www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වසර දොළහක් පිරෙන මාවිල්ආරු මෙහෙයුම... ත‍්‍රස්තවාදය අතුගා දැමීමේ පළමු දියවර... සටනට නායකත්වය දුන් මේජර් ජෙනරාල් නන්ද මල්ලව ආරච්චි කියන කතාව...


2020-08-16 12:04:12 -  1001 යි

2006 අගෝස්තු 15 වැනිදා මාවිල්ආරු සොරොව්වෙන් මුදාහරින ලද දිය කඳ, වෙනදා මෙන් බිම් අස්වද්දන, තිබහ සරි කරන ජල පහරක් නොවීය. එය විජයග‍්‍රහණයේ මුල පිරිම විය. අදින් වසර දාහතරකට පෙර, දේශය දිනා ගන්නා ලද එම ජයග‍්‍රහණයේ නියමුවා මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චිය.
 
 ගෝඨාභය රාජපක්ෂ මහතා සමග 1971 වසරේ යුද හමුදාවට බැඳුන නන්ද මල්ලවාරච්චි මහතා කෙඬේට් නිලධාරී පාඨමාලා අංක 04 යටතේ පුහුණුව ලබා පසු කලෙක යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තනතුර දක්වා ඉහළට පැමිණියේය. යුද හමුදාවේ දෙවැනි තනතුර හොබවන ලද ඔහු පසුව වැඩ බලන යුද හමුදාපති තනතුරද දරනු ලැබීය. හමුදා සේවයෙන් විශ‍්‍රාම ලැබූ මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා ඉන්දුනීසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස වසර හයක් සේවය කළේය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව ‘දිළිඳු බවින් තොර ශ‍්‍රී ලංකාවක්’ බිහි කිරීමේ පරමාර්ථය සාක්ෂාත් කරගනු වස්, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව ස්ථාපනය කෙරිණි. එහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස වර්තමානයේ සේවය කරන මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි, මීට වසර දාහතරකට පෙර විජයග‍්‍රහණය සඳහා මුල පිරූ මාවිල්ආරු මෙහෙයුම පිළිබඳව මෙතෙක් හෙළි නොවූ කතාවක් ‘ඉරිදා දිවයින’ට මෙසේ හෙළි කළේය.
 
 ”එතකොට මම යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස සේවය කළා. මාණ්ඩලික ප‍්‍රධානියාගේ රාජකාරිය වන්නේ, යුද හමුදා මූලස්ථානයේ සියලූ වැඩ කටයුතු සම්බන්ධ වගකීම දැරීම, ටෙන්ඩර් මණ්ඩල, ප‍්‍රසම්පාදන ආදිය තමයි මගේ කාර්යභාරය වන්නේ. මේක තමයි හමුදාවේ දෙවැනියාගේ කාර්යභාරය. ඇත්තටම ඒ තනතුර අනුව මගේ සේවය තිබුණේ හමුදා මූලස්ථානයේ සිට ඉටු කිරීමටයි. මෙහෙයුම් ආදී කාර්යය පටිපාටින් මට අයත් නැහැ. ඒවා සියල්ල අයත් වන්නේ යුද හමුදාපතිවරයාටයි. මේ අතරතුර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මට ආරක්ෂක අමාත්‍යාංශයට එන්න කිව්වා. හමුදා මූලස්ථානයට එහා වැටේ තිබ්බ ආරක්ෂක අමාත්‍යාංශයට මම ගිහිල්ලා, ලේකම්තුමා එක්ක කතා කර කර ඉන්න කොට, එක පාරටම විශාල ශබ්දයක් ඇහුණා. එදා 2006 අපේ‍්‍රල් මස 25 වෙනිදා... ”නන්ද බෝම්බයක් ගියා...කොම්පඤ්ඤ වීදිය පැත්තෙන් වගේ...’’ කියලා ආරක්ෂක ලේකම්තතුමා කිව්වා. ”නැහැ... නැහැ... මේ ළග’’ කියලා මම කිව්වා. ”පොඞ්ඩක් ඉන්න මම ගිහිල්ලා බලන්නම්...’’ කියලා මම වාහනේට නැගලා පිටත් වෙලා
 ගියා. බලන කොට යුද හමුදා මූලස්ථානය ඇතුළේ බෝම්බයක් පිපිරිලා තිබුණා. මම එතැනට යනකොට යුද හමුදාපතිවරයාව ගිලන් රථයකින් රෝහලට අරගෙන ගිහිල්ලා තිබුණා. බෝම්බ ප‍්‍රහාරයට ලක්වුණු රථය එතැන තිබ්බා. තැන් තැන් වල ලේ විසිරිලා තිබ්බා.
 
 ඊට පැයකට විතර පස්සේ මම කොළඹ ජාතික රෝහලට ගියා. මම යුද හමුදාපතිවරයා බලන්න රෝහලට ගියහම, හමුදාපතිවරයාගේ සහචරයෝ මා දිහා අමුතු විදිහට බලන බව මම දැක්කා. ඒ අය බැලූවේ, මම ඇවිල්ලා ඉන්නේ යුද හමුදාපති මැරුණාද කියලා බලාගන්න, මම ආවා වගේ හිතාගෙන. මම හමුදාපතිවරයා බැලූවේ වීදුරුවකින්. මට එහෙම කිසිම අදහසක් තිබ්බේ නැහැ. මම ආවේ හමුදාපතිවරයාගේ තත්ත්වය බලන්න. හමුදාවේ දෙවැනියා විදිහට ඊළගට කළ යුත්තේ කුමක්ද කියලා මට සැලසුමක් තිබිය යුතු වෙනවා.
 
 ඔහුට ඒ වන විටත් ප‍්‍රතිකාර ලබා දී තිබුණා. ශල්‍යකර්මයක් එහෙමත් කරලා තිබුණා. යුද හමුදාපතිවරයාගේ තත්ත්වය ආරක්ෂක ලේකම්වරයාට මම දැනුම් දුන්නා. එතකොටම එතුමා මට කිව්වා ”u carry on’’ කියලා. ඒ අනුව මට හමුදාවට නායකත්වය දෙන්න සිද්ධ වුණා. හමුදාවේ තුන් වෙනි ස්ථානයට හිටියේ මේජර් ජෙනරාල් පාරමී කුලතුංග... මම එයාව මගේ කාර්යාලයට කැඳෙව්වා. ” පාරමී... මම මාණ්ඩලික ප‍්‍රධාන තනතුර දරන කොට, යුද හමුදාපති මට එයා කරන කිසිම දෙයක් කිව්වේ නැහැ. මම දැන් ඒ දේවල් කරන්නේ නැහැ. මම කරන හැම දෙයක්ම ඔයාට කියනවා. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ... අපි දෙන්නම බෞද්ධයෝ... මරණය කොයි වෙලාවේ අපි ළඟට එයිද දන්නේ නැහැ. මට එහෙම දෙයක් වුණොත් ඔයා දැනගන්න ඕනේ, හමුදාවේ ඉදිරි වැඩ කටයුතු අරගෙන යන්න. ඒ නිසා මගේ වගකීම තමයි ඔයාව මේ වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කරන එක...’’ එහෙම කියලා, ඉදිරි වැඩ පිළිබඳව මම පාරමී එක්ක කතා කළා.

ප‍්‍රතිකාර සඳහා යුද හමුදාපතිවරයාව සිංගප්පූරුවට අරගෙන ගියා. මේ අතර යුද හමුදාපතිවරයාගේ කාමරයේ යකඩ ප්ලේට් ගහනවා. ඊට පස්සේ හමුදාපතිවරයා ආපහු ලංකාවට ආවා. මේ වෙනකොට මගේ තනතුර සඳහා හිමිවිය යුතු නිල නිවස මට ලැබිලා තිබුණේ නැහැ. යුද හමුදාපතිවරයා එම නිවසත් ඔහුගේ පාවිච්චියට තියාගෙන තිබුණා. ඔහුගේ නිල නිවසත්, මගේ නිල නිවසත්, තවත් නිල නිවසකුත් ඔහු තියාගෙන හිටියා. මෙහෙම තමයි මට ඔහු සැලකුවේ. යුද හමුදාපතිවරයා හමුවීම සඳහා ලිපි ගොනු කිහිපයක් රැගෙන මම හමුදා රෝහලට ගියහම, මිලිටරි පොලිසිය මගේ මුළු ඇඟම චෙක් කළා. මම හමුදාවේ දෙවැනියා. වැඩ බලන යුද හමුදාපති. මම ගැන එහෙම සැක කරලා චෙක් කළහම, යුද හමුදාපතිවරයා මං ගැන දරන ආකල්පය හිතා ගන්න පුළුවන්නේ. මට සැලකුවේ බෝම්බ ගහන්න ආපු කෙනෙකුට තිබුණු සැලකිල්ල. මට වැඩ බලන යුද හමුදාපති ලෙස පත්වීමක් ලැබුණේ නැති නිසා, මට හැම දෙයක් ගැනම හමුදාපතිවරයාගෙන් අවසර ගන්න සිද්ධ වුණා. මම අගෝස්තු මාසයේ විශ‍්‍රාම යන්න තිබ්බ නිසා, මම යුද හමුදාපති තනතුරට ඇහැ ගහගෙන හිටියෙත් නැහැ.
 
 ඔහොම ඉන්න කොට මට එක දවසක් උදේ මහින්ද ජනාධිපතිතුමා කතා කළා. ”නන්ද ඔයාට වැඩ බලන යුද හමුදාපති ලියුම ලැබුණේ නැද්ද...?’’ කියලා එතුමා මගෙන් ඇහැව්වා. ”ඔයා මාව මෙතරම් අඳුරගෙන ඇයි මට ඒක කිව්වේ නැත්තේ’’ කියලා එතුමා මගෙන් ඇහැව්වා. ”සර්... මට එහෙම ඔබතුමාට කතා කරන්න බැහැනේ...’’ කියලා හමුදා සම්ප‍්‍රදාය ගැන මම එතුමාට කිව්වා. එදා දහවල් දහය වෙනකොට මට ජනාධිපති කාර්යාලයෙන්, වැඩ බලන යුද හමුදාපති කියන ලියුම ලැබුණා. මට මේ ලියුම ලබා නොදීම සඳහා යම් කිසි කෙනෙක් බලපෑමක් කරපු බව දැන් තේරෙනවානේ.
 
 මේ අතර 2006 ජුනි 15 කැබිතිගොල්ලෑවේ බස් රථයකට ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වෙලා කියලා අපිට ආරංචියක් ලැබුණා. ආරංචිය ලැබුණු ගමන් මම අරලියගහ මන්දිරයට ගියා. මහින්ද ජනාධිපතිතුමාට සියලූ විස්තර මම කිව්වා. ”සර්, මම එහෙට ගිහිල්ලා සර්ට තත්ත්වය වාර්තා කරන්නම් ...’’ කියලා කියනකොටම, ජනාධිපතිතුමා එකපාරටම ”මම මෙතැනට වෙලා මොනවා කරන්න ද..? මම මේ මුළු රටටම ජනාධිපති, මෙහෙම මිනිස්සු මැරෙන කොට මම කොහොමද මෙතැනට වෙලා ඉන්නේ...’’ කියලා එතුමාත් එහෙ යන්න අවශ්‍ය බව දැඩිව කියා සිටියා. ”සර්... පොඞ්ඩක් ඉන්න, එතැනට මේජර් ජෙනරල් නිමල් ජයසූරිය ගිහිල්ලා ඉන්නවා. මම එයත් එක්ක කතා කරලා, ආරක්ෂාව බලලා ඔබතුමාට දැනුම් දෙන්නම්’’ කියලා මම කිව්වත්, ”නැහැ... නැහැ... එහෙම බැහැ කියලා’’ එතුමා එහෙම්ම එළියට ආවා... මමත් එතුමා එක්ක අරලියගහ මන්දිරයෙන් පිටත් වෙලා හෙලිකොප්ටරයේ නැගලා කැබිතිගොල්ලෑවට ගියා. ජනාධිපතිතුමා එහේ මිනිස්සු එක්ක කතා කරලා, මිනිස්සුන්ගේ අඳෝනාව අහලා, එහෙ ග‍්‍රාමීය රෝහලට ගිහිල්ලා, සියලූ දේ බිම් මට්ටමේ ඉඳලා සොයලා බැලූවා. අපි එනකොට ජවිපෙ පිරිසක් අට්ටාලයක නැගලා, මොකක්දෝ උද්ඝෝෂණයක නිරත වෙනවා. ” මොනවද ඕගොල්ලෝ ඔතැනට වෙලා කරන්නේ...?’’ කියලා ඒ අය බිමට බස්සලා, ඒ ප‍්‍රශ්නයත් එතුමා එතැනදීම විසඳුවා. ඊට පස්සේ එතුමා අනුරාධපුරෙත් ගියා.
 
 2006 ජුනි 26 වෙනිදා උදේ පන්නිපිටියේදී මේජර් ජෙනරාල් පාරමී කුලතුංග ඝාතනයට ලක් වෙනවා. ඒ වෙනකොට එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාර මාලාවක් පටන් අරගෙන තිබ්බා. අපි සටන් විරාම ගිවිසුමෙන් බැඳිලා හිටපු නිසා, හමුදාවට මෙහෙයුම් සිදු කරන්න වුණේ, ඉතා අසීරුවෙන්.
 
 2006 ජූලි 21 උදේ මට ආරංචියක් ලැබුණා, ත‍්‍රස්තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වසා ඇති බව. මම බොහොම කාලයක් නැගෙනහිර පළාතේ හිටපු නිසා, ඒ පැත්ත ගැන හොඳට දැනගෙන හිටියා. ත‍්‍රිකුණාමලය, තංපලාගම්, සේරුනුවර, කෝවිල්අඩි, ආදී මේ පැති මම හොඳට දන්නවා. සේරුවිල, කල්ලාරු කඳවුරුවලත් මම ඉඳලා තියෙනවා. කල්ලාරු කඳවුර ආසන්නයේ තමයි, මාවිල්ආරු සොරොව්ව තිබ්බේ. මේ සොරව්වවෙන් තිස් දාහකට අධික ජනතාවක් තමන්ගේ ජල අවශ්‍යතාව සපුරාගෙන තිබුණා. ඒ සියලූ දෙනාම මේ ප‍්‍රශ්නය නිසා අසරණ වුණා. එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් මාවිල්ආරු සොරව්ව වහලා දාලා බලාපොරොත්තු වුණේ, එම පළාත ජනශූනය කිරීම බව මට වැටහුණා. විශේෂයෙන්ම ති‍්‍රකුණාමලයට දකුණෙන් පිහිටා තිබුණු මෙම ප‍්‍රදේශය තම ග‍්‍රහණයට අරගෙන නැගෙනහිර පළාත අත්පත් කරගැනීම තමයි, ඔවුන්ගේ අරමුණ වෙන්නට ඇත්තේ. ජලය කියන්නේ ජීවයේ පදනමනේ. මිනිසුන් ඉන්න ව්‍යාපාරයක් විසින් තවත් මිනිසුන්ගේ ජල අවශ්‍යතාව නැති කරන්නේ නැති බව අපි දන්නවා, එල්ටීටීඊ ත‍්‍රස්තවාදය ඊටත් වඩා කුරිරු ලෙස තමයි මෙතැනදී හැසිරුණේ. සොරව්ව වැසීමෙන්, ඒ වගා බිම් පාළුවෙලා, ජනතාවට බොන්නවත් වතුර නැතිවෙන බව අපි දැනගත්තා. ආරක්ෂක ලේකම්තුමා මට කතා කරලා මාවිල්ආරුවට යන්න කියලා කිව්වා.
 
 සොරොව්ව නිදහස් කිරීමට එල්. ටී. ටී. ඊ. ය රජයෙන් ඉල්ලීම් කිහිපයක් ඉල්ලා හිටියා. ඒත් කොටින්ගේ ඉල්ලීම්වලට රටේ නායකත්වය, ආරක්ෂක ලේකම් සහ හමුදා නායකත්වය හිස නැමුවේ නෑ. කොටින්ට ගහලම සොරොව්ව නිදහස් කරගන්න ඕන කියලා තීරණයේ සියලූ නායකයන් හිටියා. හමුදාවේ අපේ අරමුණ වෙලා තිබුණෙත් ගහලා ගන්නමයි. ඒත් අපි ඒ වෙනකොට මානුෂීය මෙහෙයුමට සූදානමින් හිටියේ නෑ. කොටි බලය හමුවේ මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමත් ලේසි පහසු කටයුත්තක් නොවන බවත් අපි තේරුම් ගෙන හිටියා. නැගෙනහිර එල්.ටී.ටී.ඊ. බලය සම්පූර්ණයෙන්ම යොදලා තිබුණේ මාවිල්ආරු සොරොව්ව පිහිටි ප‍්‍රදේශයට. අඩි පහළොවෙන්, පහළොවට කාණු කපලා ශක්තිමත් බංකර් ගහලා තිබුණා. බර අවි ස්ථානගත කරලා, අඩියෙන් අඩියට වගේ පුපුරන ද්‍රව්‍ය වළලලා අධි ආරක්ෂිත කලාපයක් වගේ රැකවල් යොදලා තිබුණා. එල්.ටී.ටී.ඊ. යේ ඉලක්කය වුණේ වෙන වතාවන්වල වගේ එවරත් ඉල්ලීම් දිනාගැනීම තමයි.
 
 මම මාවිල්ආරු ප‍්‍රදේශයට ආසන්න කල්ලාරු පැත්තට යන කොට, අතුරලියේ රතන හාමුදුරුවෝ, පිරිසක් එක්ක එහෙට වැඩම කරලා තිබ්බා. උන්වහන්සේ. ඒ පිරිසත් එක්ක මාවිල්ආරු සොරොව්ව විවෘත කරන්න යන්න හදනවා. තත්ත්වය පාලනය කරන්න අසීරු තත්ත්වයක තිබෙන බව මම තේරුම් ගත්තා. මම කඳවුර ඇතුළෙන් පකිස් පෙට්ටියක් ගෙන්න ගත්තා. ඉස්සර වෙලාම හාමුදුරුවන්නට වැන්දා. වැදලා මම පකිස් පෙට්ටියට නැග්ගා. මේ වෙනකොට ජනමාධ්‍ය සිය ආවරණ කටයුතු සඳහා ඇවිල්ලා, සෙනඟත් පිරිලා. මම කතාව පටන් ගත්තා. ”මම වැඩ බලන යුද හමුදාපති... මට ඉහළින් නියෝගයක් ආවා, මේ තත්ත්වය පාලනය කරලා, සොරොව්ව ඇරලා දෙන්න කියලා. මම බැගෑපත්ව රතන ස්වාමින් වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. යම් හෙයකින් ඔබ වහන්සේට කුමක් හෝ වුණොත් මේ රටේ කැළඹීමක් ඇතිවෙන්න පුළුවන්.
 
 ගරුතර ස්වාමින් වහන්ස... රට වැසියාගේ එදිනෙදා අත්‍යවශ්‍ය රාජකාරින් සහ රටේ පරිපාලන මනා ලෙස පවත්වාගෙන යෑම පිණිස රජයට සහාය වී නිසි කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදාව බැඳී සිටින්නේය. නැගෙනහිර ජනතාවගේ යටිතල පහසුකම් අතර ජලය සැපයීමේ වත්මන් බාධකය වන මාවිල්ආරු අමුණ ත‍්‍රස්තවාදීන් විසින් වසා දැමුවද අපි එය නැවත විවෘත කර, ජනතාවගේ ජල ප‍්‍රශ්නය කඩිනමින් විසඳා, ජනජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමට, දිවි හිමියෙන් කටයුතු කරන බවට මම ප‍්‍රතිඥාවක් ලබා දෙනවා.’’ මම ඒ අවස්ථාවේදී එහෙම කතා කරලා, පැය 48 ක් මට දෙන්න කියලා උන් වහන්සේ, ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටියා.
 
 එහෙම කියන කොට උන් වහන්සේ කතාව පටන් ගත්තා ඔබතුමා මේක විවෘත කරන තුරු, මෙතැන තියෙන පන්සලේ මම පිරිත් කිය කියා ඉන්නවා, කියලා කිව්වා.
 
 පැය විසිහතරෙන් විවෘත කරනවා කිව්වට, ඒ සඳහා සූදානමක් සහ සැලසුමක් අපි පිළියෙල කර ගත යුතුව තිබුණා. එල්ටීටීඊයට මුහුණදීම සඳහා අතිරේක බල ඇණි සූදානම් කිරීම තමයි මගේ පළවෙනි කාර්යය වුණේ.’’
 
වැඩබලන හමුදාපතිවරයා එසේ තීරණාත්මක සටනට සූදානම් වන විට සෙසු හමුදා ප‍්‍රධානීන් ද සිය උපරිම ශක්තිය යොදවමින්, ජනතාවගෙන් ත‍්‍රස්තවාදීන් අත්පත් කර ගත් ජල අයිතිය යළි ලබාදීම සඳහා වන සටනට සූදානම් වූහ. වැඩබලන හමුදාපතිවරයා සමග මේ සටනට සැලසුම් සකස් කරන ලද්දේ මේජර් ජෙනරාල් ජයම්පති තිලකරත්න විසිනි. ඔහු විසින් මෙහෙයුම් පිටියේ කතාව ‘දිවයින’ට වරක් විස්තර කර තිබුණේ මෙසේය.
 
 ‘‘මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමේ මෙහෙයුම භාර අණදෙන නිලධාරිවරයා විදිහට පත් කළා. එතකොට ටූ ටූ ටූ බි‍්‍රගේඞ් එක භාරව හිටියේ කර්නල් විජේසිංහ. මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට මුලින්ම අපි සටනට ගියේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අතිරේක භට පිරිසක් විදිහට. කොටි ත‍්‍රස්තවාදීන්ගේ දැඩි ප‍්‍රහාර හමුවේ කොමාන්ඩෝ එක පසු බැස්සා. ඒත් මගේ හිත කිව්වේම කොයි මොහොතක හෝ මට මේ සටනට මූණ දෙන්න වෙනවා කියලයි. ඒ නිසා අපේ බලඇණිය පසු බැහැලා මාවිල්ආරුව ආසන්නයේ කැලෑවේ නතර වුණා. එතකොට යුද හමුදාපති සරත් ෆොන්සේකා සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ගනිමින් හිටියේ. හමුදාපති තනතුරේ වැඩ බැලූවේ මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි. එතුමා අපි හිටිය තැනට ඇවිත් සොරොව්ව මුදාගන්නෙ කොහොමද කියලා මගෙන් ඇහුවා. එතකොටත් අපිට කිසිම ප්ලෑන් එකක් තිබුණේ නෑ...,
 
 මාත් එක්ක නිලධාරීන් සහ භට පිරිස සේරම හාරසීය ගාණක් හිටියා. දවස් දහයක් කැලේ ඇතුළේ එකම තැන හිටියා. මට උපදෙස් දෙන්න බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා පත් කරලා තිබුණා. බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා තමයි කිව්වේ ආගෝස්තු 10 වැනිදා පාන්දර ගහන්න පටන් ගමු කියලා. මට අද වගේ මතකයි, ප‍්‍රථම ප‍්‍රහාරය එල්ල කළේ පාන්දර 4.58 ට. මගේ බලඇණියේ හාරසිය ගාණක් හිටියට අපි සටනට යෙදෙව්වේ කණ්ඩායම් දෙකයි. ඒ කණ්ඩායම් දෙක මෙහෙයුවේ කැප්ටන් දිසානායකයි. කැප්ටන් ගොඩවිතානයි. අපි ඒ වගේ වේලාවක පහර දෙන්න ගනී කියලා එල්.ටී.ටී.ඊ. ය හිතුවේම නෑ...,
 
 අපේ සහායට කල්ආරුව දෙසින් විශේෂ කාර්ය බළකායේ භට පිරිසකුත් ගහගෙන මාවිල්ආරුව දෙසට ගමන් කළා. එල්.ටී.ටී.ඊ. යත් උපරිම ශක්තිය යොදාගෙන පහර දුන්නා. ආටිලරි ගැහුවා. බර අවි උපරිම පාවිච්චි කළා. ඒත් පැය කිහිපයක් යනකොට අපි පළමුවැනි ඇනිකට් එක මුදාගත්තා. ඒ වෙනකොට අපේ අටදෙනෙක් මිය ගිහින් තිබුණා. තිස් ගානක් තුවාල වෙලා හිටියා. තවත් ඇනිකට් එකක් මුදාගන්න තිබුණා. ඒක මඩ සොරොව්ව. ඒ සොරොව්වෙන් එහාට සම්පූර්ණ එල්.ටී.ටී.ඊ. පාලනයක් තිබුණේ. එදා දවස තුළදීම මුදාගත් ඇනිකට් එක ප‍්‍රදේශයේ බලය තහවුරු කර ගත්තා. ඒ සමඟ තුවාල වෙච්ච භට පිරිස වෙනුවට මේජර් තල්වත්ත එක්ක විසිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් අපිට එකතු වුණා. ඒ කණ්ඩායමේ උපකාර ඇතිව අනිත් ඇනිකට් එකත් මුදාගත්තා.’’
 
 මෙසේ මෙහෙයුම් කටයුතු සිදුවෙමින් පවතිද්දී, එවකට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා, මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි වෙත දුරකථනයෙන් ඇමතුවේය. ” නන්ද මොකද තත්වේ...’’ යනුවෙන් ඔහු පටන් ගත් විමසුම අවසන් වූයේ ”ඔයාට තව මොනවද අවශ්‍ය වන්නේ...? යනුවෙන් ඇසීමෙනි.
 
 ”එතකොට ඒ පළාතේ දුරකථන සම්බන්ධතා තිබුණේ ඉතාම දුර්වල තත්වයකය. මේ නිසා මම බැසිල් රාජපක්ෂ මහතාට ඒ ගැන මතක් කළා. ඒ සඳහා ප‍්‍රතිචාර දක්වමින් හෙලිකොප්ටරේක එතුමා මට චන්ද්‍රිකා දුරකථන තුනක් එවලා තිබුණා. ඒවා දැකපු අතුරලියේ රත්න ස්වාමීන්වහන්සේත් ඒ දුරකථනයක් ඉල්ලගෙන පන්සලට ගියා.
 
 2006 අගෝස්තු 10 වැනිදා පාන්දර 4.58 ට ගහන්න ගත්ත එක කොටි ත‍්‍රස්තවාදීන් ඉවර වෙනකම්ම ගැහුවා. අගෝස්තු 12 වෙනිදා වෙනකොට අපි සොරව්ව මුදාගැනීමේ කටයුතු අවසන් කළා. කොටි ත‍්‍රස්තවාදය අතුගා දැමීමේ පළමු වෙඩි මුරය තිබ්බේ එහෙමයි.’’
 
 මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චිගේ මුහුණෙද ඒ මොහොත වන විට ජයග‍්‍රාහී සිනහවක් ඇදී යමින් තිබුණේ 12 වසරක මතකය සිහියට නංවා ගැනීම නිසාය.
 
 මේ සොරව්ව විවෘත කිරීම, රටේ ඓතිහාසික සලකුණක් වනු ඇතැයි මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි ද එදා සිතා සිටියේ නැත.
 
 ” ඔය වගේ මෙහෙයුම් අපි හමුදා ජීවිතය පුරාම කරලා තියෙනවා. මේ මෙහෙයුම එල්ටීටීඊයේ අවසානයේ ආරම්භය කියලා නම් මම එදා හිතුවේ නැහැ. ඒත් මේ ජයග‍්‍රහණය සමග රටේ ජනතාව අතර සහ ත‍්‍රිවිධ හමුදාවේ පිරිස් අතර විජයග‍්‍රාහීභාවයක් ඇති වුණා.’’
 
 එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විසින් ඉල්ලාගෙන කෑමේ ප‍්‍රතිඵල සංග‍්‍රාම භූමියේදී හමුවන්නේ, මේජර් ජෙනරාල් ජයම්පති තිලකරත්න ඇතුළු සංග‍්‍රාමික බල ඇණිය වෙතය. ඒ පිළිබඳව මේජර් ජෙනරාල් තිලකරත්න විස්තර කර තිබුණේ මෙසේය.
 
 ‘‘ඒ වෙනකොට නැගෙනහිර කොටි බලය සම්පූර්ණයෙන්ම යොදවලා තිබුණේ වසා දමා තිබූ මාවිල්ආරු සොරොව්ව දෙසට. රැකවලේ සිටි එල්.ටී.ටී.ඊ. උපරිමයෙන් සන්නද්ධවයි හිටියේ. ඒත් අපි හොඳට කාලය අරගෙන, විමර්ශනය කරලා සැලසුමකට අනුව පහරදීම සිදු කළා. අපේ පහරදීම එල්.ටී.ටී.ඊ.ය ට හිතාගන්නවත් බැරි වුණා. ඒ නිසා තමයි, දවසක් ඇතුළත ශක්තිමත් බංකර් බිඳලා අමුණ නිදහස් කරගන්න පුළුවන් වුණේ. නැවත සැලසුම් සහගතව නිදහස් කර ගත් අමුණ වටේට බලය තහවුරු කරගෙන දවස් හතරකට විතර පස්සෙ මඩ සොරොව්ව නිදහස් කරගැනීමේ සටන ආරම්භ කළා. ඒ අවස්ථාවෙත් පහර දෙන්න පටන් ගත්ත වේලාවේ ඉඳලා නොකඩවාම ගැහුවා. අපේ පහරදීම එල්.ටී.ටී.ඊ.යට හිතාගන්නවත් බැරි වුණා. කොටි පසු බැස්ස නෙමෙයි, අවි ආයුධ දාලා දුවලා තිබුණා. මාවිල්ආරු නිදහස් කරගැනීමේ සටනේදී එල්.ටී.ටී.ඊ.යට විශාල හානියක් වුණා. ඒ වගේම එල්.ටී.ටී.ඊ.යට නොසිතූ විදිහට එල්ල වූ පහරදීම හමුවේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය බින්දුවටම වැටුණා. ඒ සියලූ වාසි ප‍්‍රයෝජනයට අරගෙන එල්.ටී.ටී.ඊ.ය කඳවුරු බඳින සෑම තැනකටම අපි පහර දුන්නා.
 
 එල්.ටී.ටී.ඊ.ය පසු බැහැලා ගියාට පස්සෙ අපි පහළ තෝපූර් ප‍්‍රදේශවල කරපු සෝදිසි කිරීම්වලදී අවි ආයුධ විශාල තොගයක් හොයාගත්තා. ඒ ගම්වල සමහර ගෙවල් ඇතුළේ සිමෙන්ති පොළව හාරලා ප්ලාස්ටික් ටැංකි යට කරලා අවි, ආයුධ ඒ ටැංකි ඇතුළට දාලා කොන්ක‍්‍රීට් කරලා පරණ විදිහටම සිමෙන්ති දාලා තිබුණා. ගෙවල් සෝදිසි කරද්දී පොළොවේ බොල් ශබ්දයට තමයි අපි බැලූවේ. ඒ ටැංකිවල තිබුණු අවි ආයුධවල ග‍්‍රීස් තවරලා, පරිස්සමට ඉටි කොළවල ඔතලා තිබුණා. ඒ වගේම ගිනි අවියේ අංකය, ඒ අවිය අයිති කෙනාගේ නම ගහලා ඉතාම සූක්ෂ්මව තැන්පත් කරලා තිබුණා. ඒ විදිහට සඟවලා තිබුණු මෝටාර්, ආර්. පී. ජී, රේඩියෝ සෙට් ඇතුළු විශාල අවි ප‍්‍රමාණයක් සොයාගත්තා. ඒ අවි සඟවලා තිබුණේ නැවත ප‍්‍රයෝජනයට ගැනීමටම තමයි. එච්චර අවි ආයුධ තියාගෙන එල්.ටී.ටී.ඊ. යේ පසුබැසීම ගැන අපිට පුදුමත් හිතුණා.’’
 
 ජලයෙන් උපන් මානුෂිය මෙහෙයුමක වසර 12 ක මතකය එසේය.




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com