www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැසිකිළියේ උපන් කිරිකැටියා මිහිදන් කළ තිදරු මවට වැඩ වරදියි - අනියම් සැමියාත් උදවු කරලා


2020-09-15 08:16:22 -  340 යි

ඇහැලියගොඩ තොරණකඩ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාසයේ අක්කර 50 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි තිදරු මවක් පසුගිය 10 දින රාත්‍රියේ ප්‍රසූත කළ ලේ කැටි බිලිඳා සිය අනියම් සැමියා සමග එක්ව මිහිදන් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වන විට ඇහැලියගොඩ පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

එම කොට්ඨාසයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි එම ප්‍රදේශයේ කාන්තාවක් හමු වී ඇය සමග සාකච්ඡා කිරීමේදී ඇයට දරුවකු පිළිසිඳගෙන ඇති බවට ඇයගේ සේවා අත්දැකීම් අනුව වටහා ගෙන ඇත. ඒ අනුව ඇයට ගර්භණී සටහන් පොතක් ලබා ගන්නා ලෙසත් අදාළ සායනවලට සහභාගි වන ලෙසත් දන්වා ඇති අතර එම කාන්තාව එයට උනන්දුවක් දක්වා නැත. නමුත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ වගකීමට අනුව ඇය හමුවී ගර්භණී සටහන් පොතක් ලබාදී ඇති අතර සායනවලට සම්බන්ධ කර ගැනීමට ගත් සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වීම නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනි ඩබ්.ඩී.එස්.එන්. කුලසේකර වෙත අදාළ කරුණු පිළිබඳ වාර්තා කර ඇත.

ඒ අනුව ලද උපදෙස් පරිදි අදාළ කාන්තාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත කැඳවාගෙන ඒමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පසුගිය 11 වන දින එම කාන්තාව පදිංචි නිවසට යන විට ඇය යම් අපහසුතාවකින් පෙළෙන බව පෙනෙන්නට තිබී ඇත. කරුණු විමසීමේදී එම කාන්තාව පවසා ඇත්තේ තමා දරු ගැබෙන් නිදහස් වූ නිසා ඇතිවුණු රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට පවසා ඇත. සිදුවී ඇති දේ පිළිබඳව වැඩිදුර විමසීමේදී පෙර දින රාත්‍රියේදී වැසිකිළියට ගොස් සිටියදී ගැබ එළියට පැමිණි බවත් දරුවා බිහි වන විට මිය​ගොස් සිටි නිසා සැමියා සමග එකතු වී මිහිදන් කළ බවත් පවසා තිබේ. මෙය බරපතළ තත්ත්වයක් වූ හෙයින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මහජන සෞඛ්‍ය හෙදි ඩබ්.ඩී.එස්.එන්. කුලසේකර වෙත දුරකථනයෙන් අමතා ඒ පිළිබඳව පැමිණිලි කර ඇත. ඒ අනුව ඇයගෙන් ලද උපදෙස් පරිදි අදාළ කාන්තාව ඇහැලියගොඩ මූලික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර අධික රුධිර වහනයක් සිදුවී ඇති බැවින් රුධිරය ලබාදිය යුතු යැයි වෛද්‍යවරුන් නිගමනය කළ නිසා රත්නපුර පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇත. රෝහල්ගත කළ කාන්තාවට ප්‍රතිකාර සඳහා අවශ්‍ය මූලික පියවර ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සිද්ධිය පිළිබඳව ඇහැලියගොඩ පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කළේය.

ඒ අනුව වහා ක්‍රියාත්මකවු ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් කුමාරසිංහගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායම් විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර රත්නපුර දිස්ත්‍රික් විශේෂ අපරාධ අංශයේ (සො.කො.) නිලධාරී කණ්ඩායමක් කැඳවීමට කටයුතු කර තිබිණි. එම නිලධාරීන්ද පරීක්ෂණ කටයුතු සිදුකළ අතර අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව ඉදිරි නීතිමය කටයුතු කිරීමට තීරණය කර ඇත. එම තිදරු මව සමග හවුල් වී කිරිකැටි බිලිඳා මිහිදන් කළ ඇගේ සැමියා ඇඳුම් පැලඳුම් පොදි බැඳගෙන ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔහු කාන්තාවගේ අනියම් සැමියා බවත් විවාහක සැමියාට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හා ඊට පෙර වෙනත් පිරිමියකු සමගද මෙම කාන්තාව අනියම් ඇසුරක් පවත්වා ඇති බවද පරීක්ෂණවලදී හෙළිකර ගෙන ඇති අතර ඇයට මීට පෙරද වයස අවුරුදු 14 හා 10 හැවිරිදි දියණියන් දෙදෙනකු මෙන්ම ඊට බාල පිරිමි දරුවෙකුද සිට ඇති අතර දරුවා කිසිවකු හට ලබාදී ඇති බවටද කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com