www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නාකොටික් කුඩු ජාවාරමට එස්.ටී.එෆ්. ආරක්ෂාව දීලා


2020-07-22 07:06:55 -  528 යි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතැම් නිලධාරීන් ආරක්ෂාව සපයා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (21වැනිදා) දැනුම් දුන්නේය.

බිස්නස් සරු දාට කතරගමට පූජාවක් සී.අයි.ඩීය අධිකරණයට කියයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව විභාග වන නඩුව ඊයේ (21දා) කැඳ වූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දන්වා සිටියේය.

මෙම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන්, සාර්ථක මත්ද්‍රව්‍ය ජාවාරමක් කළ විට කතරගම ගොස් පුද පූජා පවත්වා තිබෙනවා යැයි ද ඊට අදාළ ඡායාරූපත් ඇති බවටද මෙහි දී කරුණු අනාවරණය විය.

මීට චෝදනා එල්ල වූ නිලධාරීන් භාවිතා කළ සැටලයිට් දුරකථන තුනක් සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඩුබායි හා සිංගප්පූරුවේ සිට මුදල් ගෙවා ඇති බවද අනාවරණය වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී පැවැසීය. සැටලයිට් දුරකතන සඳහා විනාඩියකට රුපියල් 350 බැගින් ගෙවා ඇතැයි ද පැවැසේ.

පොලිස් නිලධාරීන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරම 2013 සිට කරගෙන ගියත් 2017 සිට එය සක්‍රීය ලෙස ක්‍රියාත්මක වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අනාවරණය කළේය.

නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 279 අල්ලා දුන් අවස්ථාවේ ඒවාට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ දීම පැකට් කර විකුණා ඇතැයි ද හෙළි කළේය.

මෙම ජාවාරමට සම්බන්ධ නිලධාරීන් සතුව තිබී රත්ත්‍රන් කිලෝ ග්‍රෑම් 20ක්, වාහන 14ක් හා රුපියල් මිලියන 105ක් සොයාගෙන ඇති බවද මෙහි දී අනාවරණය විය.

මෙම නඩුවට මාධ්‍ය මගින් සක්‍රීය දායකත්වයක් ලබා නොදුන්නේ නම් විමර්ශන දැනටමත් ඇල් මැරුණු ස්වභාවයක් ගැනීමට ඉඩ තිබුණු බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

රටක් කලඹන මෙම නඩුවට පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අවශ්‍ය වන බවත් හෙතෙම මෙහි දී පැවැසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com