www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සාම්පල්තීව් කලපුවෙන් ඔබේ බිම්කඩත් අදම වෙන්කරවාගන්න‍!


2020-06-24 06:20:58 -  334 යි

ත්‍රිකුණාමලය සාම්පල්තීව් කලපුව මේ ගෙවමින් සිටින්නේ, සිය ජීවන ගමනේ පශ්චිම යාමයයි. සොබා දහමේ අපූරු උරුමයක්වූ සාම්පල්තීව් කලපුව විවිධ පුද්ගලයන්ගේ දඩ බිමක් බවට පත්වන්නේ, ඊට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසකගේ ඇප උපකාර හා නොසැලකිලිමත්කම මත වීම විශේෂත්වයකි.

ත්‍රිකුණාමලය නගර සීමාවේ සිට කිලෝ මීටර් හතරක් පමණ එපිටින් පිහිටි සාම්පල්තීව් කලපුව අධි සංවේදී පරිසර පද්ධතියකි. 2018 වසරේදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෙක්ටයාර 08 ක කඩොලාන වගාව මෙම කලපුවේ ආරම්භ කර ඇති අතර, එහි සමාරම්භක වැඩ සටහන සඳහා සහභාගි වූයේ, එවකට පරිසර අමාත්‍යවරයා වූ සුසිල් ප්‍රේමජයන්තයි. සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් රෝපණය කරන ලද කඩොලාන වගාව තුළ මේ වනවිට අනවසර ඉදි කිරීම් රැසක් සිදුවනුයේ, නගර හා කඩවත් ප්‍රාදේශීය සභාව, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙරළ සම්පත් හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ඊට සෘජුවම වග කියන ආයතන රැසක් මෙන්ම ප්‍රධාන පොලිස් ස්ථාන දෙකක් අභිමුව පිහිටි වටපිටාවක් තුළය.

මසුන් හා පක්ෂීන් රැසකගේ විසුම්පොළ බවට පත්ව ඇති මෙම කලපු බිම පුරා පැතිර පවතින කඩොලාන ශාක පද්ධතියේ රැකවරණය මැද පැටවුන් බිහි කිරීමට මුහුදේ සිට කලපුවට එන මසුන් වර්ග මෙන්ම කලපුවේ කඩොලාන තුරු වදුලු හා තෘණ බිම් තම නිවහන කරගත් නොයෙකුත් පක්ෂීන්ද කලපුවට මහත් සුන්දරත්වයක් එක් කරවන්නේය. අන්තර් උදම් කලාපයේ වැවෙන ශාක ප්‍රජාවක් වන ජෛව විද්‍යාත්මකව ඉහළ නිෂ්පාදකතාවක් දක්වන බවට වර්ග කර තිබෙන කඩොලාන පද්ධතිය කලපුව පුරා පැතිර ඇත. එබැවින් ඒ ආශ්‍රිතව ජීවත්වන ශාක හා සතුන් බහුල වශයෙන් මෙම කලපුව තුළද දක්නට ලැබේ. ඒ අනුව ඇල්ගි මත යැපී ජීවත්වන ගොලු බෙලි විශේෂයක් වන කඩොල් බෙල්ලාද කඩොලාන ඉහළ මුල්වලද, කවච දෙකකින් යුත් මෘදු ශරීරවලින් යුතු ජීවීන් කඩොලාන පහළ මුල්වලද, ඌරි, කාවාට්ටි හා මට්ටි වැනි සතුන්ද මෙම කලපුව තුළ ජීවත් වේ.

මෙම කලපුව ආශ්‍රිතව ජීවත්වන සත්ත්වයකු වන දිය හුණා කඩොලාන පරිසරයට අද්විතීය වූ මත්ස්‍යයෙකි. එමෙන්ම ඉස්සන්, මඩ කකුළුවන්, ආඳන්, තනි අඩු කකුළුවන් වැනි ජීවීන් මෙන්ම පිළිහුඩුවා, ඇලි කොකා, කඩොල් කොකා, දියකාවා හා මුහුදු ලිහිණියා වැනි සතුන්ද මෙම පරිසර පද්ධතිය ආශ්‍රිතව ජීවත්වන අයුරු කලපුවේ සංචාරය කරන්නකුට පෙනීයයි.

කලපුවේ වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ ගෝණතොට පරිසර සංවිධානයේ සභාපති ආර්. එම්. ඒ. බණ්ඩාර -

මේ කලපුවේ ඉඩම් මංකොල්ලය පිටුපස ඉන්නේ, අපි නොහිතන තරමේ බලවත් පුද්ගලයන් පිරිසක්. මහ පරිමාණ ව්‍යාපාරිකයෝ, දේශපාලනයට හිතවත් පිරිස් වගේම හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකුටත් මේකෙ ඉඩම් තියෙනවා. නිලධාරි ඇඟ බේර ගන්න දෙන උත්තරේ තමයි, මේවා අනවසර වුණත්, ඔප්පු තියෙනවා කියන එක. අපි අහන්නේ, කලපුව ගොඩ කරපු ඉඩම්වලට ඔප්පු දෙන්න කටයුතු කළේ කවුද කියලා හොයලා බලලා ඒවා දැන්වත් නිවැරැදි කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ..

කලපුව සීමා මායිම් නිර්ණය කර සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2018 වසරේදී දැන්වීම් පුවරුවක් මගින් ප්‍රදර්ශනය කළද ප්‍රධාන මාර්ගය දෙපස පැතිර තිබූ කලපු බිම අබලි ද්‍රව්‍ය දමා වරින් වර ගොඩ කර මේ වන විට විශාල ගොඩනැගිලි ඉදිකරමින් යනු දක්නට ලැබේ.

1987 අංක 47 දරන ජාතික පාරිසරික පනතට (සංශෝධිත) අනුව ඉදි කිරීම් කිරීමට පෙර පරිසර බලපෑම් ඇගයීම් (තක්සේරු) ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු වුවද එකී ඇගයීම් වාර්තාවක් මේ කිසිවෙකුත් ලබා ගත්තේද යන්න ගැටලු සහගතය. සමුද්‍ර ජීවීන් රැසකගේ තිඹිරි ගෙය බවට පත්ව තිබෙන සාම්පල්තීව් කලපුව අවට ධීවර ප්‍රජාවගේද කෙම්බිමකි. හෙක්ටයාර 260ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන බවත් ඉතිරිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන බව කියැවුණද තමන්ට හිමි භූමි ප්‍රමාණය කොපමණද කියා මෙම දෙපාර්තමේන්තු හරිහැටි නොදන්නා බව ප්‍රදේශයේ පරිසර සංවිධාන නගන වෝදනාවකි.

අද වන විට මුළු ලොවේම ඉතිරිව ඇති ක‍ඩොලාන වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර මිලියන 15.8ක හෙවත් ලෝකයේ වනාන්තරවලින් 0.6 සියයට ප්‍රමාණයකි. මෙය ආරම්භක කඩොලාන ප්‍රමාණයෙන් අඩක් වන අතර තවදුරටත් සියයට දෙක සියයට අට දක්වා වාර්ෂිකව සීග්‍ර ලෙස පහත වැටෙමින් පවතී. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර වාර්තාවන්ට අනුව 1986 වසරේදී ත්‍රිකුණාමලයේ හෙක්ටයාර 2043 ක්ව තිබූ ක‍ඩොලාන පරිසර පද්ධතිය 1997 වන විට හෙක්ටයාර 1491 දක්වා පහත වැටී ඇත. එවන් තත්ත්වයක් තුල සාම්පල්තීව් කලපුව අත්පත් කර ගනිමින් සිදුකරන මෙම ක්‍රියාවලිය කලපුවේ කඩොලාන සහිත ජෛව පැවැත්ම අමු අමුවේ විනාශ කිරීමක් බව කිවයුතු වේ.

මේ විනාශය සම්බන්ධයෙන් අපි අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළත්, මේ බලධාරීන් නිහඬයි. මේ කලපු තීරය සංවේදී පරිසර පද්ධතියක්. විශේෂයෙන් ධීවර ප්‍රජාවගේ රැකියාවේ සුරක්ෂිත භාවය රැඳී තිබෙන්නේ මෙවැනි කලපු පද්ධතීන් මත බව අපි දන්නවා. මේ තුළින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බහුතරයක් වූ ධීවර ප්‍රජාවගේ ජීවන වෘත්තිය අනතුරට මුහුණ පා තිබෙනවා. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසයි.. එසේ කියන්නේ, ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් කමිටු සාමාජික ප්‍රියන්ත මැලවන්නගොඩ යි.

අපි දන්න කියන කාලයේ සිට ත්‍රිකුණාමලය නගර සීමාව තුළ කලපු දෙකක් තිබුණා. එකක් මට්ටිකෙළිය කලපුව. අනික මේ අපි කතා කරන සාම්පල්තීව් කලපුව. අද වෙන කොට මට්ටිකෙළිය කලපුව අතුරුදන්. අද පාසල් සිසුවෙකුට කඩොලාන කියලා මොකක්ද කියලා පෙන්වීමට හෝ ඉතිරි වෙලා තියෙන්නේ මේ සාම්පල්තීව් කලපුව විතරයි. අපි අනාගත පරපුර වෙනුවෙන් මේ කලපුව බේරා ගත යුතුයි. එසේ කියන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍රිකුණාමලය ජයසුමනාරාම මහා විහාරයේ විහාරාධිපති කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමිපානන්ය.

මංගලනාත් ලියනආරච්චි - ත්‍රිකුණාමලය





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com