www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අංගොඩ ලොක්කා ඉන්දියාවේත් මත්ද්‍රව්‍ය ජාලයක් හදලා: සහය මාකඳුරේ මධූෂ්ගෙන්


2020-08-31 16:16:15 -  539 යි

ඉන්දියාවට පළා ගොස් සැඟවී සිටි අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරා ඉන්දියාවේ කොයිම්බතූර්හි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් ගොඩ නගමින් සිට ඇති බවට එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක පළ කරයි.

ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට එක්රැස් කරගෙන ඇති සාක්ෂි අනුව අංගොඩ ලොක්කා කොයිම්බතූර්හි කායවර්ධන මධ්‍යස්ථානවලට මස්පිඩු වර්ධක ප්‍රෝටීන් බහුල කිරිපිටි සැපයීමේ ව්‍යාපාරයක නිරතව සිට ඇතැයි තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරනුයේ, මත්ද්‍රව්‍ය ජාවාරම සඟවා ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස මෙම කිරිපිටි සැපයීම සිදු කරන්නට ඇති බවය.

"ප්‍රෝටීන් බහුල කිරිපිටි ව්‍යාපාරය කරන්න ඇත්තේ ඊට යටින් කෙරුණු හෙරොයින් ජාවාරම වහ ගන්න වෙන්න පුළුවන්," අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ද හින්දු පුවත්පතට පවසා තිබිණි.

මේ අතර, පාකිස්ථානයේ සිට  ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට හෙරොයින් ප්‍රවාහනය කෙරෙන "Hawala" නමැති ජාලයක් මගින් අංගොඩ ලොක්කා වෙත මුදල් ලැබුණු බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

ඒ සඳහා මේ වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත කර සිටින මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ද සහය දුන් බවට විශ්වාස කරයි.

මේ වන විට ඉන්දීය පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම ජාලයට සම්බන්ධ අංගොඩ ලොක්කා සමග සබඳතා පැවැත්වූ රාමේස්වරම්හි බෝට්ටුකරුවන් කිහිප දෙනෙකු පිළිබඳව ද ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී තිබේ.

බන්ධනාගාර බස් රථයකට පහර දී 'සමයං' ඝාතනය කිරීමෙන් පසු රහසිගතව ඉන්දියාවට පළා ගිය අංගොඩ ලොක්කා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඉන්දියාවේ කොයිම්බතූර්හි නීතිවිරෝධී ලෙස වාසය කළ බවට තොරතුරු ලැබී තිබේ.

එහිදී ඔහු ප්‍රදීප් සිං නමැති ව්‍යාජ නමක් භාවිත කරමින් ඉන්දියාවේ ජාතික හැඳුනුම්පතක් ලෙස භාවිත වන ආධාර් කාඩ් පතක් ලබා ගෙන තිබිණි. ඔහු බෝට්ටු මගින් ශ්‍රී ලංකාවෙන් පළා යාමට පෙර සඳුන් ඇල්වලගේ නමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් ද සකස් කරගෙන තිබිණි.

අංගොඩ ලොක්කා පිළිබඳව තොරතුරු යළිත් අනාවරණය වූයේ පසුගිය ජූලි 03 වන දා කොයිම්බතූර්හිදී ඔහු අභිරහස් ලෙස මරණයට පත්වූ බවට තොරතුරු වාර්තා වීමත් සමගය.

ඔහුට ආධාර අනුබල දීමේ චෝදනා මත, ඔහුගේ අනියම් බිරිඳ වූ අමානි තාන්ජි, නීතිඥවරියක වන සිවකාම සුන්දරී සහ එස්. දියනේස්වරන් නමැත්තෙකු ඉන්දීය පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com