බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ අද (10) උදෑසන සිට එම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත ව සිටින බවය.
දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 45 දෙනෙකුගෙන් 39 දෙනෙකු මෙලෙස වර්ජනයේ නිරත ව සිටින බව වාර්තා වේ.
වර්ජනයේ නිරතව සිටින රැඳවියන් අතරට “කංජිපානී ඉම්රාන්”, “කොස්ගොඩ තාරක”, “පොඩි ලැසී” සහ “වෙලේසුදා” ඇතුළු රැඳවියන් වන අතර “පොට්ට නවුෆර්”, “කැවුමා”, “ආමි සම්පත්” ඇතුළු රැඳවියන් 06 දෙනෙකු වර්ජනයට සහය දක්වා නොමැති බව වාර්තා වේ.
කොරෝනා සමයේ ඥාතීන් හමුවීමට නොහැකිවීම හේතුවෙන් ලබාදුන් දුරකථන පහසුකම ඉවත් කිරීම, රැඳවියන් හමුවට එන නීතිඥවරුන් පරීක්ෂා කිරීම, විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන පරීක්ෂාවන් ඇතුළු කරුණුවලට විරෝධය පළ කරමින් මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත ව සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.