www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගත් පසු නිවසට ගෙන ගොස් කන්න නාන්නත් ඉඩ දීලා


2020-07-09 08:08:34 -  909 යි

උසස් නිලධාරියකු නිසා එසේ කළ බව හිටපු ඒඑස්පී තිසේරා උසාවියට කියයි

යාපනය පුංගුඩුතිව් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීමේදී එහි ප‍්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ වත්තල ප‍්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ගොස් විනාඩි හතළිස්පහක පමණ කාලයක් ගත කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා සදහන් කළේය.

එම කාලය තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නෑමට අවස්ථාව ලබා දී නිවසේ සිටි අයකු රැගෙන ආ බිත්තර රොටී ආහාරයට ගැනීමට ඉඩ ලබාදුන් බවද හෙතෙම සදහන් කළේය.

තමා එසේ කටයුතු කරනු ලැබුවේ එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාගෙන් ලබාගත් උපදෙස් අනුව බව කී පොලිස් අධිකාරී තිසේරා මහතා, පසුව ලලිත් ජයසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා යාපනයට රැගෙන යන අතරතුර පුත්තලම විශේෂ කාර්ය බළකා කදවුරේදී රාති‍්‍ර ආහාරය ලබාදුන් බවද පැවසීය.

දේශපාලන පලිගැනීම් පිළිබද පරීක්‍ෂණ කිරීම සදහා කි‍්‍රයාත්මක ජනාධිපති කොමිසම හමුවේ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ගොනුකර ඇති පැමිණිල්ලට අනුව වගඋත්තරකරුවකුු ලෙස කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.

මේ අවස්ථාවේදී තමන් එසේ කටයුතු කිරීම නීත්‍යානුකූලදැයි කොමිසමේ සභාපති විනිසුරු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කළ විමසීමකදී එයට පිළිතුරු දුන් පොලිස් අධිකාරී තිසේරා මහතා උසස් පොලිස් නිලධාරියකු ලෙස ලලිත් ජයසිංහ මහතා කළ ඉල්ලීම අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාගෙන් උපදෙස් ලබාගෙන තමා එසේ කටයුතු කළ බව පැවසීය.

එහිදී තමන් මේ කොමිසම හමුවේ සඳහන් කරනුයේ උසස් නිලධාරියකු කිවහොත් සීමාවෙන් පිටතට ගොස් කටයුතු කරන බව නොවේදැයි යනුවෙන් නැවතත් කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශේ‍්‍රෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සාක්‍ෂිකරුගෙන් විමසා සිටි අතර එහිදී තර්කානුකූල පිළිතුරක් ලබා දෙන්නට සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා අසමත් විය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ සිට යාපනයට ගෙනයන තෙක්ම උසස් පොලිස් නිලධාරියකු නිසා ලලිත් ජයසිංහ මහතාට සිය ජංගම දුරකථන තුනම භාවිත කිරීමට අවස්ථාව ලබාදුන් බව මෙහිදී සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා තවදුරටත් සදහන් කළේය.

දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සහ සෙසු සාමාජිකයන් වන හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයරත්න, හිටපු පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (08 වැනිදා)රැුස්විය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com