www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සුනාමියෙන් වෙන්වූ දරුවෙකු වසර 16කට පසු සොයා ගැනීමට මව සමත් වෙයි


2020-09-30 07:06:25 -  289 යි

සුනාමි ව්‍යසනය සිදුවූ අවස්ථාවේදී වයස අවුරුදු 5 පසුවද්දී අතුරුදන් වූ දරුවෙකු වසර 16කට පසු සිය මව සොයා පැමිණි සිද්ධියක් අම්පාර, සමන්තුරෙයි, මාලිගෙයිකාඩු ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 

ඔහු දැන් 21 වන වියේ පසු වන තරුණයෙකි. සිය මව වන මාලිගෙයිකාඩු ප්‍රදේශයේ පදිංචි අබුසාලි සිත්ති කමාලියා සොයා එම තරුණයා මෙලෙස පැමිණ තිබේ.

අබුසාලි සිත්ති කමාලියා, 2004 වසරේ අශ්රෆ් අනුස්මරණ රෝහලේ සේවිකාවක ලෙස රාජකාරීයේ නිරතව සිටියදී ඇයගේ එක ම දරුවා වූ රෂීන් මොහොමඩ් අක්‍රම් රිස්කාන් සුනාමි ව්‍යසනයෙන් අතුරුදන්වී තිබිණි. 

පසුව ඇය වසර 16ක් පුරා තම දරුවා සොයා තිබේ. නමුත් එය අසාර්ථක වී ඇත. 

අබුසාලිහ් සිත්ති කමාලියා ප්‍රකාශ කළේ, සුනාමි ව්‍යසනය සිදුවී දවස් තුනකට පසු ඇයගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයා ඇයගේ දරුවා රෝහලේ සිටින බව පැවසුවත් තමා එහි ගොස් බැලීමේදී එම දරුවා වෙන කෙනෙකු රැගෙන ගොස් ඇති බව දැනගත් බවය.

කෙසේ වෙතත්, ඇය ඉන් මතුත් අතුරුදන්වූ තම දරුවා සෙවීම අත්නොහැර තිබේ.  

ඒ අනුව ඇය තම ඥාතීන්ගේ සහයෝගය ද ඇතිව කල්මුණේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයකට ම උදව් පතා ගොස් ඇත. නමුත් ඉන් ඇයට උපකාර ලැබී නැතැයි පවසා ඇත. 

තම අත්දැකීම පිළිබඳව අබුසාලිහ් සිත්ති කමාලියා විස්තර කළේ මෙලෙසින්.

"මම කල්මුණේ මානව හිමිකම් කාර්යාලයට ගියා පුතා හොයන්න උදව් ඉල්ලගෙන. ඒත් ඒ අය මට කිසි ම උපකාරයක් කරේ නැහැ. පොලිසියත් මට තර්ජනය කළා. පොලිසියේ උසස් නිලධාරියෙක් මාව හිරේ දානවා කියලා තර්ජන කරපු දවස මට අද වගේ මතකයි. මං ඔහුට කිව්වේ මගේ වේදනාව, දුක. කොළඹ  මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කළත් ඵලක් වුණේ නැහැ. බොහෝ ජනමාධ්‍යවලටත් කතා කරා."

කෙසේ වෙතත්, 2016 වසරේ අබුසාලිහ් සිත්ති කමාලියාගේ පුත්‍රයා සිංහල පාසලක ඉගෙනුම ලබන බවට ඇයගේ මිතුරියක දන්වා ඇති අතර ඇයගේ උපකාරයෙන් පාසලට ගොස් තම පුත්‍රයා දැකීමට කමාලියා උත්සාහ කර තිබේ.    

නමුත් එහිදී එම පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය ඇයට තම දරුවා බැලීමට ඉඩ දී නොතිබිණි     

පසුව ඇය සිංහල කාන්තාවක සේ ඇඳුම් පැළඳ, ඇයගේ රැකියාව ද අතහැර තම දරුවා සොයා ඇවිද ගොස් තිබේ. විටෙක අලෙවි නියෝජිතවරියක ලෙසත්, රැකියා ප්‍රවර්ධන නිලධාරිනියක ලෙසත් තවත් විටෙක සිඟන්නියක ලෙසත් වෙස්වලාගෙන ඇය මෙලෙස තම දරුවා සොයා ගොස් තිබේ. 

"මට විශ්වාසයක් තිබුණා දවසක මගේ පුතා මං ළඟට එන බව. මං ගොඩක් අවමාන, කරදරවලට මූණ දුන්නා. මගේ සැමියා මා මාව අතහැරලා වෙන ම විවාහයක් කර ගෙන ඉන්නේ. ඒ නිසා මං තනියම මාගේ දරුවා හෙව්වේ. ජනාධිපතිතුමාගේ ඉඳලා දේශපාලකයන් දක්වා මගේ ප්‍රශ්නය මං කිව්වා.  ඒත් ඒ කිසි කෙනෙක් ඇහුම්කන් දුන්නේ නෑ. ගණන් ගත්තෙත් නෑ."

කමාලියා තම අත්දැකීම් විස්තර කළේ එලෙසිනි.

පසුව ඇය එක් ආයතනයක් හරහා ඇයගේ දරුවාගේ පදිංචි ස්ථානය දැනගෙන තිබේ. 

ඒ අනුව, ඇය රැකියා ලබා දෙන අයෙකු ලෙස අඟවමින් තම පුත්‍රයා හමුවී ඔහු පිළිබඳව තොරතුරු ලබා ගෙන ඇත. 

"පුතා මාව අඳුන ගත්තා. ඊට පස්සේ අපි දුරකතනයෙන් කතා කරා. මම දන්න පුතාගේ ඇඟේ තිබුණ උපන් ලප ගැන, ලක්ෂණ ගැන කතා කර. පස්සේ ඒ මගේ ම පුතා බවට ස්ථිර කර ගත්තා."  

ඒ අනුව, අදාළ පුත්‍රයා ඔහුගේ මව සොයා මලිගයිකාඩු ප්‍රදේශයට පැමිණ තිබේ.

කෙසේ වෙතත්, ඔහු සිංහල බස කතා කරන නිවසක හැදුණු වැඩුණු හෙයින් දෙමළ භාෂාව භාවිත කිරීමේ අපහසුතාවක් පවතින බව කමාලියා පවසයි. 

ටී. එල්. ජව්ෆර් ඛාන් - මඩකලපුව


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com