www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උතුරේ බෝම්බ පුපුරන්න ගිහින්එලොව ගිය කොටියා


2020-07-12 08:14:49 -  292 යි

උතුරේ තුන් හතරපොළකදී ගිය මාසයේදී බෝම්බ පුපුරා ගියේය. එම බෝම්බ අධිබලැති ඒවා නොවේ. මෙසේ බෝම්බ පුපුරන්නේ උතුරේ යළිත් කඩාකප්පල්කාරී ක්‍රියාවලට සැරසෙන සංවිධානාත්මක පිරිසක් බව ආරක්ෂක අංශ සැක කළේය.

ආරක්ෂක අංශවල තක්සේරුව වූයේ ජූලි පස්වැනිදාට යෙදෙන කළුකොටි දිනය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ.යට යළි පණ දෙන්නට පිරිසක් කැස කවන බවය. තත්ත්වය මෙසේ තිබියදී කිලිනොච්චිය පලෙයි නිවසක පුද්ගලයකු පිපිරීමකින් බරපතළ තුවාල ලබා ඉකුත් 6 වැනිදා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කෙරිණි. එම තුවාල යම් කිසි පුපුරන ද්‍රව්‍යයක් හේතුවෙන් ඇති වූ බව පෙනෙන්නට තිබීම නිසා ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක විය. කිලිනොච්චියේ පලෙයි යනුවෙන් කීවාට පලෙයි ඇත්තේ යාපනය අර්ධද්වීපයේය. මේ හේතුව නිසා යාපනයේ ආරක්ෂාවද තර කෙරුණි. පිපිරුමෙන් තුවාල ලැබුවේ හිටපු කොටියකු වූ මේතන්ය. 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ඔහු පුනරුත්ථාපනය කර සමාජයට එක් විය. නමුත් කැලේ මාරු වුවත් ඔහුගේ පුල්ලි මාරු වූයේ නැත.

මේතන් හෙවත් තංගරාසා එල්.ටී.ටී.ඊ.යේ සිටි ජ්‍යෙෂ්ඨම සාමාජිකයෙකි. 1994 දී එල්.ටී.ටී.ඊ.යට බැඳුණු මේතන් එතැන් පටන් කළු කොටි පුහුණුවේ සිට කොටින්ගේ විශේෂ කණ්ඩායම්වලට සේවය කර තිබේ.

පසුව එල්.ටී.ටී.ඊ. බුද්ධි බළකායට අනුයුක්ත කළ ඔහු කොළඹ ඇතුළු දකුණේ ප්‍රහාරවලටද සම්බන්ධ බවට සඳහන්ය. කොටින්ගේ ටොසි බුද්ධි අංශ නායකයා වූ පොට්ටු අම්මාන් සමග සෘජුව ගනුදෙනු කිරීමටද මොහු සමත් විය. එල්.ටී.ටී.ඊ.යේ කොළඹ ප්‍රහාර මෙහෙය වූ මුත්තප්පන්, චාල්ස්, නිව්ටන් වැනි බුද්ධි අංශ නායකයන් යටතේ මේතන් දකුණේ ප්‍රහාරවලටද එක්වී තිබේ.

සිව්වන ඊළාම් යුද්ධයේ අවසන් කාලයේදී හමුදාවට භාරවී පුනරුත්ථාපනයට යොමුකළ 11969 ක් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අතරේ මේතන්ද සිටියේය. පුනරුත්ථාපනය වීමෙන් අනතුරුව මේතන් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ දේශපාලන පක්ෂය යන පක්ෂයට එකතු වී දේශපාලන කරළියට 2015 දී ඔහු ඡන්දය ඉල්ලුවේය. මේ අතරේ කොටි ඩයස්පෝරාවේ ඇල්ම බැල්ම මේතන් වෙත යොමු විය.

මේතන්ව ප්‍රංශ කොටි ජාලය මගින් හසුරුවන්නට ගත්තේය. එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර බුද්ධි ජාලයේ සිටි ප්‍රබල සාමාජිකයකු වූ මනිඅරිසන් ප්‍රංශයේ සිට මේතන්ව මෙහෙයවන්නට විය.

සිව්වන ඊළාම් යුද්ධයෙන් පසුව දහතුන් වතාවක් එල්.ටී.ටී.ඊ. කණ්ඩායම් හිස ඔසවන්නට උත්සාහ කළ මුත් එය උපන් ගෙයිම මරා දැමීමට හමුදාව සමත් විය. ඩයස්පෝරාවේ ඊළඟ උත්සාහය වූයේ මේතන් ලවා මිය ගිය කොටි මිනී වළෙන් ගොඩගැනීමය.මේතන් මේ සඳහා සූදානම් වන්නේ සැඟවුණු චරිතයක් ලෙසය.

තංගරාසා ගන්නෙයි ආත්මන්, තංගරාසා දේවදාසන්, කංනෙයි ආන් නම්වලින් ​මේතන් පෙනී සිටියේය. මේ නම්වලට ඔහු ජංගම දුරකථන දෙකක් මිලදී ගත්තේය.

ප්‍රංශයේ සිටින මනිඅරිසන් මේතන් යටතේ හිස ඔසවන කණ්ඩායමේ ගිණුම්වලට මුදල් එව්වේය. මේතන් තම බිරිඳ ලෙසින් ගුරුවරියක සම්බන්ධ කරගත්තේය. විවාහ නොවුවද ඇය සමග පලෙයි, අයියකච්චහි නිවසක පදිංචි විය.

ඇගේ ගිණුමට ප්‍රංශයේ සිට මුදල් ගලා ආවේ ඉදිරි ප්‍රහාරවලටය. අඛණ්ඩව ගිණුමට ආ රුපියල් ලක්ෂ හතරහමාරෙන් මේතන් යතුරුපැදියක් ගත්තේය. ඒ මීට මාස හතරකට පෙරය.

බුද්ධි අංශ සාමාජිකයකු වූ නිසා මේතන් ඉදිරි ප්‍රහාර සඳහා තමා සමග එක්කරගත් කිහිප දෙනා හමුවූයේ සූක්ෂ්ම ලෙසය. ජංගම දුරකථන මගින් සබඳතා පැවැත්වීම අඩු කළේ ආරක්ෂක අංශවලටත් කොටු නොවී සිටීමටය.

ප්‍රංශයේ මදි අසෙන්ගේ නියෝග මත ප්‍රංශයේ සිට රෙජිනෝල්ඩ් සෙපාන් නමැති කොටි ප්‍රබලයකු මීගමුවට එන්නේ මාර්තු මාසේදීය.මීගමුව පෙරියමුල්ලේ පදිංචි කතකගේ නමින් සිම් කාඩ්පතක් ලබාගත්තේ ප්‍රංශයේ සිට එන කොටියාගේ මෙහෙයුම්වලටය. ඇගේ පුතා ප්‍රංශයේ සිට කතාකර මවට කියන්නේ තම ප්‍රධානියාගේ පුතා ලංකාවට එන බවය. කටුනායක ගුවන් තොටුපොළට ගොස් ඔහු දෙන පාර්සලය ගෙන ඔහුට සිම්කාඩ්පතක් රැගෙන ගොස් දෙන ලෙස ප්‍රංශයෙන් ලද උපදෙස්ය.

ඒ අනුව මෙරටට පැමිණි ප්‍රංශ කොටියා මේතන් හා සම්බන්ධ වන්නේ අදාළ සිම්පතෙනි. මේතන්ගේ දුරකථනයෙන් උතුරු නැගෙනහිර ඇතුළුව දුරකථන ඇමතුම් ගත්තේ අංක දොළහකට පමණි. උතුරු නැගෙනහිරින් පිට එම ඇමතුම් සම්බන්ධ වන්නේ මීගමුවේ සිම්පතට හා බත්තරමුල්ලේ ලීසිං ආයතනය සමග පමණකි. ඒ තරමටම මේතන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන තිබුණේය. ප්‍රංශයෙන් ලද උපදෙස් මත මේතන් ඉදිරි ප්‍රහාර සඳහා බෝම්බ සකසා රහසිගතව ඒවා ප්‍රහාර සඳහා යොමු කළේය. මේතන් යටතේ පළමු ප්‍රහාරය මැයි 27 වාර්තාවන්නේ යාපනය, වල්ලිපුරම්වලදීය. පේදුරුතුඩුව පොලිසිය වැලි ජාවාරම් මඬින්නට යෙදූ පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන් ඉලක්ක කර ටින් බෝම්බයක් පුපුරුවා හැරුණි. ප්‍රහාරයෙන් එක් පොලිස් කොස්තාපල්වරකුට සුළු තුවාල ලදහ. එම ටින් බෝම්බයට යොදා තිබුණේ රතිඤ්ඤාවලට යොදාගත් වෙඩි බෙහෙත් සහ යකඩ බෝලය. හානිය වැඩි කිරීමට යකඩ බෝල යොදාගෙන තිබිණි.

මින් පසුව යාපනය නාග විහාරයේ බුදු පිළිමයටද ගල් ගසා තිබුණේය. එය යතුරු පැදියක පැමිණි පිරිසක් කළ දෙයක් බව තහවුරු විය. යළිත් යතුරු පැදියකින් පැමිණ බෝම්බයක් දමාගිය සිද්ධියක් වාර්තා වෙන්නේ ඉකුත් ජුනි 12දාය. යාපනය 521 බළසේනාවේ මේජර්වරයා ව්‍යායාම සඳහා ඇවිද යන අතරේ සැකසහිත බෝනික්කෙක් දුටුවේය. බෝනික්කා සොලවද්දීම එක්වරම ගිනිගෙන මේජර්වරයාගේ දෑස්වලට සුළු තුවාල විය. එය තුන්හුලස්වලට වෙඩි බෙහෙත් යොදවා සැකසූ එකක් විය. බෝනික්කා සොයාගෙන දින 14කට පසුව කිලිනොච්චිය, ධර්මපුරම්වලින් තවත් බෝම්බයක් හමුවන්නේය. එය අටවා තිබුණේ විදුලි පේනුවක් සහිත පෙට්ටියකටය. යකඩ බෝල සහ රතිඤ්ඤා වෙඩි බෙහෙත් යොදවා මෙම බෝම්බය සකස් කර තිබිණි.

එම බෝම්බ සිද්ධීන්වලින් පසුව උතුරේ යළි හිස ඔසවන්නට යන කණ්ඩායම් සොයා බුද්ධි මෙහෙයුම් ඇරඹීය.

රහසිගතව ජීවත් වූ මේතන් මීළඟට අර අදින්නේ කළු කොටි දිනයේ ප්‍රහාර මාලාවකටය. එහෙත් හොරාට පෙර කෙහෙල් කැන වැට පැන්නේය. ජූලි 5 වැනිදා පුපුරන්න හදමින් සිටි බෝම්බ ජූලි 08 වැනිදා පුපුරා ගියේ මේතන් රෝහල්ගත කරමිනි.

පරීක්ෂා කිරීමේදී ආරක්ෂක අංශ මේතන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී බෝම්බ සැදූ බවට සාක්ෂි මතුවිය. මේතන් සැකසූ බෝම්බ තුනක්, කළු කොටි සැමරුමට සූදානම් කළ කොඩියක් හා පුපුරන ද්‍රව්‍යද එහි තිබී හමුවිය. ගුරුවරියක වූ ඔහුගේ බිරිඳ ලෙස සිටි කාන්තාවද අත්අඩංගුවට ගත්තේය.

යාපනය රෝහලට ඇතුළත් කළ මේතන්ගේ තත්ත්වය බරපතළ විය. මේතන් නිහඬ කරවීමට ප්‍රංශ කොටි ජාලය උත්සාහ ගන්නා බව හෙළිවීමෙන් පසුව ආරක්ෂාව පතා ඔහු අනුරාධපුර රෝහලට මාරු කෙරිණි.

උතුරේ පිපිර වූ බෝම්බ ප්‍රහාර තුනම තමන් කළ බවට මේතන් ප්‍රතිකාර ලබන අතරේ හෙළි කළේය. ඉදිරි මෙහෙයුම් ගැන තොරතුරු කියන්නට මත්තෙන් ඔහු ඉකුත් 08 වැනිදා රෝහලේදී මියයන්නේ සියලු රහස් හංගා ගනිමිනි. සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වමින් සිටි ආරක්ෂක අංශ මේතන් මෙහෙය වූ ජාලයේ සිටි සිවිල් ආරක්ෂක බළකායේ රාජකාරි කරමින් සිටි හිටපු කොටි සාමාජිකයකු අත්අඩංගුවට ගත්හ. ඔහුද පුනරුත්ථාපනය වූ අයෙකි. මොහු යොදාගෙන තිබුණේ ආරක්ෂක අංශවල ක්‍රියාකාරකම් ගැන ඔත්තු බැලීමටය.

මේතන්ගේ ​නිවසින් හමුවූ බෝම්බ හා මීට පෙර පිපුරූ බෝම්බවල තාක්ෂණය හා වෙඩි බෙහෙත් එක හා සමාන විය. බෝම්බය පෑගුණු සැණින් පුපුරා යන්නට යොදා තිබුණේ ලයිටරයක ​කොටසකි. එය පෑගුණු සැණින් ලයිටරයේ ගිනිගලෙන් වෙඩි නූල් පත්තු වන්නට තාක්ෂණයක් උපයෝගී කරගෙන තිබිණි. කෙසේ නමුදු මේතන් මියගියද ඩයස්පෝරාවේ අරමුණු මියනොයනු ඇත. එබැවින් සූදානම් ශරීරයෙන් සිටීම කෝකටත් හොඳය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com