www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රටම පීරා සෙවූ වෙහෙරවත්ත කංකානම්ලාගේ සමන් වසන්ත කුමාර නොහොත් පොලිසියේ නාකොටික් අයි.පී


2020-07-12 08:26:11 -  561 යි

වෙහෙරවත්ත කංකානම්ලාගේ සමන් වසන්ත කුමාර යනුවෙන් අයෙක් ලංකාවේ සිටිනවාදැයි ගිය සතිය වනතුරා රට්ටු දැනගෙන සිටියේ නැත. එවැනි අයෙක් සිටියත් මිනිසුන්ට ඒ ගැන ප්‍රශ්නයක් තිබුණේ නැත.

සියල්ල වෙනස් වූයේ ගිය සතියේය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මුළු රටම පීරන්නට පටන් ගත්තේ සමන් වසන්ත කුමාර සොයා ගැනීමටය. ඔහු දුටුවොත් වහාම දන්වන්නැයි කියමින් පොලිසිය ඔහුගේ පින්තූරයක්ද මාධ්‍යයට නිකුත් කළේය. මෙච්චර මහන්සියෙන් පොලිසිය සෙවූ සමන් වසන්ත කුමාර මෙච්චර කල් හිටියෙත් පොලිස් දෙපාර්තමේන්තුවේය. හරියටම කියනවා නම් පොලිස් මූලස්ථානය පිහිටි මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ තුන්වැනි තට්ටුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේය.

තමන්ගේ ඇස් පෙනෙන මානයේ සිටි පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර පොලිසියේ ඇස් වසා පැන ගියේ දෙසතියකට ඉහතදීය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අල්ලන හෙරොයින් යළිත් ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ජාවාරමේ මහ මොළකරු ඔහු බවට චෝදනා එල්ල වී තිබේ. මේ චෝදනාවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දුසිමකට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වී මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. තමා සමග සිටි සගයන් පොලිස් අත්අඩංගුවට පත්වන විට පොලිස් පරීක්ෂක වසන්ත කුමාර ආගිය අතක් නැතිවිය. මේ නිසා අපි ඔහුගේ නිවස පිහිටි ගම්පහ වැලිවේරියේ කිරිකිත්තට ඉකුත් අටවැනිදා ගියෙමු. පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර පදිංචිව සිටින්නේ කිරිකිත්තේ අංක 189 දරන නිවසේය. ඒ නිවස පිහිටා ඇත්තේ කඩුවෙල නව නුවර මාර්ගයේ නාරංවල නගරය පසුකර තිබෙන (18) දහඅටේ කණුව අසල කිරිකිත්තට හැරෙන හන්දිය අසලය.

සමන් වසන්ත කුමාර සාමාන්‍ය පවුලක උපත ලැබූවෙකි. ගම්මු කියන හැටියට ඔහුට සහෝදරියක හා සහෝදරයකු සිටී. කිරිකිත්ත ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා අනතුරු පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට බැඳී ඇති බව පැවසේ. විවාහකයකු වන සමන් කුමාර දියණියන් දෙදෙනකුගේ පියෙකි.

කිරිකිත්ත ගමේ අංක 198 දරන නව දෙමහල් නිවසට ඔහු පදිංචියට පැමිණ ඇත්තේ එම නිවස පිටුපස වූ තම මහගෙදර සිටය.

ඉපැරණි මහගෙදර තම එකම විවාහක සොයුරාට භාරදී වියපත් දෙමාපියන් දෙදෙනා සමග අලුත් ගෙදර පදිංචියට පැමිණ ඇත්තේ මෑතකදී බව ගමේ අය පවසති. ඔහුගේ එකම සොයුරිය විදේශයක පදිංචිකාරියක බවත් ඇය ගමට එන්නේ කලාතුරකින් බවද ගම්වැසියෝ පවසා සිටිති.

පොලිසියේ මහත්තයා මගතොටේදී හමුවන අයත් එක්ක කොහොමද? කියලා අහනවා මිසක් වැඩි භජනෙකට එන්නේ නෑ. එයා ගමේ අයත් එක්ක දොඩමළු වෙන්න අකමැති අද්භූත මනුස්සයෙක්.

සිය නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත අපට කතා කළ කිරිකිත්තේ ගැමියකු කීවේය. ගමේ අයත් සමග වැඩි කතාවට නොගියද ඔහු ගමේ පන්සල සමග යහපත් සබඳතාවන් පවත්වා ගෙන ගොස් ඇත්තේය. සමන් කුමාරගේ දෙමාපියෝද ගම්මු සමග යහපත් සබඳතාවක් පවත්වාගෙන ගිය යුවළකි. ඔවුහු ගමේ උදවිය සමග වන්දනා ගමන් ගියහ. ආගමික කටයුතුවල යෙදුණහ. එනමුත් ගමේ අය සමන් කුමාරගේ නිවසට ආව ගියේ නැත.

සමන් කුමාර මහත්තයා පොලිසියේ රාජකාරි කරන බව අපි දන්නවා. ඒත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කියලා දන්නේ නෑ. සමහර දවස්වල ඒ මහත්තයා පොලිස් වාහනයෙන් ගෙදර එනවා. පොලිස් වාහනය නැතිනම් ඒ මහත්තයා යන්නේ එයාගේ මෝටර් රියේ. අපි නම් හීනෙකින්වත් හිතුවේ නෑ සමන් මහත්තයා මේ වගේ වැඩකට පැටලිලා කියලා. මොකද පොලිස්කාරයෝ සිගරට්, අරක්කු බොන බව අපි අනන්තවත් දැක තියෙනවා. ඒත් මේ මහත්තයා සිගරට්, අරක්කු බොනවා ගමේ අපි දැකලා නෑ කිරිකිත්තේ ගැමියකු කීවේය.

කිරිකිත්තේ ගැමියෝ අයි.පී. සමන් වසන්ත කුමාර ගැන හොඳක් කියන්නටවත්, ඔවුන්ගේ අනන්‍යතාව කීමටවත් කැමැති නැත.

ඒ මහත්තයා පාතාලේ එක්ක සබඳතා පැවැත්වූවා කියලනේ කියන්නේ. ඕවා කතා කරන්න ගිහින් අපිටත් වෙඩි කන්න වේවිද දන්නේ නෑ. කිරිකිත්තේ ගම්මුන්ගේ අදහස එයය.

අයි.පී. සමන් වසන්ත කුමාරගේ දෙමහල් නිවස වටේ ඉදිකර ඇත්තේ විශාල තාප්පයකි. ඒ තාප්පයෙන් එපිට ලෝකය ගැන කිරිතිත්තේ ගම්මුන්ට අදහසක් නැත. ගමේ අය මහත්තයාගේ ගෙදර යන්නේ නෑ ගැමියකු කීවේය.

කෙසේ නමුදු ඇතැම් අවස්ථාවල මධ්‍යම රාත්‍රි මෙන්ම දහවල් කාලවලද විවිධ මාදිලියේ වාහන නිවසට පැමිණ තිබේ. ඒවායෙන් පැමිණෙන පුද්ගලයන් නිවසේ දොරටුව ආසන්නයෙන්ම බැස නිවස තුළට රිංගන බවත්, එම පැමිණෙන පුද්ගලයන් කඩිනමින් ඉන් ඉවත්ව යන බවද අසල්වැසියකු අපට පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කුඩු විකුණන බව හෙළි වූ දවසේ අයි.පී. සමන් වසන්ත කුමාර කිරිකිත්තේ සිය නිවසට රාත්‍රියේ පැමිණි ඇති බව සඳහන්ය. එතැන් සිට ඔහු ආ ගිය අතක් නැත.

අන්තිමේ දී ඔහු හමු වූයේ කඩවතදීය. කුරුණෑගල ගෙදර සැඟවී ඇති ඔහු, එහි දී මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවාට දුරකතන ඇමතුමක් දී තමා භාර වන බව පවසා තිබේ.

කුරුණෑගල සිට කඩවත ඉඳිගහමුලට පැමිණ ඇති ඔහු, මහ පාරේ සිට ඇත්තේ අඬමින්ය. ඒ අතරේ අසලින් ගමන් කළ පොලිස් රියක් නතර කර ගත් ඔහු තමා කවුදැයි ඔවුන්ට පැවැසුවේය. මුළු පොලිසිය දෙසතියක් පුරා හෙවූ පොලිස් පරීක්ෂකවරයා පොලිසිය අල්ලා ගත්තේ එහෙමයි. මේ වන විට ඔහු සිටින්නේ රැඳවුම් නියෝග මතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com