www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාමේ අම්මා ලේ පෙරාගෙන නිදි... බියගම සසල කළ මිනීමැරුමක්


2020-08-30 12:24:15 -  431 යි

සති දෙකක් ඇතුළත බියගම පොලිස් වසමෙන් දෙවැනි වරටත් බිහිසුණු මිනිස් ඝාතනයක් ඉකුත් 24 දා වාර්තා විය. සියඹලාපේ හන්දිය ප‍්‍රදේශයේ පලතුරු වෙළෙඳසලක හිමිකරුවකු ගෙල සිරකර මරා වළ දමා තිබුණේ ඉකුත් 10 වැනිදාය. එම අපරාධයේ සුලමුල සොයාගෙන අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා ගිමන් හරින්නටත් ඉඩ නොදී බියගම පොලිසියට තවත් එවැනිම බිහිසුණු අපරාධයක විමර්ශන ආරම්භ කිරීමට සිදු වූයේ ඉකුත් 24 දාය.
 
 බියගම, පේරගස්හන්දිය, මල්වත්ත පාරේ පදිංචිව සිටි නදීකා කුමාරි රත්නායක නමැති 39 හැවිරිදි එක්දරු මවක ඉකුත් 24 දා දහවල් නිදියහනේදීම ගෙල කපා පිහියකින් ඇන ඝාතනය කර තිබුණේ ම්ලේච්ඡ අයුරිනි. ඉකුත් 28 වැනිදා වනවිටත් අභිරහසක් වූ මෙම ඝාතනයේ සුලමුල සොයා පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මක වන අතර ඉතා ඉක්මනින් සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි වෙතැයි පොලිසිය පවසයි.
 
 ඝාතනයට ලක්වූ නදීකා කුමාරි රත්නායක (39) නමැත්තිය කුරුණෑගල, ඇහැටුවැව ප‍්‍රදේශයේ මුල් පදිංචිකාරියක වන අතර ඇය කොළඹ, හෙට්ටියාවත්ත ප‍්‍රදේශයේ පදිංචි ජල සම්පාදන මණ්ඩලයේ සේවය කරන අයකු සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගැනීමෙන් පසු විවාහ වී කෙටි කලක් හෙට්ටියාවත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇත. එසේ සිට මීට වසර 12 කට පමණ පෙර බියගම පේරගස්හන්දිය ප‍්‍රදේශයේ ස්ථිර පදිංචියට පැමිණ තිබේ. මොවුන් දෙදෙනාට අවුරුදු 11 ක් පමණ වයසැති පිරිමි දරුවකු සිටින අතර ඔහු බියගම මධ්‍ය මහා විද්‍යාලයේ 6 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටී.
 
ඝාතනය වූ නදීකා දිනපතා අලූයම අවදිව සිය සැමියාට රාජකාරියට යෑම සඳහා දිවා ආහාරය සකස් කිරීම පුරුද්දක් කරගෙන සිටි අතර ඒ අතරතුර තම දරුවා අවදි කරවා ඔහු පාසල් යැවීමට සූදානම් කරන්නීය. නිසි වේලාවට ස්වාමියා හා දරුවා පිටත් කර හැරීමට අවශ්‍ය ආහාර පිසීම හා අනෙකුත් කාර්යභාරයක් කඩිසරව සිදු කර දරුවා පාසල වෙත රැගෙන යන නදීකා ආපසු සිය නිවසට පැමිණෙන බොහෝ අවස්ථාවලදී ඇගේ සැමියා රාජකාරිය සඳහා නික්ම ගොසිනි.
 
 පවුලේ එක් අයකු රැකියාවේ නිරත වී ලබන වැටුපෙන් වර්තමානයේ පවතින වියහියදම් දරා ගැනීම අපහසු නිසා නදීකා හා ඇයගේ සැමියා කතිකා කර ගන්නේ තම නිවසේ ඉදිරිපස වෙන්ව ඉදිකර ඇති කාමරය කුලියට දී කිසියම් ආදායමක් ලබා ගැනීම සුදුසු බවයි. බියගම නිදහස් වෙළෙඳ කලාපය ආසන්නයේ නිසා කාමරය කුලියට දීම ඉතා පහසු කාර්යයක් වුවත් එහිදී ඉතා විශ්වාසවන්ත පුද්ගලයකු සොයා ගැනීමට දෙදෙනාම අදිටන් කර ගත්තේ සමාජයේ එදිනෙදා අසන්නට ලැබෙන දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් මෙම දෙපළට තිබූ නිසාය. දවල් වරුවේ දරුවා ඉස්කෝලෙ ගිහින් එනකන් ඔයා තනියමනෙ ගෙදර ඉන්නේ, ඒක හින්දා අපි හොඳට හොයලා බලලා, හොඳ කෙනෙක්ව කාමරේ බෝඞ් කරවා ගමු නදීකාගේ සැමියා එසේ කීවේ ඇයගේ ආරක්ෂාව ඔහුගේ පළමු අපේක්ෂාව වූ නිසාය.
 

මේ අයුරින් බියගම නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණයකු සිය මිතුරකු මාර්ගයෙන් කාමරය කුලියට ගැනීමට පැමිණි අතර ඒ වනවිට නදීකාගේ සැමියා නිවසේ නොසිටි නිසා සැමියා නිවසේ සිටින අවස්ථාවක පැමිණ කතා කර ගන්නැයි දන්වා එම තරුණයා පිටත් කර හැරීමට ඇය කටයුතු කළාය. ඒ අනුව පසු වේලාවක පැමිණ කාමරය පරීක්ෂා කර බලා ගාස්තු ගෙවීමෙන් අනතුරුව කාමරයේ පදිංචියට පැමිණි පුද්ගලයා තමාගේ පාඩුවේ වැඩ කටයුතු කර ගනිමින් කල්ගත කළේය. සේවා මුර දෙකක් යටතේ සේවය කරන මෙම තරුණයා දිවා කාලයේ සේවයේ යෙදී සිටියදී නදීකා දිවා කාලයේ තනි පංගලමේ කාලය ගත කරන අතර දරුවා පාසල නිම වී නිවසට පැමිණෙන තුරු නිවසේ ඉදිරිපිට දොර වසා නිවස තුළට වී ගේ දොර වැඩ කටයුතු කිරීමට ඇය පුරුදුව සිටියාය. සවස 1.30 ට දරුවා පාසල නිමවන වේලාව ආසන්න වෙද්දී ඔහු කැඳවාගෙන ඒමට පාසල වෙත යන නදීකා දරුවා නිවසට පැමිණි පසුව ඔහුට කවා, පොවා, නහවා නිදි කරවන අතර සවස් කාලයේ දරුවා සමග එක්ව පාසලේ වැඩ කටයුතු කිරීමට පුරුදුව සිටියාය. අඳුරු වැටෙද්දී සිය සැමියා රාජකාරිය නිමවා නිවසට පැමිණෙන විට ඔහුට තේ කෝප්පයක් වත්කර දී ඔහුගේ ආවතේව ඉටු කිරීමට සැදී පැහැදී සිටින නදීකා ඇතැම් දිනවල තම සැමියා නිවසට පැමිණීමට ප‍්‍රමාද වන අයුරු නිරීක්ෂණය කළේ ඔහුටත් නොදැනෙන්නටය. ඒ කෙසේ වෙතත් ප‍්‍රමාද වන සෑම දිනකම නිදහසට කරුණක් නදීකාගේ සැමියාගේ පැත්තෙන් ඉදිරිපත් වූ නිසා සිය සැමියා අබමල් රේණුවක තරමින්වත් සැක කරන්නට නදීකාට සිත් දුන්නේ නැත.
 
 ජීවිතය මෙසේ ගලාගෙන යමින් තිබියදී ඉකුත් 24 වැනිදා උදා විය. වෙනදා මෙන්ම සුපුරුදු වේලාවට අවදි වී තම ස්වාමිපුරුෂයාගේත් දරුවගේ කාර්යභාරයන් අවසන් කර දරුවා සමග පාසලට ගොස් ඔහු පාසලට ඇරලවා නිවසට නදීකා පැමිණෙන විටත් ඇගේ ස්වාමියා රාජකාරිය සඳහා නික්ම ගොස් තිබිණි. ඒ අනුව නිවසේ අස්පස් කිරීම්වල නිරත වූ නදීකා රෙදි සෝදා අව්වේ දැමීමට මිදුලට පැමිණි විට දුටුවේ කුලී කාමරයේ සිටින තරුණයා වැඩට ගොස් නැති බවයි. අද නිවාඩු ද මල්ලි යනුවෙන් ඔහුගෙන් විමසීමට ද අමතක නොකළ නදීකා ඔහුගේ පිළිතුරු අනුව එදින ඔහුගේ නිවාඩු දිනය බව දැන ගත්තාය. පසුව නිවස තුළට වී දොර වසා ගත් ඇය සුපුරුදු දෛනික කාර්යයන්හි නිරත වූවාය.
 
 උදෑසන 8.00 ට පමණ වැඩ කටයුතු කරමින් සිටියදී ඇය සිය නැඟණියට දුරකථන ඇමතුමක් දී සුවදුක් විමසා තමා මේ දිනවල මුහුණ දී සිටින ආර්ථික ප‍්‍රශ්න කිහිපයක් පිළිබඳව ඇය දැනුවත් කර ඇත. පසුව නැඟණියගේ උපදෙස් මත උදෑසන 10.00 ට පමණ තම පියාට දුරකථනයෙන් අමතා හදිසි අවශ්‍යතාවක් සඳහා මුදල් ලබාදිය හැකි දැයි විමසා ඇත. නිතර නිතර මුදල් ඉල්ලා කරදර කරන පුරුද්දක් නදීකාට නැති බව හොඳින්ම දන්නා ඇගේ පියා තම දියණිය ඉල්ලූ මුදල ඇයට ලබා දීමට එකඟ වී ඇත.
 
 පියා සමග දුරකථන සංවාදය අවසන් කිරීමටත් පෙර නිවස ඉදිරිපිට කිසියම් අයෙකු කතා කරන හඬ ඇසුණු නිසා පියාට ඒ බව පවසා දුරකථනය විසන්ධි කර වසා තිබුණු ඉදිරිපස දොර විවෘත කර නදීකා ගෙමිදුලට පිවිසුණාය. ප‍්‍රදේශයේ මරණාධාර සමිතියක වාරික මුදල් එක්රැස් කිරීම සඳහා එම ප‍්‍රදේශයේ කාන්තාවක් පැමිණ සිටි අතර ඇය සමග කතාබහ කර මුදල් පසුව ගෙවීමට එකඟ කරවා ගෙන ඈ පිටත් කර හැරීමෙන් පසු නැවතත් නිවසට වී දොර වසා ගත් නදීකා කෙටි නින්දකට ඇඳට ගියේ අලූයම සිට අවදි වී වැඩ කිරීම නිසා ඇඟට දැනුන තෙහෙට්ටුව නිසාය.
 
 ඒ වනවිට කුලී කාමරයේ සිටි තරුණයා කාමරය තුළම සිටි අතර ඔහු සාමාන්‍යයෙන් නදීකාගේ නිවසේ අය සමග වැඩි කතාබහක් නොකරන අයෙකි. එසේ වුවත් පිටස්තරයකු නිසා ඔහු පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස නදීකාගේ සැමියා ඇයට වරින් වර උපදෙස් දී තිබිණි.
 
 කාලය එසේ ගෙවී යද්දී වේලාව දහවල් 1.30 පසු වී තිබිණි. නදීකාගේ දරුවා පාසල නිම වී පාසල් ගේට්ටුව අසලට පැමිණ තම මව පැමිණ සිටී දැයි බැලූවත් ඇය පෙනෙන්නට නොවීය. එහෙයින් නැවතත් පාසල් ගේට්ටුව ඇතුළට වී මව පැමිණෙන තුරු ඔහු රැඳී සිටියේ මීට පෙර ඔහුට මව විසින් දී තිබුණු උපදෙස් අකුරටම පිළිපදිමිනි. දරුවනට එදිනෙදා සමාජයෙන් සිදුවන අනතුරු නිසා තමා පාසලට පැමිණ රැගෙන යන තුරු පාසල තුළම රැඳී සිටින ලෙස නදීකා තම පුතුට තරයේ උපදෙස් දී තිබුණාය.
 
ඒ අනුව දහවල් 2.00 පමණ වන තුරු තම මව පැමිණෙන තුරු පාසල තුළ රැඳී සිටි දරුවා මවගේ නොපැමිණීම නිසා මහත් තිගැස්මකට ලක්ව සිටියේය. කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව සිටි නදීකාගේ දරුවා තනිවම නිවසට යෑමට තීරණයක් ගත්තේ කළ හැකි වෙනත් කිසිවක් නොමැති නිසාය. පාසලේ සිට නිවසට වැඩිදුරක් නොවූවත් නිරන්තරයෙන් වාහන සිය ගණනක් එහා මෙහා යන නව නුවර පාර ඔස්සේ මීටර් 500 ක් පමණ පයින් යෑමට මෙම දරුවාට සිදුව තිබිණි. වෙනදා එම ගමන යෑමට රැකවරණය සැපයීමට තම මව සිටියත් අද තමා තනිවම යා යුතු නිසා මේ පුංචි දරුවා ඉතා ප‍්‍රවේශමෙන් පාර හරහා මාරු වී තම නිවසට පැමිණියේය.
 
 දරුවා නිවසට පැමිණ ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළත් ඒ වනවිට එය අගුළු දමා තිබුණු නිසා නිවස පිටුපසට ගොස් පිටුපස දොර තල්ලූ කර බලද්දී එය විවෘත විය. ඒ අනුව නිවසට පිවිසි දරුවාට වෙනදා නැති අමුත්තක් නිවස තුළින් දැනෙන්නට විය. වෙනදා සිය මවගේ කටහඬින් ප‍්‍රබෝධමත්ව තිබෙන නිවස අද අම්බලමක් ලෙසින් පාළුවට ගොසිනි. දොර විවෘත කළ සැණින් මවට කතා කළත් නිවස තුළින් හාවක් හූවක් ඇසුනේ නැත. අම්මා කොහේ ගිහින්දැයි තරමක කේන්තියෙන් කල්පනා කළ මේ අහිංසක දරු පැටියා ඔවුන් නිදන කාමරයේ දොර රෙද්ද විවර කර ඇඳ දෙස බැලීමේදී ඔහුගේ දෑස ගැටුණේ මෙලොව උපන් කිසිදු දරුවකු නොදුටුව යුතු ඉතා අවාසනාවන්ත දසුනකි.
 
 තමා සමග දෙමාපියන් රාති‍්‍රයේ නිදා ගන්නා ඇඳ මත තම ආදරණීය මෑණියන් ලේ විලක් මැද නිරුවතින් සිටින අයුරු දුටු සැනින් දරුවාට අම්මේ කියා කෑගැසුණේය. සිදුව ඇත්තේ කුමක්ද? සිදුවන්නට යන්නේ කුමක්ද? කිසිවක් සිතා ගත නොහැකිව සිටි නදීකාගේ දරුවා එසැණින් නිවසෙන් පිටව ගොස් නිවස ඉදිරිපිට මාර්ගයේ අනෙක් පසට වන්නට තිබුණු සිල්ලර වෙළෙඳසලට දිව ගියේය. මාමේ අපේ අම්මා ඇඳ උඩ ලේ පෙරාගෙන නිදි, අනේ පොඞ්ඩක් එන්නකෝ යැයි හඬනඟා කෑගැසුවේය.
 
 දරුවාගේ මෙම ප‍්‍රකාශයෙන් අන්දමන්ද වූ ඒ අවස්ථාවේදී වෙළෙඳසලේ සිටි පිරිස් වහා දිව විත් නදීකාගේ නිවසට ඇතුළු වී සිදුවී ඇති දේ තම දෑස්වලින්ම දැක ගත්හ. වහා නිවසෙන් පිටවූ මොවුන් නිවසේ දොර වසා බියගම පොලිසිය දැනුවත් කළ අතර ඒ වනවිට මුවින් මුවට ආරංචිය පැතිර ගොස් තිබුණු නිසා නදීකාගේ නිවස ඉදිරිපිට සිය ගණනක් රැස්ව සිටියහ. නිවස ඉදිරිපිට රැස්ව සිටි පිරිසගේ ඝෝෂාව ඇසී බෝඩිම් කාමරයේ සිටි තරුණයා ද පිටතට පැමිණ සිටි අතර එහි සිටි බොහෝ දෙනකුගේ අවධානය ඒ වනවිට එම තරුණයා වෙත යොමු වී තිබිණි. අයෙක් තවකෙකුගේ කනට කොඳුරා ඕකා පැනලා යයි කල්පනාවෙන් ඉඳපල්ලා යැයි කීවේය. තවත් අයෙකු මල්ලි තමුසෙ කාමරේ ඇතුළේ මැරිලා හිටියා ද ඕයි මෙච්චර දෙයක් ගේ ඇතුළෙ වෙනකල් යැයි ඇසුවේ නෝක්කාඩුවට මෙනි. කවුරුන් කුමක් කීවත් එම තරුණයා කිසිවෙකුට උත්තර දෙන්නට ගියේ නැති අතර ඔහු ද සිටියේ මහත් තැතිගැන්මට ලක්ව බව බොහෝ දෙනකු අවබෝධ කර ගත්හ.
 
 කෙසේ වෙතත් සුළු වේලාවකින් එහි පැමිණි බියගම පොලිසිය දුරකථන ඇමතුමක් දී නදීකාගේ සැමියා එම ස්ථානයට කැඳවා ගත් අතර ඔහු දුටු සැණින් නදීකාගේ දරුවා තම පියා වැළඳ ගෙන හඬාවැටෙන්නට වූයේ එම ස්ථානයට රැස්ව සිටි පිරිසගේ දෙනෙත් කඳුළින් තෙත් කරමිනි. මේ වනවිට බියගම පොලිසිය බෝඩිම් කාමරයේ පදිංචිව සිටි තරුණයා පොලිසිය මගින් පසෙකට කැඳවා ගෙන ප‍්‍රශ්න කරන්නට වූ අතර අනතුරුව නදීකාගේ සැමියාගෙන් ද බියගම පොලිසිය ප‍්‍රශ්න කරන්නට විය.
 
 නදීකා මරණාධාර සමිතියේ නිලධාරිනිය සමග කතාබහ කර නිවසට වී දොර වසා ගත් මොහොතේ සිට දරුවා පාසල් අවසන් වී නිවසට පැමිණි මොහොත දක්වා එම නිවස තුළ සිදු වූ ඛේදවාචකය ඉකුත් සිකුරාදා වන තුරුම අභිරහසක්ව පැවතිණි. නදීකා ඝාතනය කිරීමට තරම් ප‍්‍රබල හේතුවක් පොලිසියට අනාවරණය කර ගැනීමට ද නොහැකි වී ඇත. අනෙක් අතට නදීකාගේ ඝාතනයේ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයට අනුව නදීකාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති අතර ඊට අමතරව ඇගේ ශරීරයේ විවිධ තැන්වලට පිහි ඇනුම් විසිඑකක් එල්ල වී ඇත. එවැනි කෲර අන්දමින් නදීකා ඝාතනය කිරීමට කාට නම් ඇය වරදක් කර ඇත්ද?
 
 කුමන කරුණක් අරබයා මෙම ඝාතනය සිදුවුවත් එය මහපොළව නුහුලන අපරාධයකි. දසමසක් අනේකවිධ දුක්ගැහැට, වේදනා විඳ මෙලොව බිහිකළ දා පටන් තමා වෙනුවෙන් අසීමිත කැපවීමෙන් හා දාරක පේ‍්‍රමයෙන් තමා උස් මහත් කළ ආදරණීය මෑණියන් ලේ විලක් මැද, නිදි යහන මත ඝාතනය කර ඇති අයුරු සියැසින් දකින්නට ලැබීම ඒ සමනල් පැටියා කෙසේ නම් විඳ දරා ගන්නට ඇත්ද? මෙවැනි ම්ලේච්ඡ ඝාතන සමාජයෙන් තුරන් කරන තාක් නදීකාගේ දරු පැටියා වැනි අසරණ මල් කැකුළු දිනෙන් දින පීඩනයට පත්වීම වැළැක්විය නොහැක.




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com