www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රාජ්‍ය බුද්ධි සේවාව කළේ දේශපාලන ඔත්තු බලපු එක - හේමසිරි


2020-09-19 09:38:18 -  260 යි

2019 ඔක්තෝබර් මස 26 වනදා ඇති වූ ව්‍යවස්ථා අර්බුදයෙන් පසුව මෙරට රාජ්‍ය බුද්ධි සේවාව දේශපාලන ඔත්තු සේවාවක් බවට පත් වී තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (18) සාක්ෂි දෙමින් පැවසුවේය. 

එම කාලය දේශපාලන කැළඹිලි සහිත අවිචාරවත් සමයක් බව පෙන්වා දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ එකල රාජ්‍ය  බුද්ධි සේවාව දේශපාලන ඔත්තු බැලීමේ කටයුතු සිදු කළ බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර ඉතා කිට්ටු සුහද සම්බන්ධතාවක් පැවති අතර තමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වන විටත් ඔවුන් දෙදෙනා වසර හතරක පමණ කාලයක් සුහදව ළඟින් කටයුතු කර තිබුණු බවයි ප්‍රනාන්දු මහතා කියා සිටියේ. 

''මම දන්නවා දිනකට හත් අට වතාවක් නිලන්ත ජයවර්ධන මහත්මයා ජනාධිපතිතුමාට කතා කරනවා. ඒ සුහදතාවය ගැන මම දන්නවා. ජනාධිපතිතුමාම තමයි ඔහුව තෝරා ගෙන ඒ තනතුරට දැම්මේ. මම දන්නවා නිලන්ත ජයවර්ධන පෞද්ගලිකව ජනධිපතිතුමාට බුද්ධි වාර්තා ගැන කියනවා. සමහර වෙලාවට මට ජනාධිපතිතුමාට කියන්න තියෙන දේවලුත් නිලන්තට තමයි කියන්නේ කියන්න කියල. එවැනි සම්බන්ධයක් ඔවුන් දෙදෙනා අතර තිබුණේ.''

ඒ අනුව අප්‍රේල් 04 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණ තොරතුර ගැන වුණත් නිලන්ත ජයවර්ධන මහත්මයා ජනාධිපතිවරයාට නොකීවා යැයි සිතීමට අපහසු බවයි හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ. 

ඒවා නිලන්ත බලාගනී 

තමන් ආරක්ෂක ලේකම් ලෙස පත් වී දින දෙක තුනකට පසුව ජනාධිපතිවරයාට අත්සන් කිරීමට ඇති ලිපි ගොණු කිහිපයක්ද රැගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවක නිලන්ත ජයවර්ධන මහතා විසින් තමන් වෙත යොමු කර තිබූ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත පෙන්වා විමසීමක් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා තමන් වෙත පැවසුවේ ''නිලන්ත ඒවා ගැන බලාගනී. ඔයා ඒක ගැන බලන්න අවශ්‍ය නැහැ'' යනුවෙන් බව ද හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේය. 

අවස්ථා දෙකකදීම එම අත්දැකීම් තමන් ලැබූ හෙයින් පසුව නිලන්ත ජයවර්ධන මහතා වෙත දුරකථන ඇමතුමක් ගෙන ඒ සම්බන්ධයෙන් විමසූ විට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ''ඔව් සර් මම ජනාධිපතිතුමාට දැනුම් දෙනවා. හැමදාම සිදු වුණේ එහෙම'' යනුවෙන් පැවසූ බවයි. 

ඒ අනුව එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පවසන ලදී. 

පැවති තත්ත්වය අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ තොරතුරු තිබේ නම් එය ජනාධිපතිවරයාට පැවසීමට නිලන්ත ජයවර්ධන මහතාට බැරිකමක් නොමැති බවයි හෙතෙම සඳහන් කළේ. 

කෙසේවෙතත් විදෙස් බුද්ධි අංශයකින් 04 වැනිදා රාජ්‍ය බුද්ධි සේවාව ලද තොරතුර ගැන  අවස්ථාව ලැබී තිබියදීත් 09 වැනිදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී නිලන්ත ජයවර්ධන මහතා කතා නොකළ අතර එහිදී එම තොරතුර සෙසු බුද්ධි අංශ සමඟ බෙදා ගැනීමට අකමැත්තක් පෙන්වූ බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය.   

මට වාර්තා 60-70ක් ලැබිලා තියෙනවා - ඒවා ජාතික ආරක්ෂාවට බලපෑවා කියලා වැටහෙන්නේ නැහැ 

තමන් ආරක්ෂක ලේකම්ව සිටියදී වාර්තා 60-70ක් ලැබී තිබෙන අතර ඒවා දෙස බැලූ විට ජාතික ආරක්ෂාවට කොතරම් බලපෑමක් කරනවාද යන්න වැටහීමක් නොලැබෙන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේය. මා සිටි ආරක්ෂක මණ්ඩල රැස්වීම්වල මුස්ලිම් අන්තවාදය ගැන පමණක් නොව මාකඳුරේ මදුෂ්, කන්ජිපානි ඉම්රාන් වගේ මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය ගැනත් කතා කළ බව ඔහු සාක්ෂි ලබා දෙමින් සඳහන් කරන ලදී.  

 කොමිසම: එතකොට වවුනතිව්, මාවනැල්ල,වනාතවිල්ලුව සිදුවීම් සම්බන්ධ වාර්තා ඔබට ඇවිත් තිබුනද? ඔබ ඒවා බැලුවද?

සාක්ෂිකරු:වාර්තා ඇවිත් තිබුණා. මම ඒවා බැලුවා. මුලින්ම ආපු වාර්තාවල මුස්ලිම් අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් තිබුණා. නමුත් ප්‍රහාරයක් ගැන කිසිම වාර්තාවක් මට කියලා නැහැ.

කොමිසම: කබීර් හෂීම් ඇමතිතුමාගේ ලේකම්වරයාගේ ඔලුවට වෙඩි තබපු ආකාරයෙන් යම්කිසි ත්‍රස්ත සංවිධානයක් කළ දෙයක් බව බුද්ධි අංශ වාර්තා කළාද?

සාක්ෂිකරු: සැකකරන්න වාර්තා තිබුණා.

කොමිසම : එහෙනම් මුස්ලිම් අන්තවාදී කටයුතු ගැන දැනුවත් නෑ කියල කොහොමද කියන්නේ?

සාක්ෂිකරු: 2015ට පෙර සිටයි ස්වාමීනි මුස්‌ලිම් අන්තවාදය ඇතිවෙන්න ගන්නේ. අන්තවාදී ප්‍රචණ්ඩත්වයක් කරා එමින් තිබුණේ. ප්‍රහාරය වෙනකම් එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ.

04 වෙනිදා සිට අවසන් තොරතුර වෙනතෙක් ආරක්ෂක ලේකම් ලෙස මා දැනුවත් කර නොතිබුණ අතර 19 වැනිදා රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකට සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂකට දැනුම් දී තිබුණේ  නරක දෙයක් වෙන්න යන බව යන්න හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

''කාත්තන්කුඩි බයිසිකල් පිපිරුම ගැන මට SIS අධ්‍යක්ෂ කතා කරලා කිව්වා. වට්ස්ඇප් එකට ෆොටෝ එවලා තිබුණා. නමුත් 04 වැනිදා තොරතුර සමඟ එහි සම්බන්ධයක් ඇති බව පෙන්වා තිබුණේ නැහැ.එය හුදෙකලා සිදුවීමක් ලෙසයි දක්වා තිබුණේ.''

සති බුද්ධි වාර්තාවල ගන්න දෙයක් තිබුණේ නැහැ 

හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දෙමින් පැවසූ අන්දමට සති පතා ඔහු වෙත එවන ලද බුද්ධි වර්තාවල ගත යුතු දෙයක් තිබී නැති අතර එවැනි ගත යුතු ඇත්නම් ජාතික බුද්ධි ප්‍රධානියා විසින් විශ්ලේෂණය කර තමන් වෙත දැනුවත් කරන බව පවසා තිබේ. එහෙත් ජාතික බුද්ධි ප්‍රධානීද තමන්ට පැවසුවේ එම වාර්තාවල ගත හැකි දෙයක් නැති බවයි. 

කොමිසම: ඔබේ මුඛ්‍ය රාජකාරිය වන ආරක්ෂක කවුන්සිලය රැස් කර ඊට අදාළ  කටයුතුවලට සූදානම් වීම. නිසි ලෙස එය නොපැවැත්වීමෙන් මුඛ්‍ය රාජකාරිය පැහැර හැරලා කියලා හිතෙන්නේ නැද්ද?

සාක්ෂිකරු: නිතිපතා එය පැවැත්වූයේ නැහැ තමයි. 2015 පස්සේ හරියට වුණේ නැහැ. ඒ වෙද්දී පැවති සාමකාමී තත්ත්වය නිසා ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් වෙයි කියල මම හිතුවේ නැහැ.

කොමිසම:ජනාධිපතිතුමාව  ඔබට  සෘජුව සම්බන්ධ කරගැනීමේ අවස්ථාව තිබුණද?

සාක්ෂිකරු: දුරකතනයට වඩා මම උදේම ජනාධිපති කාර්යාලයට ගිහින් ලිපිගොණුවල වැඩ කරගන්නවා පැයක් දෙකක් ඉඳලා. ව්‍යවස්ථා අර්බුදය පැවති සමයේ නම් ජනාධිපතිතුමාව හමුවෙන්න කොහෙත්ම බැරි වුණා. එතුමාව වටකරගෙන හිටියේ දේශපාලඥයෝ. අපේ වැඩ මොනවත් කරගන්න හැකි වුණේ නැහැ.

ප්‍රහාරයක්  විය හැකි බවට SIS අධ්‍යක්ෂ වෙතින් ආරක්ෂක ලේකම්වෙත යොමුකරන ලද ලිපියක් සාක්ෂිකරුගේ අවධානයට යොමුකරමින්න රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර  සිටියේ ප්‍රහාරයක් විය හැකි බවට තොරතුරු තිබෙනවා නේද? යනුවෙනි

එය හුදු ලිපියක පමණක් වගේ අනතුරු ඇඟවීමක් ලැබුණාම ක්‍රියාත්මක වෙන්නේ පුළුවන් පොලීසියට වන හෙයින් තමා විසින් එය පොලිස්පති වෙත දැන්නුවා. යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය. 

හදිසි නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ ආරක්ෂක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ පොලීසියට බව හෙතෙම සඳහන් කරන ලදී. 

කොමිසම: නිශ්චිත තොරතුරක් ආවනම් මොකද කරන්නේ?

සාක්ෂිකරු: ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවයට, ත්‍රිවිධ හමුදාවට, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ට කියනවා.

කොමිසම: ඔවුන් සමඟ කතා කිරීමේ අරමුණ මොකක්ද?

සාක්ෂිකරු: සියලුම හමුදාවලට බුද්ධි අංශ තිබෙනවා. ඔවුන් එක්ක කතා කරන්න පුළුවන් ඔවුන්ට මේ තොරතුරු ලැබී තිබෙනවද කියලා දැනගන්න. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හමුදා සම්බන්ධ කරගන්නවා නම් ආරක්ෂක මණ්ඩලය කැඳවා හදිසි නීතිය ගැසට්  කරන්න වෙනවා.

කෙසේවෙතත් 2019 පෙබරවාරි වන විට ජනධිපතිවරයා සමඟ තමන්ට සුහද තත්ත්වයක් නොතිබුණේ එක්තරා අවස්ථාවක රැස්වීමක තමන් කරන ලද කතාවක වැරදි ලෙස  අර්ථකථනය කර එය පිරිසක් ජනාධිපතිවරයාට කියා තිබීම නිසා යි ද හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේය. 

''එදා සිට ජනාධිපතිවරයා නොහොදින් හිටියේ මා සමඟ. මා සිටි මානසික පීඩනයක්  එක්ක මට පවුලේ අය කිව්වා ඉල්ලා අස්වෙන්න කියල. නමුත් මගේ මිතුරන්  කිහිපදෙනෙක් කියා සිටියේ මාස හයක් ඉඳලම ඉවත් වෙන්න කියලා. ඒ වෙද්දී මම මැයි 01 වැනිදා ඉල්ලා අස්වීමට අදාළව ලිපියත් සකස් කරගෙන හිටියේ. නමුත් අවාසනාවට මේ ප්‍රාහරය සිදු වුණා.''

කොමිසම: ප්‍රහාරය වෙනතුරුම ඒ හිත් තැවුල තිබුණද?

සාක්ෂිකරු:ඔව් ස්වාමීනි.

කොමිසම: එයද ආරක්ෂක කටයුතු  අඩාල  වීමට හේතුව?

සාක්ෂිකරු: එහෙම නැහැ. 04 වැනිදා තොරතුර එනකම් එවැනි අවදානමක් තිබුණේ නැහැ. පොලිස්පති එක්ක මම ස්ථාන මාරු වීම් ලේඛනයත් හැදුවා. එය පොලිස් කොමිසමේ ලේකම්ට දීලා නිල නොවන විදිහට එය තහවුරු කරගත්ත. පස්සේ ජනාධිපතිතුමා  කතා කරලා ඇහුවා කාගෙන්  අහලද මාරු වීම ලිස්ට් එක හැදුවේ කියල. මමයි තවම ජනාධිපති කියලත් කිව්වා.  ඒ වගේ අපක්ෂපාතීව  ගත් තීරණ 20-25ක් විතර වෙනස්කරන්නත් සිද්ධ වුණා.

21 උදේ තමයි නිලන්ත පල්ලි ගැන විස්තර හොයන්නේ 

අප්‍රේල් 20 වැනිදා ලැබී තිබුණු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරට අදාළව ඉලක්කයක් වී තිබුණු ක්‍රිස්තියානි පල්ලි සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීන වී තිබෙන අතර ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා ආරක්ෂක ලේකම් අමතා සඳහන් කර තිබෙන්නේ සර් කැතලික් පල්ලිවලට නෙවෙයි මෙතෝදිස්ත පල්ලිවලට ගහන්නේ කියලා මට තොරතුරු ලැබුණු බවත්ය.

ඒ අනුව කොළඹ තිබෙන මෙතෝදිස්ත පල්ලි තිබෙන ස්ථාන ගැන තමන්ගෙන් ජයවර්ධන මහතා විමසුවේ 21 වැනි දින උදෑසන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

තමන් ඥාති හිතමිතුරන්ගෙන් විමසා මෙතෝදිස්ත පල්ලි තිබෙන ස්ථාන සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ දැනුවත් කර මොහොතකින් දැනගන්නට ලැබුණේ කොච්චිකඩේ පල්ලියේත් හෝටල් කිහිපයකත් පිපිරීමක් සිදුව ඇති බව යැයිද හේමසිරි ප්‍රනාන්දු මහතා කියාසිටියේය. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com