියට ඇයගේ මව ඇතුළු තිදෙනෙකුගෙන් ජීවිත තර්ජන හා හිරිහැර සිදුවූ බවත් ඇයව මෙරටට ගෙන ඒමට තමා කටයුතු කළේ එනිසා බවත් එම දැරිය විවාහ කරගත් ශ්‍රීලාංකික තරුණයා ඊයේ (14 වැනිදා) පැවසීය.
තමා කළේ තම පෙම්වතියගේ ජීවිතය බේරා ගැනීම බවත් තමා කළ එකම වරද බාලවයස්කාර පෙම්වතිය මෙරටට රැගෙන විත් විවාහ කර ගැනීම පමණක් බවත් තම ඒකායන අරමුණ ද පෙම්වතිය හැකි පමණින් තමා ළඟට ගැනීම බවත් හෙතෙම කීවේය.
බාලවයස්කාර විදෙස් දැරියක මෙරටට රැගෙන විත් විවාහ කරගැනීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටිමින් ඇප ලබා නිරෝධායනය ද අවසන් කරමින් පිටතට පැමිණි මෙම තරුණයා ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් මේ බව කියා සිටියේය.
‘අපේ සම්බන්ධයට මුල් වුණේ පෙම්වතියගේ මවයි. මම වැඩ කළෙත් ඒ නිවසේමයි. ඇය තමයි මාව ඒ ගෙදරට එක්කන් ගිහින් මේ සම්බන්ධයට සහාය දුන්නේ. පසුකාලයේ දී ඇයයි නිපුණ කියන කෙනෙක් සහ ඇයගේ මිතුරෙකු පෙම්වතියට බොහෝ හිරිහැර සිදුකරලා තිබුණා.
ඇයට පහරදී තිබුණා. විදුලි ඉස්ත්රීක්කයෙන් ඇයව පුච්චල තිබ්බා. පඩිපෙළින් තල්ලු කරල ඇයට තුවාල කරල තිබුණා. ඒ කාලයේ මමත් ඒ ගෙදර තමයි හිටියේ. හැබැයි මම වැඩට ගිහිල්ල හිටියේ. ඇය මට මේ ගැන කියපු නිසා මම එයාව එක්කන් ආවේ. තව ටික කාලයක් හිටියොත් ඇයට ජීවිත හානියක් වෙනවා අනිවාර්යෙන්ම. මේ හැම දේකටම වග කියන්න ඕන ඇයගේ මවයි.’ යනුවෙන් එම තරුණයා පැවැසීය.