www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කංසා ගැන සංකා දුරු කරමුද?


2020-09-07 10:30:36 -  409 යි

ඒ ක්‍රිස්තු වර්ෂ 70වයි. චීන රටේ අධිකරණ කාර්යාලයක සේවය කෙරූ ගයි ලූන්ට මහත් වූ හිසරදයක් තිබුණේය .ඒ ඒකාලයේ සටහන් තබන්නට භාවිතා කළ උණබම්බු පතුරුවල බරය. ලුන්ට මීට වඩා බරින් අඩු සැහැල්ලු මාධ්‍යයක් අවශ්‍ය කළේය. ඒ සඳහා විවිධ අත්හදා බැලීම් කළ ලුන් දවසක් කංසා ශාකයේ කෙඳි හා මල්බෙරි පොතු එකට දමා සැදූ තලපයක් දින ගණනාවක් පල් වෙන්නට තැබුවේය. ඉන් පසු සැදී තිබූ දැල් පාසිය හතරැස් කොටුවක වේලෙන්නට හැරියේය. වතුර වාෂ්ප වී ගිය තැන ඉතිරි වූයේ නම්‍යශීලී තන්තු තට්ටුවකි. ඒ තට්ටුව කඩදාසි නැතිනම් ෂී නමින් නම් විය. ඒ අනුව ලෝකයේ පළමු කඩදාසිය හැදුනේ කංසාවලිනි. විද්‍යාත්මකව (Cannabis setiva) නමින් හඳුන්වන කංසා ශාකය මිනිසාට මුලින්ම හමුවූයේ මීට අවුරුදු දොළොස්දහසකට පෙර චීනයේ අල්තායි කඳුවැටියේ ගංගා නිම්නයේ තිබීය.

එතැන් පටන් කංසා ශාකය ඉන්දියාව පර්සියාව ග්‍රීසිය ආදී රටවල ව්‍යාප්ත විය. එය එකල චීනයේ ප්‍රධාන භෝග පහෙන් එකක් වූ අතර ඉන්දියාවේ ප්‍රධාන භෝග තුනෙන් එකක් විය. කංසා ගස මීටර් දෙකක් පමණ උසින් වැඩෙන තනි කඳක් ඇති කේතුධර ආකාරයේ පඳුරකි. එහි ගෑනු හා පිරිමි වශයෙන් ගස් දෙවර්ගයකි. කංසා ගස්වල මල් පිපෙන්නේ ගසේ කඳේය. ඒ පොකුරු වශයෙනි. කංසා මැලියම්වල ඊටම ආවේණික වූ රසායන වර්ග 80ක් පමණ ඇත. කංසා සෑම කොළයක්‌ ළඟම තනි දිග කොළයක් මතු වන්නේය. ඊට අමතරව වෙනස් කොටස්වල රසායනික ද්‍රව්‍ය 365ක් පමණ ඇත. ආයුර්වේදයේ හා දේශීය වෙදකමේ කංසා විවිධ නම්වලින් හඳුන්වා දෙයි. භංගා, ගංජා, මාතුලානී, අජයා, මාදිනී, ත්‍රී ලෝක විජය පත්‍ර ඒ නම් අතරින් කිහිපයකි.

කංසාවලින් හදන්න පුළුවන් එකම දේ කඩදාසි පමණක් නොවේ. කංසා එක්තරා ආකාරයක කප් රුකකි.
කංසා ඇටවලින් පිටි හා තෙල් නිපදවන්නට හැකිය. මේ කංසා තෙල් හදන වැඩේ ලෝකෙ වැඩියෙන්ම කරන රට චීන දේශයයි. කංසා තෙල්වලින් ආහාර පිසින තෙල්, තෙල් සායම් හදන්නට, මුද්‍රණ තීන්ත හදන්නට, පුද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය නිපදවන්නට, සැලඩ් තෙල් නිපදවන්නට, මාගරින් හදන්නට, අතිරේක ශක්ති ජනක නිපදවන්නට භාවිතා කර හැකිය.

කංසා පිටිවලින් බනිස් බිස්කට් ආදී තිරිඟු පිටිවලින් නිපදවන ඕනෑම ආහාරයක් සෑදිය හැකිය. එහෙත් තිරිඟු පිටි නිසා ඇතිවන රෝග ඉන් ඇති වෙන්නේ නැතැයි ද පැවසේ. සාමාන්‍යයෙන් එක් කංසා ගහකින් වැඩුණු පිරිමියෙක් ගේ දෝතට ගත හැකි තරමට සෑහෙන්න කංසා ඇට ප්‍රමාණයක් නෙළාගන්නට හැකිය. මීට අමතරව අමු කංසා පත්‍ර මෙන්ම වියළි කංසා පත්‍රද ආහාරයට එකතු කර ගැනීමේ හැකියාව ඇත. කඳේ පොත්තෙන් නූල්, කඹ, රෙදි, කැන්වස්, ප්ලාස්ටික් නිපදවන්නට හැකිය. මේ කංසාවලින් තැනූ රෙදි හා නූල් කොතරම් ශක්තිමත්දැයි පැවැසුවහොත් එකල රුවල් නැව්වල රුවලට භාවිතා කළේ කංසා රෙදිය. කංසා රෙදිවලින් ඇඟලුම්, අත් බෑග්, දැල් ආදිය නිපදවන රටවල්ද ඇත.
චීනය සීයට සීයක් ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කර කංසා රෙද්දෙන් ඩෙනිම් මහන්නේය. මේ වනවිට කංසාවලින් වතුර අවශෝෂණය කර නොගන්නා සපත්තු පවා නිපදවිය හැකි බව සොයාගෙන තිබේ.

කඩදාසි, චිප් බෝඩ් වර්ගයේ ලෑලි, කොම්පෝස්ට් පොහොර මෙන්ම ගොඩනැගිලි කර්මාන්තයේ ආදේශක ලෙස අරටුව භාවිතා කරන්න හැකිය. ෆයිබර් බෝඩ්, ෆයිබර් ග්ලාස් වර්ග ඒ අතර වෙයි. කඩදාසි කී විට මුද්‍රණ කඩදාසි, කාඩ්බෝඩ්, ඇසුරුම් කොළ, ඩිමයි කොළ පෙරහන් කඩදාසි නිපදවන්නට හැකිය. අක්කර 120ක ඉඩක පිරුණු ශාක කපා නිෂ්පාදනය කරන කඩදාසි ප්‍රමාණය කංසා හෙක්ටයාර 1කින් නිෂ්පාදනය කළ හැකි බව පැවසේ. කංසා ගහක් සාමාන්‍ය ගහකට වඩා තිස් ගුණයක වේගයෙන් වැඩේ.

සබන්,ෂැන්පො,ලෝෂන් බාම් මෙන්ම තොල් ආලේපන, බාත් ජෙල්, නිය ආලේපන ආදී රූපලාවණ්‍ය ද්‍රව්‍යයද කංසා ගහෙන් ලබා ගන්නට හැකිය. සත්ත්ව ආහාර සඳහා මෙන්ම ගොවිපළ සතුන් සිටින ස්ථාන සඳහාද කංසා ශාකය වගා කළ හැකිය.

තෙල් සායම් වාර්නිෂ් දියර,එතනෝල් සමග මිශ්‍ර කර ඉන්ධන ලෙසද කංසා ශාකයෙන් ලබා ගන්නා කොටස් භාවිතා කරන්නට හැකිය.

මෙම ශාකයෙන් ගත් අපූරු ප්‍රයෝජනයක් ගැන ඉතාලියෙන් වාර්තා වෙයි. ඒ වානේ කම්හලක් නිසා පස දූෂණය වූ ගොවිපළක එම පස නැවත යථා තත්ත්වයට පත් කරන්නට කංසා ශාකයට හැකිවූ බවය.
කංසා ශාකයේ වේගයෙන් වර්ධනය වන මුල්වලට. පසේ දූෂිත ද්‍රව්‍ය ගබඩා කර ගන්නට මෙන්ම සමහරක් විෂ ද්‍රව්‍ය හානිකර නොවන තත්ත්වයට පත් කරන්නට හැකියාවක් ඇති බවත් පරීක්ෂණ මගින් සොයාගෙන ඇත.
අපේ රටේ අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවල ඇති වකුගඩු රෝගවලට හේතු වූ දූෂිත පසට කංසා පිළියමක් වෙනු ඇත.

කංසා වගාකරුවන් පවසන්නේ කංසාවලට අලි ඇතුන් අකමැති බවය. ගම්මාන මායිමේ කංසා වැවීමෙන් අලි මිනිස් ගැටුමට විසඳුම් ලැබිය හැකි බව ඔවුන්ගේ මතයයි.

එමෙන්ම මල් පිපුණු කරටිවල ඇති මැලියම් වලින් ඖෂධ, මෙන්ම හා හෂීස් නිපදවන්නටත් මල් හා පත්‍ර වලින් ගංජා ජොයින්ට්,මර්ජුවානා,බීම වර්ග හා ඖෂධ නිපදවන්නත් හැකිය.

මෙයට එරෙහිව අපේ රටේ අවි අමෝරා තිබුණද කංසා නීතිගත කර මෙම ශාකයෙන් විවිධ නිෂ්පාදන කරනා රටවල්ද ඇත.

ප්‍රංශය කංසා ඇටවලින් පිටි හා තෙල් නිපදවන අතර කොලොම්බියාව, කැනඩාව, උරුගුවේ, ස්පාඤ්ඤය, අමෙරිකාව, පෘතුගාලය රූමේනියාව වගේ රටවල් කංසා විවිධ සීමා යටතේ නීත්‍යානුකූල කර ඇත.

එදා අතීත මුතුන් මිත්තන් සිය නිවෙස් අසල කංසා ශාක කිහිපයක් වගා කර ගත්තේය. ඔවුන් ආහාර සඳහා අමු කංසා භාවිතා කළෝය. අමු කංසා කොළවල විස වාෂ්ප සමග ඉවත් කිරීමේ හැකියාවක් ඇතැයි ඔවුන් විශ්වාස කළෝය. ඔවුන් කංසා ඇට අල්ප මාත්‍රව ආහාරයට ගත්තේ ආහාර ජීර්ණ පද්ධතිය නිසි අයුරින් පවත්වාගෙන යාමටය. ඔවුන් වෑංජනයක් සකසන විට රම්පෙ කුරුඳු කරපිංචා දමන ප්‍රමාණයට කංසා පත්‍රයක්ද දැමුවෝය. ඒ හදවත් රෝගවලින්, නහර ගත ලේ කැටිගැසීම්වලින්, මාස් ශුද්දියේ වේදනාවලින්, ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝගවලින් වැළකී සිටීමටය. තවද අම්ල පිත්ත ආබාධවලින් තොර නිරෝගිමත් ජීවිතයකට මෙම ශාකයේ කොටස් හේතු වෙනවා යැයි ඔවුහු විශ්වාස කළහ.
සාර සොභාවට යහමින් වැජඹුන කංසා ශාකය නීති විරෝධී වූයේ ඇමෙරිකාවේ උවමනාවටය. කංසා ඇමරිකාවේ නීතිවිරෝධී වෙන්නේ 1930 දී පමණය. එක්තරා ව්‍යාපාරිකයෙක් වනාන්තරයක් මිලදී ගත්තේය. ඔහු ඒ වනාන්තරයේ ගස් ලීවලට භාවිතා කර ඉතිරිවෙන ලී කුඩු යොදාගෙන කඩදාසි නිෂ්පාදනය කළේය.

ඒ අතරේ රසායනික ඖෂධ වර්ග, පෙට්‍රෝලියම් තෙල් වර්ග, විවිධ රෙදි වර්ග බිහිවිය. එහෙත් කංසා කඩදාසි හා අනෙක් නිෂ්පාදන නිසා ඔවුන්ගේ ලී කඩදාසිවලට තැන ලැබුණේ නැත. ඒ නිසා ඔවුන් තමන් සතු සියලුම ප්‍රචාරක මාධ්‍ය භාවිතා කර කංසා යනු දරුණු මත්ද්‍රව්‍යයක් පමණක් යැයි සමාජගත කළේය. ඇමෙරිකාව තුළ කංසා තහනම් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක බලවතා වූයේ ඇමරිකාවයි. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලෝකයේ කංසා තහනම් කළෝය. ඒත් ලෝකෙට කංසා තහනම් කළ ඇමරිකාවේම ඇතැම් ප්‍රාන්ත්වල කංසා නීති ලිහිල් කර ඇත. ඒ අතරේ කංසා තහනම ඉවත් කරනවා යන්න ඇමරිකාවේ කලින් කලට ආ ජනපතිවරණ ඡන්ද පොරොන්දුවකි.

මධුෂාණි කෙඩිතුවක්කු

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com