www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තණමල්විල කොල්ලට හිත ගිය කවුද මේ නාලිකා


2020-07-10 08:15:21 -  263 යි

ඇත්තටම දීප්ත ගේ හිත ළඟ නාලිකාගේ හිතත් නතර වේවිද? එහෙමත් නැතිනම් නාලිකා දීප්තට උදව් කරන්නේ මොනව ගේ අදහසකින්ද?
එහෙමත් නැතිනම් කේතුමතී බිසව ඉදිරියේ මොනවගේ තීරණයක් ගනීද? මේ දිනවල රූපවාහිනි තිරය මත දිස්වන රාවණ වගේම තණමල්විල කොල්ලෙක් ටෙලිනිර්මාණ හරහා මේ චරිත දෙක අපිට දැකබලා ගන්න පුළුවන්. මේ චරිත වලට ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ චරිතවලට ජීවය දෙන ශ‍්‍රීමාලි ෆොන්සේකාට අපි මේ ඉඩකඩ වෙන්කළා.
 
 ශ‍්‍රීමාලිගේ හිත තණමල්විල කොල්ලෙක්හි දීප්ත ළඟ නතර වෙලා නේද?
 
 නාලිකා චරිතය නේද? දීප්ත ළඟ මම නැවතිලා නැහැ. දීප්ත ගේ හිත මා ළඟ නැවතිලා. හේතුව මගේ හොඳම යාළුවගේ යශෝදරා තණමල්විල ඉඳලා ආපු දීප්තව යශෝදරා නවත්වන්නේ අපේ ගෙදර. ඒ වගේම දීප්තට රස්සාවක් දෙන්නෙත් මම. ඒ යශෝදරා කියපු නිසා.
 
 නාලිකාට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?
 
 ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් නාලිකාගේ චරිතයට කැමැතියි. රොෂාන් රවීන්ද්‍ර අධ්‍යක්‍ෂවරයා අපෙන් උපරිම හැකියාව ලබාගත්තා මේ නාට්‍යයට.
 
 ශ‍්‍රීමාලිට නාලිකා වෙන්න ලැබුණේ කොහොමද?
 
 මට මේ ආරාධනාව ලැබෙන්නේ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්‍ෂ චමින්ද උඩවෙල මාර්ගයෙන්. මම ඔහුව හඳුනාගත්තේ නලීන් මාපිටිය මහත්මයාගේ ටෙලි නාට්‍යයක් හරහායි.
 
 මෙතැනදී චරිත තේරීමේදී රොෂාන් රවීන්ද්‍ර මහත්මයාට මගේ නම යෝජනා කරලා තියෙන්නේ චමින්ද උඩවෙල.
 
 අධ්‍යක්‍ෂ රොෂාන් රවීන්ද්‍ර ඔබට මේ චරිතය භාරදෙනකොට මොනවද කිව්වේ?
 
 අධ්‍යක්‍ෂ රොෂාන් මට කිව්වේ මේක හරි වෙනස් චරිතයක්. සමහර විට මේක කළු චරිතයක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ චරිතයේ මට මාර විදිහට හැඟීම් ප‍්‍රකාශ කරන්න තියෙනවා. නාලිකා කියන්නේ ප‍්‍රශ්න ගොඩකට මැදිවුණ චරිතයක්.
 
 රාවණ හි කේතුමතී බිසවට ලැබෙන්නේ මීට වඩා වෙනස් ප‍්‍රතිචාරද?
 
 රාවණ නාට්‍යයේ මුල් භාගයේ පළමු කොටසේ ඉඳලා මම හිටියා. ඒ වගේම දෙවන භාගයේ මුල ඉඳලා මම රඟපානවා. කේතුමතී බිසව ගේ චරිතයත් කතාව පුරාවටම විහිදෙනවා. පේ‍්‍රක්‍ෂකයන් ගොඩක් ආදරේ කරනවා.
 
 වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නේ කේතුමතී බිසවටද? නාලිකාටද?
 
  ඇත්තම කියන්න ඕනෑ නාලිකා චරිතයට. රාවණ නාට්‍ය එක දිගටම විකාශනය වෙනවා. නමුත් තණමල්විල කොල්ලෙක්හි මම රංගනයෙන් දායක වුණ කොටස් හතරක් පහක් විතර තමයි තවම විකාශනය වුණේ. ඒ ටිකට ලැබුණ ප‍්‍රතිචාර නම් ඉතා ඉහළයි. මම හිතනවා ගොඩක් මිනිස්සු අතරට මම ගියා කියලා.
 
 කේතුමතී බිසව කොරෝනා නිසා අතුරුදන් වුණා නේද?
 
 ඔව් ඔව් කේතුමතී බිසවට විතරක් නෙමෙයි මුළු ලෝකයටම ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා. ඒක ලොකු ප‍්‍රශ්නයක්. අපි කිසි කෙනෙකුට කිසිම හේතුවකට එළියට බහින්න බැරිවුණා. මම හිතන්නේ කේතුමතී විතරක් නෙමෙයි නාලිකාත් ගෙදරට වෙලා හිටියා. හැබැයි අපිට පුංචි විවේකයක් ලැබුණා.
 
 ශ‍්‍රීමාලිගේ ව්‍යාපාර කටයුතු වලට මොකද වෙන්නේ?
 
 ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. පොඩි නෙමෙයි ලොකු පසුබෑමක් තිබුණා. ඒක මට විතරක් නෙමෙයි හැමෝටම බලපාපු කාරණයක්. ව්‍යාපාර අමුතුවෙන් මුල ඉඳන් ආරම්භ කරන්න සිද්ධ වෙලයි තියෙන්නේ.
 
 කොරෝනා වෛරසය නිසා සැලෝන් ආරම්භ කිරීමත් ප‍්‍රශ්නයක් නේද? ඒ ප‍්‍රශ්නය ඔයාට නැත්ද?
 
 නැහැ. මම සැලෝන් සම්බන්ධව නෙමෙයි කරන්නේ. ඩිසයින් තමයි කරන්නේ. ඒක නිසා ඒක මට ලොකු ප‍්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් දැන් වෙඩින් කරන්නේ නැහැනේ.
 
 ශ‍්‍රීමාලිට මේ දිනවල රඟපෑමට හරියට ආරාධනා ලැබෙනවා කියන්නේ ඇත්තද?
 
 ඔව්. මට මේ දිනවල නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. ඒවා සාකච්ඡුා මට්ටමේ තියෙන්නේ. ඒ වගේම මම දායක වුණු ජනපි‍්‍රය වෙළෙඳ දැන්වීම් කිහිපයක් ප‍්‍රචාරණය වෙන්නත් තියෙනවා. ඒ වගේම මම දායක වුණ තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයක් මේ දිනවල විකාශනය වෙනවා.
 
 ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත්?
 
 මම ආපු ගමන ගැන ඇත්තටම සතුටු වෙනවා. 2012 වර්ෂයේ මම මිස් ශ‍්‍රී ලංකා වුණාට පසුව බොහොම හෙමින් ගමනක් තමයි ආවේ. ඒ ආපු ගමනේ අන්තිමට ආපු නාලිකාගේ චරිතය මාව ගොඩක් ශක්තිමත් කරලා තියෙනවා. මගේ තෝරාගැනීම් මම කරපු කැප කිරීම් නිසා තමයි මෙතැනට ඇවිත් තියෙන්නේ. හරි තීරණ ගත්ත නිසා මේ තැන ඉන්නවා කියලා කියන්න පුළුවන්.
 
 නාලිකා ශ‍්‍රීමාලිගේ ජීවිතය ගොඩක් වෙනස් කළා නේද?
 
 අනිවාර්යයෙන්ම ඔව්. ඇත්තටම කේතුමතී චරිතයත් එහෙමයි. එළියට බැස්සහම ගොඩක් දෙනෙක් අහනවා ආ මේ කේතුමතී නේද කියලා. නාලිකා ගේ චරිතය හින්දා මිනිස්සුන්ට ඒක අමතක වෙලා. ආ මේ ඉන්නේ නාලිකා නේද කියලා කියන්න පටන් අර ගෙන තියෙනවා. කොරෝනා වෛරසයත් එක්ක මිනිස්සු රූපවාහිනියට කිට්ටු වුණා. ඒ කාලයේ තමයි මේ තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ විකාශනය හොඳම කොටස් ටික විකාශනය වුණේ. ඒක හින්ද මට හිතෙනවා. ගොඩක් දෙනෙක් එහෙමත් නැතිනම් මිනිස්සු තණමල්විල කොල්ලෙක්ට ඇබ්බැහි වුණා වගේ. ඒ නිසයි නාලිකා චරිතයත් පේ‍්‍රක්‍ෂකයන් අතරට ගියේ.
 
 සිනමාවට ආරාධනා නැතිද?
 
 මම පසුගිය කාලයේ දායක වුණ (රෂ්* චිත‍්‍රපටය විකාශනය වුණා. මම ලංකාවේ හිටියේ නැහැ. ඇමරිකාවේ තමයි ජීවත් වුණේ. මේ කොරෝනා ප‍්‍රශ්නය හින්ද තමයි ඇත්තටම ලංකාවට ආවේ.
 
 කවදද ලංකාවට ආවේ?
 
 මම ආවේ පෙබරවාරි මාසයේ. ඇමරිකාවේ තමයි ජීවත් වුණේ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ආපහු ලංකාවට එනවා.
 
 ආපහු ඇමරිකාවට යන්න අදහසක් තියෙනවාද?
 
 අදහසක් තියෙනවා. නමුත් මේ ප‍්‍රශ්න නිසා මම අවුරුද්දක් විතර ලංකාවේ ඉඳීවි. ඒ අතර තමයි මම නිර්මාණ දෙකකට සම්බන්ධ වෙන්න අදහස් කරගෙන ඉන්නෙ. ඉදිරියේදී බලමු.
 
 වෘත්තීය නිළියක් වෙන්න අදහසක් නැතිද?
 
 මම ඇත්තටම රඟපෑමට ආසයි. ගොඩක් ගරු කරනවා රඟපෑමට. නමුත් අතිශය කාර්යය බහුල වෙන්න අකැමැතියි. මම ව්‍යාපාර වලටත් කැමැතියි. ඒ නිසා රඟපෑම වෘත්තීය කරගන්න අමාරුයි. හැම දෙයක්ම සමබරව කරගෙන යන්නයි කැමැති.
 
 පුද්ගලික ජීවිතයේ ගත්තු තීරණ ගැන පසුතැවීම් තියෙනවාද?
 
 නැහැ. මම කලින් කිව්ව වගේ හරි වෙලාවට හරි තීරණ අරගෙන තියෙනවා. ඇත්තටම කිව්වොත් මම හරි සතුටින් ඉන්නවා.
 
 දිනේෂ් විතාන

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com