www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අපට තොරතුර ආවේ පිරිමි 11ක් ගැහැනු 06ක් ප්‍රහාරයකට සූදානම් කියලා


2020-08-25 07:52:30 -  342 යි

2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යළි එම කවුන්සිලයට සහභාගි වූයේ පාස්කු ප්‍රහාරයෙන් පසු දින එනම් අප්‍රේල් මස 22 වැනිදා බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙ.නි.පො. නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (24දා) පැවැසීය. මෙහි දී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වුණේ කවදාද යන්නයි. එයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ 2019 අප්‍රේල් මස 22 වැනි දින පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් වූ බවය.

එම රැස්වීම සඳහා එවකට සිටි ජනපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පැමිණ සිටි බවද සාක්ෂිකරු සඳහන් කළේය. එසේම කොමිසම ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ආරක්ෂක කවුන්සිල රැස්වීම සැලකිය යුතු පිරිසක් පැමිණ සිටි නිසා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හෝ හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන සහභාගි වූයේද යන්න මතකයක් නැති බවය.

හිටපු බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (24දා) 17 වැනි දිනටත් සාක්ෂි ලබා දුන්නේය. මෙහි දී ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක නිලධාරීන් අතර හුවමාරු වූ ලිපි සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමු කරන ලදී.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - 2019 අප්‍රේල් මස 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවන ලද ලිපියේ අවධානය යොමු කළේ කුමක් සම්බන්ධයෙන් ද?

නිලන්ත ජයවර්ධන - සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් පිළිබඳව.

අ.සො.​ජෙ - ඇයි ඔබ මෙම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවීමට අදහස් කළේ?

නිලන්ත ජයවර්ධන - සහරාන් මිය ගියා කියලා දැනුවත් කළේ අපි. සහරාන්ගේ ජාලයේ කොටස් හඳුනාගෙන හිටියා. ඒ අය අක්‍රීය කළ යුතුයි. අපි ජනවාරි සිට කළ ක්‍රියාදාමය දිගටම කළා. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු නිසා ලිපිය යොමු කළා.

අ.සො.ජෙ. - මොහොමඩ් සහරාන් ෆස්කුල් රහුමාන් පිළිබඳව මෙම ලිපියේ අවධානය යොමු කළා ද?

නිලන්ත ජයවර්ධන - ෆස්කුල් රහුමාන් සහරාන්ගේ ඇටෑක් එක අයි.එස්. සංවිධානයට බයියත් කිරීමට කටයුතු කළා. එම නිසා ඔහුව අත්අඩංගුවට ගන්න කියලා කිව්වා.

(අයි.එස්. සංවිධානය මව් සංවිධානය ලෙස පිළිගනිමින් ලබා දෙන දිවුරුම් බයියත් ලෙස හැඳින්වෙයි.)

අ.සො.ජෙ. - ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්නට යොමු කළ ලිපියේ බයියත් කිරීම ගැන අවධානයට යොමු කළාද?

නිලන්ත ජයවර්ධන - මොහු විසින් සහරාන්ට හිතවාදී අයි.එස්. සංවිධානයේ නිල මාධ්‍යයට මෙම ප්‍රහාරය ගැන දැනුම් දීමත් ඉන්පසු එම සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන බවටත් දැනුවත් කළා.

අ.සො.ජෙ. - හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර 2019 අප්‍රේල් 24 වැනි දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාස අධ්‍යක්ෂ යවා ඇති ලිපිය ඔබට ලැබුණේ කොහෙන්ද?

නිලන්ත ජයවර්ධන - පොලිස්පතිවරයා 9 වැනිදා එම තොරතුරු විවිධ නිලධාරීන්ට යොමු කර තිබුණා. ඒ ලිපිය වෙන්න ඇති මේ.

අ.සො.ජෙ. - පොලිස්පතිවරයා විසින් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වෙත යොමු කළ ලිපියේ විමසා තියෙන්නේ කුමක් ද?

නිලන්ත ජයවර්ධන - බුද්ධි තොරතුරු යොමු කර තිබිය දී නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳවත් එය කනගාටු තත්ත්වයක් බව සහ බුද්ධි තොරතුරක් ලැබුණු බවට සනාථ කළ ලිපියක්.

අ.සො.ජෙ. - මේ කරුණු සම්බන්ධයෙන් පොලිස්පති සවිස්තර වාර්තාවක් කැඳවා තිබෙනවා ද?

නිලන්ත ජයවර්ධන - එසේය.

අ.සො.ජෙ. - අප්‍රේල් 24 පොලිස්පති මෙම ලිපිය යවන අවස්ථාව වන විට ත්‍රස්ත විමර්ශන අධ්‍යක්ෂ ලෙස සිටියේ කවුද?

නිලන්ත ජයවර්ධන - වරුණ ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වී සිටියේ නැත්නම් ඔහු තමයි හිටියේ.

අ.සො.ජෙ - අති විශේෂ තොරතුරු වාර්තා කිරීම මැයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට යැවූ ලිපිය මගින් මොනවාද අවධානයට යොමු කර තිබුණේ.

නිලන්ත ජයවර්ධන - අයි.එස්. සංවිධානය විසින් ලංකාව තුළ සිදු කළ හැකි ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු ලැබී ඇති බවට.

අ.සො.ජෙ - එම තොරතුරු ගැන අවධානය යොමු නොකළහොත් මොකක්ද සිදුවන්නේ කියලා අවධානය යොමු කරලා තියෙනවාද?

නිලන්ත ජයවර්ධන - පොලිස්පති දැනුම් දීලා තියෙනවා මේ පිළිබඳව අවධානය යොමු නොකොට ක්‍රියා කරන නිලධාරින්ට එරෙහිව දැඩි නියෝග ක්‍රියාත්මක කරන බවට.

අ.සො.ජෙ - ඔබ කිව්වා ඉදිරියේ දී විය හැකි ප්‍රහාරයක් ගැන පොලිස්පතිවරයා දැනුවත් කළා කියලා. එම දැනුවත් කිරීම මොකක් ද?

නිලන්ත ජයවර්ධන - අපිට තොරතුරක් ආවා පිරිමි 11ක් ගැහැනු 6ක් එකතුවෙලා ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් කියලා. ඒ ගැන දැනුවත් කළා.

අ.සො.ජෙ - මෙම ප්‍රහාර සඳහා කුමන ස්ථාන ඉලක්ක කර ගෙන ඇති බවට පොලිස්පතිවරයා දැනුවත් කළා ද?

නිලන්ත ජයවර්ධන - රෝහල්, සාප්පු සංකීර්ණ, සුපිරි වෙළෙඳසල් පිළිබඳ පළමු තොරතුර ආවා. පසුව පොලිස් ස්ථාන සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක වී තිබුණා.

සභාපති විනිසුරු - අයි.එස්.අයි.එස්. සංවිධානය ලංකාවේ අප්‍රේල් 21 සිදු වූ බෝම්බ ප්‍රහාරය ගැන වගකීම භාර ගන්නේ ෆස්කුල් රහුමන් අදාළ බයියත් වීඩියෝ පටය යැව්වට පසුද? පෙර ද?

නිලන්ත ජයවර්ධන - අපට වාර්තා වුණේ ඔහු එම වීඩියෝව යැව්වට පසු.

අ.සො.ජෙ - ඔබ අප්‍රේල් 25 පොලිස්පතිට යැවූ ලිපිය ජාතික බුද්ධි ප්‍රධානියාට සහ ආරක්ෂක ලේකම්ට යැව්වා කියලා මතක ද?

නිලන්ත ජයවර්ධන - ඒ වගේ මතකයක් තියෙනවා.

සභාපති විනිසුරු - ඔබ කිව්වා රිල්වාන් සහ ආමි මොහිදින් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා කියලා. ඔබද එම අංශයට තොරතුරු මුලින්ම දුන්නේ?

නිලන්ත ජයවර්ධන - නැහැ. මගේ නිලධාරීන් දැනුම් දුන්නා.

සභාපති විනිසුරු - ඔබ ලබා දුන් එම තොරතුරු සම්බන්ධයෙන් ඔබට සෑහීමකට පත්විය හැකි ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කළා ද?

නිලන්ත ජයවර්ධන - අපිට කරන්න පුළුවන් බුද්ධි තොරතුරු ලබා දෙන එක විතරයි. අපිට ඒ පිළිබඳව ක්‍රියා කරන්න බැහැ. බුද්ධි අංශයක් විදිහට අපිට අඳුරේ අතගාන්න වෙනවා.

අ.සො.ජෙ - ආගමික අන්තවාදය ගැන ඔබ දෙන බුද්ධි තොරතුරු හරි හෝ වැරදි කියලා ප්‍රතිචාර ලැබිලා නැද්ද?

නිලන්ත ජයවර්ධන - මගේ ආයතනය වෙත ප්‍රතිචාර ලැබිලා නැහැ. ඒ ඒ අය ප්‍රතිචාර දක්වා ගත්තද දන්නේ නැහැ.

කොමිසම - අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවනතුරු ඔබ ආරක්ෂක අංශ ප්‍රධානින් නිරන්තර දැනුවත් කළා එහි ප්‍රතිඵලයක් ලැබුණද?

නිලන්ත ජයවර්ධන - රාජ්‍ය බුද්ධි සේවය හැකිතාක් දුරට වගකීම ඉෂ්ට කරලා තියෙනවා.

කොමිසම - අප්‍රේල් 21න් පසු කවුරු හරි ඔබට දෝෂාරෝපණය කළාද ?

නිලන්ත ජයවර්ධන - මේ වෙනකොට සියලු දෙනා දෝෂාරෝපණය කළා. නමුත් අපි අදාළ තොරතුරු ලබා දී තිබෙනවා.

ජනාධිපතිට මම පැහැදිලිව කිව්වා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න උත්සාහ කළා එය නොහැකි වුණා කියලා.

කොමිසම - වෙන කවුරුත් දෝෂාරෝපණය කළේ නැද්ද?

නිලන්ත ජයවර්ධන - පෞද්ගලිකව මුහුණට දෝෂාරෝපණය කළේ නැහැ. මම කොමිසමට එනකල් මේ ගැන කතා කරලා නැහැ.

කොමිසම - හිටපු ජනාධිපතිගෙන් දෝෂාරෝපණයක් ආවද?

නිලන්ත ජයවර්ධන - ඕගොල්ලො දැනගෙන හිටියේ නැද්ද වගේ කතාවක් කියලා තිබ්බා. ඊට එහා දෙයක් කිව්වේ නැහැ. බුද්ධි අංශයක් විදිහට මගේ රාජකාරිය මම කළා.

පාස්කු ප්‍රහාරයෙන් පසු දින පැවැති

ආරක්ෂක කවුන්සිලයට

රනිල් - රුවන් ආවද කියලා මතක නෑ

අයි.එස්. ත්‍රස්ත ක්‍රියා මෙරට සිදු විය හැකියැයි

උසස් නිලධාරීන්ට

පොලිස්පති පූජිත් ලිඛිතව දැන්වූවා

ඕගොල්ලො දැනගෙන හිටියේ නැද්ද වගේ කතාවක්

මෛත්‍රි කියල තිබුණා

හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙ.නි.පො. නිලන්ත ජයවර්ධන

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com