www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සාරාට පැන යන්නට උදව් කළ එක් අයෙක් කලවංචිකුඩි පොලිසියේ රථවාහන අංශයේ හිටපු ඕ.අයි.සී. අබු බකර්


2020-07-22 07:44:22 -  305 යි

පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයකට සූදානම්ව සිටියදී සයින්දුමරුදුහි නිවසක් තුළ බෝම්බ පිපිරුම් කිහිපයකින් මරණයට පත්වූ දාහත්දෙනා අතර සිටි බව සඳහන් වූ මහේන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා ජෙස්මින් නමැති කාන්තාව ධීවර බෝට්ටුවකින් මන්නාරමේ සිට ඉන්දියාට පලාගොස් ඇතැයි පාස්කු කොමිසම හමුවේ ඊයේ (21දා) හෙළිවිය.

සාරා නමැත්තිය මියගොස් නැති බවත් ඇය ඉන්දියාවට පළාගොස් ඇති බවට හෙළිකර ගන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසමේ විමර්ශන අංශය විසිනි.

එම තොරතුරු හෙළිකරගත් විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද ඊයේ (21දා) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් තමා සොයා ගත් තොරතුරු පිළිබඳව කොමිසම දැනුවත් කළේය.

ඇයට ඉන්දියාවට පලායාමට පහසුකම් සපයා දුන් පුද්ගලයන් තිදෙනෙක් පිළිබඳව සහ බෝට්ටුකරු සම්බන්ධයෙන්ද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවත් සාරාගේ මවගේ නැගණියගේ සැමියා සහ එම සැමියාගේ සහෝදරයා ඇයට ඉන්දියාවට යාමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇති බවද කොමිසම හමුවේ හෙළිවිය.

අර්ජුන මාහින්කන්ද කොමිසම හමුවේ සඳහන් කළේ සාරාට ඉන්දියාවට පලායාමට අවශ්‍ය කටයුතු සූදානම්කර දුන් දෙදෙනාගෙන් එක් අයෙක් විදෙස්ගතව ඇති බවත් අනෙත් පුද්ගලයාව මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත්ය. ඊට අමතරව ඇයට සහය දුන් බව හෙළිවූ කලවංචිකුඩි පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වන අබු බකර් නමැත්තාද අත්අඩංගුවට ගත් බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය.

සාරා නමැත්තිය ඉන්දියාවට පලාගිය බව සඳහන් ධීවර යාත්‍රාව සාමාන්‍ය ධීවරයෙකුගේ යාත්‍රාවක් බවට තොරතුරු ඇතැයිද ප්‍රධාන පොලිස් පරීක්ෂක මාහින්කන්ද කොමිසම හමුවේ පැවැසීය. එසේම ඇය සැඟවී සිටි බව කියන නිවාස තුනක්ද හඳුනාගත් බවද ඔහු සඳහන් කළේය.

‍කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මුලින්ම සඳහන් කළේ සියෝන් දේවස්ථානයේ පිපිරුම, වවිනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, කාතන්කුඩි යතුරුපැදි බෝම්බ පිපිරුම, සමන්තුරේ නිවසකින් පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම, නින්දවූර් නිවසක සැකකටයුතු පිරිසක් රැඳී සිටීම සහ සයින්දුමරුදු නිවසක සිදුවූ පිපිරුම සම්බන්ධයෙන් පාස්කු කොමිසමේ විමර්ශන අංශයේ කටයුතු තමා යටතේ සිදුකරන බවය.

එකී විමර්ශන සිදුවන අතරතුර සයින්දුමරුදු වොලිවේරියන්හි නිවසක සිදුවූ පිපිරීමත් සමග එම ස්ථානයේ සිටි කාන්තාවක් අතුරුදන්ව ඇති බවට තොරතුරුකරුවෙකුගෙන් පසුගිය ජූලි 06 වෙනිදා තමාට දැනගන්නට ලැබුණු බවත් එම කාන්තාව සයින්දුමරුදු පිපිරුමෙන් පසු මාන්කාඩු ප්‍රදේශයේ සැරිසරන බවට ද එම තොරතුරුකරු තමාට පැවැසූ බවද පොලිස් පරීක්ෂක මාහින්කන්ද සඳහන් කළේය.

ඇය මාන්කාඩු හිදී දුටු පුද්ගලයෙක් ගැන මෙන්ම ඇයට ඉන්දියාවට පලායාමට සහයදුන් පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳවද තොරතුරුකරු තමාට පැවසූ බවද පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ පැවැසීය.

මේ සම්බන්ධයෙන් තමා කොමිසමේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාව දැනුවත් කළ බවත් ඒ අනුව ඔවුන්ගේ උපදෙස් මත ජූලි 08 වෙනිදා තමා විමර්ශන කටයුතු සඳහා මඩකළපුව බලා පිටත්ව ගොස් තොරතුරුකරු හමුවූ බවද ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය. එම තොරතුරුකරු මගින් ඇය දුටු පුද්ගලයාව මුණගැසුණු බවද සාක්ෂිකරු කීය.

2019 වසරේ සැත්තැම්බර් මාසයේ යම් දිනක තමන් රාජකාරි කටයුත්තක් සඳහා තමාට අයත් කැබ් රථයකින් පාන්දර 3.00 ට පමණ නිවසින් පිටත්ව ගිය බවත් මඩකළපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තමන් ගමන් කරමින් සිටියදී බීච් පාර ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ වම් පසට වන්නට බටර් පැහැති 250 අංකය දරන පිකප් රථයක් සැකකටයුතු ලෙස නතර කර තිබුණු බවත් එම පුද්ගලයා පැවැසූ බවද ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද කොමිසම හමුවේ සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත තමන් රථයේ වේගය අඩුකර විමසිලිමත් වූ බවත් එවිට බීච් පාර දෙසින් කාන්තාවක් පැමිණෙන අයුරු දුටු බවත් ඇය පසුපසින් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් ගමන් කරන අයුරු දුටු බවත් එම පුද්ගලයා සඳහන් කළ බවද පොලිස් පරීක්ෂකවරයා පැවැසීය. පිකප් රථය නතර කර තිබුණු ස්ථානයේ ඇති විදුලි පහන් කණුවේ ආලෝකයෙන් එම කාන්තාව සාරා බවට පහසුවෙන්ම හඳුනා ගත් බවත් එම පුද්ගලයා පැවැසූ බව ඔහු කීය.

සාරා වයස අවුරුදු 10 සිට ජීවත්ව ඇත්තේ මෙම තොරතුරු ලබාදුන් පුද්ගලයා පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි නිවසක බවත් ඇගේ නම ඔහු ඒ වන විට දැන නොසිටියත් සයින්දුමරුදු ප්‍රහාරයෙන් පසු ඇය සම්බන්ධයෙන් මාධ්‍යවල පලවූ වාර්තා අනුව ඇය සාරා බවට නමින් දැනගෙන සිට ඇති බවත් අර්ජුන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාහින්කන්ද කොමිසම හමුවේ සඳහන් කළේය.

ඇයත් ඇය පසුපසින් පැමිණි පුද්ගලයන් දෙදෙනාත් පිකප් රථයට ගොඩවනු තමා පැති කණ්නාඩියෙන් දුටු බවත් කාන්තාව ගොඩ වූයේ කැබ් රථයේ පිටුපස ආසනයට බවත් තොරතුරුකරු සඳහන් කළ බවද පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.

මේ සම්බන්ධයෙන් තමාට ඇතිවූ සැකය නිසාම කැබ් රථය ඉදිරියට ධාවනයකර නැවත හරවා පැමිණි බවත් එහිදී පිකප් රථයේ රියදුරු අසුනට යාබද අසුනේ සිටි කලවංචිකුඩි පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපති අබුබකර් සිටි බව හඳුනාගත් බවද තොරතුරුකරු සඳහන් කළේ යැයිද කොමිසම හමුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද සඳහන් කළේය. එම පිකප් රථය එම අවස්ථාවේදී ඉතා වේගයෙන් මඩකළපුව දෙසට ධාවනය වී තිබෙන බවත් එසේ වේගයෙන් ධාවනය වී ඇත්තේ අබුබකර් හඳුනාගැනීමෙන් පසු තොරතුරුකරු ඔහු සමග කථාකිරීමට කැබ් රථය නතරකර බිමට බසින්නට සූදානම් වන අවස්ථාවේදී බවද අර්ජුන මාහින්කන්ද පැවැසීය.

මෙම තොරතුරු සම්බන්ධයෙන් තමන් කොමිසමේ විමර්ශන අංශයේ තමාගේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් අම්පාරට එවූ බවද පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද පැවැසීය. එම නිලධාරීන් තමාගේ මගපෙන්වීම යටතේ සාරා නමැති කාන්තාවට ඉන්දියාවට පලායාමට සහය දුන් බව කියැවුණු එක් පුද්ගලයෙක්ද, අබුබකර් නමැති පොලිස් නිලධාරියාද අත්අඩංගුවට ගත් බව කොමිසම හමුවේ අර්ජුන මාහින්දක්ද වැඩිදුරටත් සඳහන් කළේය. තවදුරටත් සාරා සම්බන්ධයෙන් සහ ඇයට පලායාමට සහය දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේය.

පැනගොස් ඇත්තේ සාමාන්‍ය ධීවර බෝට්ටුවකින්

සයින්දුමරුදු බෝම්බයෙන් මියගිය බවට සැක කළ සාරා බෝට්ටුවකින් ඉන්දියාවට පැනලා

කොමිසමේ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com