www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බිලියනපතියන්ගේ ට්විටර් ගිණුම් හැක් කර කෝටි ගණනක් සොරකම් කරලා


2020-07-17 10:54:21 -  217 යි

බිල්ගේට්ස්, ජෙෆ් බේසෝස්, බරක් ඔබාමා, ජෝ බයිඩ්න්, ඊලොන් මස්ක් වැනි සුප්‍රකට පුද්ගලයන්ගේ ට්ව්ටර් ගිණුම් ඊයේ (16) හැකර්වරුන්ගේ ප්‍රහාරයකට ලක්ව තිබිණි. මේ හරහා මෙම හැකර්වරුන් බිට්කොයින් (Bitcoin) යන නමින් හැඳින්වෙන ඩිජිටල් මුදල් විශාල ප්‍රමාණයක් ජනතාවගෙන් සොරා ගැනීමට කටයුතු කර ඇතැයි විශ්වාස කෙරේ. ඉහත කී ප්‍රකට පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම්වලට රහසින් ඇතුළු වී ඇති හැකර්වරුන් ඒවායෙහි යම් යම් පණිවිඩ සටහන් කර තිබිණි. ඒවායින් පොදුවේ කියැවෙන්නේ එක්තරා ඩිජිටල් ගිණුමකට බිට්කොයින් මුදල්වලින් යම් ප්‍රමාණයක් එව්වහොත් එය දෙගුණ කර නැවත ලබා දෙන බවය. නිදසුනක් ලෙස බිල්ගේට්ස්ගේ ට්විටර් ගිණුමෙහි මෙවැන්නක් සඳහන් විය. හැමෝම මට කියනවා මුදල් පරිත්‍යාග කරන්න කියලා. ඔබ මට ඩොලර් 1,000ක් එවන්න. එවිට මා ඩොලර් 2,000ක් එවනවා.

තවත් ප්‍රකට බිලියනපතියකු වන ඊලොන් මස්ක්ගේ පිටුවෙහිද සඳහන් වූයේ ඔහු සඳහන් කර තිබූ බිට්කොයින් ගිණුමකට එවන මුදල මෙන් දෙගුණයක් නැවත පරිත්‍යාග කරන බවයි. තමා මෙය කරන්නේ කොවිඩ්-19 වසංගතය නිසා බවක්ද එහි සඳහන් කර තිබිණි. මෙවැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ගිණුම් පමණක් නොව ඇපල්, ඌබර් වැනි ආයතනවල ට්විටර් ගිණුම්ද මෙම ප්‍රහාරයට ලක්ව තිබූ බැව් වාර්තා විය. ඉහත කී ට්විටර් සටහන් ඉතා කෙටි කාලයකින් ඉවත් කර තිබුණද ඒ වනවිටත් මුදල් විශාල ප්‍රමාණයක් හැකර්වරුන් රැස් කරගෙන තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ විශේෂඥයන් සඳහන් කරන්නේ මෙය ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය අඩවියකට මෙතෙක් එල්ල වූ දරුණුම ප්‍රහාරයන්ගෙන් එකක් බවයි. ට්විටර් ආයතනයද මෙම සිදුවීමෙන් මහත් කම්පනයට පත්ව සිටින ආකාරයක් දැකිය හැකි වේ. මෙවැනි බිට්කොයින් වංචාවන් ට්විටර් වැනි අඩවි හරහා බොහෝ අවස්ථාවල ක්‍රියාත්මක වුවද සැබෑ සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නිල ගිණුම් මහා පරිමාණයෙන් යොදා ගනිමින් මෙවැන්නක් කළ පළමු අවස්ථාව මෙය බව ඉහත කී විශේෂඥයන්ගේ අදහස වී තිබේ. මෙම සමාජ මාධ්‍ය අඩවිය යොදා ගනිමින් මෙවැනි වංචාවක් කිරීමට හැකි වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙම වංචාවට හසු වූවන් නගන බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ට්විටර් ආයතනයට සිදුවනු ඇති බව ඔවුහු පෙන්වා දෙති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com