www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තම මව සහ බාප්පා සඟවාගෙන සිටින පුතු සොයා දහදුක් විඳින මවකගේ කඳුළු කතාව


2020-08-25 07:33:37 -  606 යි

තම කුසින් උපන් දරුවා කැලේට විසිකරන අත​ළොස්සක් වූ අම්මලා සිටියත් සැබෑ දරු දුක දන්නේ දරුවා හැදූ මව නොව දරුවා වැදූ මවයි.

දසමසක් නේක සිහින දකිමින් කුස හොවා සිට දෑතට ගන්නා කිරි පැටියාට ඒ අම්මලා රතු ලේ කිරිකර පොවන්නේ ඒ ආදරණීය බැඳීමටයි.

ඉන්පසු ඒ පුංචි මල්කැකුළ ලෝකයේ ඉහළම තැනක සුවඳ හමන මලක් කිරීම දුප්පත් පොහොසත් හැම අම්මා කෙනකුගේම බලාපොරොත්තුවයි.

රාජගිරිය, ග්‍රාමෝදය මාවතේ අංක 262 ලිපිනයේ පදිංචි ඉෂංකා රෝෂිණිගේ පැතුම වූයේත් එයමය. ඇගේ මුළු ලෝකයම ඉදි වී තිබුණේ මීට අවුරුදු නවයකට පෙර ඇගේ ලොවට ආ නදිත් නිම්සර පුංචි පුතු ළඟය.

පුතුගේ කිරි සිනා ළඟ සුරතල් කතා ළඟ ඇයට ජීවිත​යේ බොහෝ දුක්ඛ දෝමනස්සයන් අමතක කළ හැකිව තිබිණි. සැමියාගෙන් රැකවරණයක්, හව්හරණක් නොලැබුණත් ඇය අනාගත සිහින අතහැරියේ නැත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රැකියාව කර ලබාගන්නා වැටුපෙන් පමණක් සිඟිති පුතුගේ සියලු ඕනෑ එපාකම් ඉටුකරන්නට ඉසංකාට සිදුවිය. ඇගේ සැමියා රට පුරා මිනිසුන් රවටා මුදල් වංචා කර තිබුණත් ඔහුගෙන් යැපෙන්නට ඇය සූදානම් වූයේ නැත. ඔහු මීට තෙවසරකට පෙර රටින් පැන ජපානයට යන්නේ ඉසංකා හා දරුව​ාද අතහැරය.

ඇය තම මව සමග ජීවත් වූයේ මවගේ හව්හරණය ලබමිනි. මව ඒ වන විට පියාගෙන් වෙන්ව සිටි අතර ඇය පවුල් ජීවිතය ගත කළේ පියාගේම සොහොයුරා සමගය.

මව හා බාප්පා සමගින් තම දරුවා උස්මහත් කරන්නට වෙරදරන ඉසංකා තම වැටුපෙන් නිවසේ ඉදිකිරීම් කටයුතුද කරගෙන ගියාය. ඉසංකාට උරුමය ඇති නිවස බාප්පාගේ නමට ලියාදෙන්නට කියද්දී නිවසේ අඩදබර ඇතිවන්නට විය. ඉසංකාගේ මව හිටියේත් බාප්පාගේ තීරණයේමය.

තමන් ඉපැයූ වැටුපෙන් තැනූ නිවස දරුවා වෙනුවෙන් රැකගන්නට ඇය සිය මව හා බාප්පා සමග නිරන්තරයෙන් ගැටුම්වලට මැදිවූවාය.

දරුවාට බාප්පා කියන අඩපාලි කතා ඇයට දිගින් දිගටම නොරුස්සන්නට විය. තාත්තා වගේමයි උඹත්, උඹට කකුල් කැඩෙන්න ගහනවා. යැයි පුංචි පුතුට බැණ වදිද්දී නිවස අතහැර ආච්චි අම්මා ළඟට යන්නට ඉසංකා තීරණය කළාය.

එදා මැයි 16දා. මම සති දෙකකින් එනවා. බයවෙන්න එපා කියලා අම්මාට ලියුමක් ලියලා පුතත් එක්ක ආච්චි ගාවට ගියා. අම්මා හාර්ට් පේෂන්ට් කෙනෙක්. දරුවා දකින්නේ නැතිව අම්මට ඉන්න බැහැ කියලා එයාව ගෙනත් පෙන්වන්න කියලා මට බාප්පා කිව්වා. මැයි 18 දා මම දරුව අරන් ත්‍රීවීල් එකකින් ගෙදරට ගියා. දරුවට ගිහින් ආච්චිව බලලා එන්න කියලා මම ත්‍රීවීල් එකේම හිටියා. ඒ වෙද්දී මගේ කකුලට පී.ඕ.පී. එකක් දාලා තිබුණේ. එක පාරටම දරුවා ඇතුළට ගියාට පස්සේ රෝලර් ගේට්ටුව වහගත්තා. පුළුවන් දෙයක් කරපන් උඹට ළමයා දෙන්නේ නැහැ කියලා බාප්පා කෝල් එක්ක දීලා කිව්වා.

තම කුසෙන් වැදූ දරුවා බලහත්කාරයෙන් රඳවාගෙන මව හා බාප්පා කරන නීච ක්‍රියාව හමුවේ ඇයට පසුබසින්නට සිදුවූයේ ඇය ඒ වෙන විට කකුල කැඩී ඇවිදීමට නොහැකිව සිටි නිසාය. තමා දරුවා හඬමින් කතා කරද්දී දෙලොවක් අතර තනි වී ඇයද හඬා වැටුණාය.

මේ සියලු අසාධාරණයන්ට මුහුණදිය යුතුව තිබූ නිසා ඇය කකුලට දමා තිබූ ගල් බැන්ඩේජය රෝහලට ගොස් ඉවත් කරවාගෙන වැලිකඩ පොලිසිය වෙත ගොස් පැමිණිලි කළාය.

පැමිණිල්ලට අම්මා පොලිසියට ගෙන්නුවා. මගේ දරුවා මට අරන් දෙන්න කියද්දිත් වැලිකඩ ඕ.අයි.සී. මහත්තයා මට නොසෑහෙන්න බැන්නා. අපහාස කළා. මේකට මට ඉහළින් කෝල් එනවා කිව්වා. පවුල් ආරවුලක් නිසා මැදිහත් වෙන්න බැහැ කියලා බැන්නා. මම එහෙනම් ඒ.එස්.පී. මහත්තයා ළඟට යන්නම් කියලා එතැනින් පිටවෙලා ආවා. එළියට යද්දි ආයෙත් මට එන්න කියලා පොලිසියෙන් කිව්වා. අම්මට ළමයා අරන් එන්න කියලා දන්වලා අම්මව යැව්වා.

පොලිසියේ කීමට හෝ දින ගණනක් නොදුටු දරුවා තමා වෙත රැගෙන ඒවියැයි ඇය සිතුවාය. පසුදින අලුයම හයවන තුරුත් පොලිසිය තුළ මව එනතුරු ඇය බලා සිටියාය. මවගේ නොපැමිණීම ගැන ​පොලිසියට කී ඇයට අපි මොනවා කරන්නද? දන්න තැනක් තිබේනම් කියන්න. යන පිළිතුර පමණක් ලැබුණේය.

මවකගේ දරු දුක නොදත් තමාගේම අම්මා සඟවා ගෙන සිටින තම දරුවා සොයා ගන්නට ඉසංකා දිවා රෑ නොබලා නිවස අසල රැක සිටියාය. ජූනි 12 දා අලුයම 4.00ට පමණ නිවස අසල රැක සිටි ඇය බාප්පා නිවසට පැමිණි බව දැකගත්තාය. ඒ බව වැලිකඩ පොලිසියට පැමිණ කීවත් පොලිසිය ක්‍රියාත්මක වූයේ නැත. උඹලා මට දරුවා නොදුන්නොත් ගෙට ගිනි තියනවා යැයි ඉසංකා බැරිම තැන බාප්පාට අනතුරු හැගෙව්වාය. බාප්පා සවස් වන විට පොලිසිට ආවත් පොලිසිය ඔහුට ඇපදී ආපසු යැව්වේ ජූනි 14දාට ළමයා රැගෙන ආ යුතු බව දන්වමිනි.

මම ජූනි 14දාත් පොලිසිට ගියා. පොලිසිය ආයේ බලමු කිව්වා.

අපිට මේවා උසාවි දාන්න බැහැ. මේක ළමයකු පැහැරගැනීමක් නෙවෙයි. කියා පොලිස් නිලධාරීන් ඇඟ බේරාගත්තා.

තම දරුවා දැකගන්නට සිහින පැතූ ඉසංකා දරුවා ගැන සොයා නොගිය තැනක් නොමැති තරම්ය.

වැල්ලම්පිටියේ බාප්පාගේ හිතවත් නිවසක දරුවා සඟවා සිටින බවට ඇයට දැනගන්නට ලැබුණි. එහි ගිය ඉසංකාට දරුවාගේ සපත්තු දෙක දැකගත හැකිවිය. ඉන් පසු ඉසංකා වැල්ලම්පිටිය පොලිසියට ගොස් තම දරුවා පැහැරගෙන විත් රඳවාගෙන සිටින තැන ගැන දැන්වූවාය. වැල්ලම්පිටිය පොලිසිය වැලිකඩ පොලිසියෙන් මේ ගැන පණිවුඩයක් ගෙන්වාගන්නැයි ඇයට දැනුම් දුන්නේය.

ඒ සියල්ල කර පොලිසිය සමග යන විට ඉසංකාගෙ මව දරුවාව නිවසින් පිටමං කර ත්‍රිරෝද රියකින් පැනගොස් තිබුණාය.

දරුවා සඟවා ගෙන සිටි නිවස විහාරස්ථානයක හිමිනමක් විසින් කාන්තාවකට ලබාදී ඇතැයි දැනගත් ඇය විහාරයේ මහ නාහිමියන්ද හමු වී මේ දුවක සැල කර සිටියාය.

ලොකු හාමුදුරුවෝ ඒ වෙලාවේම වෙනත් පන්සලක ගෝල හාමුදුරු නමකට කතා කරලා මගේ පුතා ගැන ඇහුවා. ඒ හාමුදුරුවෝ තමයි කාන්තාවට ඒ නිවස දීලා තියෙන්නේ. ගෙදර ඉන්න බැරි නිසා මගේ දරුවා ඒ විදිහට තියාගෙන ඉන්න වගක් පන්සලේ ගෝල හාමුදුරුවෝ කිව්වා. ඔය ගෑනිගේ ගෙදර ළමයා තියන්න එපා කියලා හාමුදුරුවෝ කිව්වා. මම ගෝල හාමුදුරුවන්ගේ පන්සලට ගියා. පුතා තියාගෙන හිටපු ගෙදර ගෑනු කෙනා පන්සලේදීම මට බැන වැඳුණා.

පන්සලේදී ඉසංකාගේ සහායට ඉදිරිපත් වූයේ එම කාන්තාවගේ බෑනා පමණි. ඔහු එහි ආවතේවකරු විය. මම ඔයාට දරුවා අරන් දෙන්නම් කියා ඉසංකාගේ දුරකථන අංකය ඉල්ලා දුරකථන ඇමැතුම් මගින් විස්තර කතා බහ කරන්නට විය.

මම මගේ දරුවා ගන්න ඒ මනුස්සයාට පින්සේන්ඩු වුණා. එක දවසක් කතා කරලා අද පාන්දර ඇඳුම් සේරම අරන් දරුවා මාතර අරන් ගිහිල්ලා කිව්වා. මම ඔයාට දරුවාට කතා කරන්න සෙට් කරලා දෙන්නම් කියලා මට හම්බවෙන්න එන්න කිව්වා. මට මගේ දරුවට කතා කරන්න දෙන්නම් කියලා. කතා කරපු ඒ මනුස්සයා මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.

තම දරුවා වෙනුවෙන් ලිංගික අල්ලස් ඉල්ලන බව කියමින් හඬා වැටෙමින් වැලිකඩ පොලිසියට ගිය ඉසංකාට පොලිසියෙන් සහායක් ලැබිණ. පොලිසියත් සමගම ගොස් තමා හෝටල් කාමරයකට කැඳවාගෙන යන්නට කැස කැවූ පාපතරයා කොටුකර දෙන්නට ඇයට හැකි විය.

මම බාප්පව අල්ලලා දුන්නු වෙලාවේ ළමයා අරන් දෙන්න පොලිසියට බැරි වුණා. මම උදේ හවස පොලිසියට ගියත් කව්රුත් මට මගේ දරුවා හොයාගන්න උදව් වුණේ නැහැ. ගන්දර පොලිස් වසමේ ඥාති ගෙදරක දරුවා හංගාගෙන ඉන්නවා කියලා කිව්වම මම පාන්දර ​2.00ට එහෙට ගියා. ගන්දර පොලිසිය මේ ගැන වැලිකඩ පොලිසියට මැසේජ් එකක් එවන්න කිව්වා. දවල් 1.30යි මැසේජ් එක එද්දී. ඒ වෙද්දි ළමයාව ඒ ගෙදරින් අරන් ගිහින් තිබුණා. ගන්දර ඉන්නේ මහත්තයාගේ ඥාති. අන්තිමේදි පොලිසිය ප්‍රමාද කළ නිසා මට එතැනදිත් දරුවා සොයාගන්න බැරිවුණා.

මට දැනට මාස තුනක ඉඳන් දරුවා දකින්නවත්, කතා කරන්නවත් නැහැ. මමයි එයාව වැදූ හැදූ අම්මා. මම මේ මාස තුනේම ෆොන් එකේ ෆොටෝ දිහා බල බලා දරුවා ඉල්ලලා හූල්ලනවා. පොලිසියෙන් මට මාධ්‍යවලටත් මේක කියන්න එපා කියලා කිව්වා. පොලිසියෙන් සාධාරණයක් ඉටු නොවුණ නිසයි අරුණ පත්තරේ සොයාගෙන ආවේ. ජනාධිපතිතුමාගේ අවධානය හරි යොමු කරලා මට මගේ දරුවව ලබාදෙන්න කියලා ඉල්ලනවා යැයි ඉසංකා බැගෑපත් විය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත නදිත් නිම්සර මාස තුනක් තිස්සේ මවගේ හුස්මවත් වැදී නොමැත. දරුවා සොය ඇය ගාල්ල, මාතර ප්‍රදේශවල පෝස්ටර් පවා අලවන්නට කටයුතු කර තිබුණා. තම දරුවා සොයා පටාචාරවක මෙන් රට වටේ යන ඇයට නීතියේ සරණ හැකි පමණින් ලබාදීම බලධාරීන්ගේ යුතුකමය.

ඡායාරූප - සමන් අබේසිරිවර්ධන



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com