www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සහරාන් හෂීම් ගැන අවස්ථා නවයකදී ජාතික බුද්ධි ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළා


2020-06-24 06:14:44 -  276 යි

2017 වර්ෂයේ මාර්තු මස කාන්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමකින් අනතුරුව සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදි, ඔහුට ඉන්දියාවට පලායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරික්ෂණ කොමිසමේදී අනාවරණය විය.

හිටපු යුද සන්නද්ධ බුද්ධි බළකා අධ්‍යක්ෂ ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (22දා) සාක්ෂි දෙමින් සඳහන් කළේ සහරාන් හෂීම්ට මන්නාරමේ සිට ඉන්දියාවට බෝට්ටුවෙන් පලායාමට මෙලෙස රිෆ්කාන් බදියුදින් උපකාර කර ඇති බවය.

එසේම සහරාන් හෂීම් සහ අබ්දුල් රාසික් එක්ව ආරම්භ කළේ යැයි මීට පෙර අනාවරණය වූ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් අනුග්‍රහය ලබාදී ඇති බවද මෙම සාක්ෂිකරු පැවසීය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර ලද තොරතුරු නිශ්චිත බුද්ධි තොරතුරුද යන්න පසුගිය සමය පුරාවට දැඩි මතභේදයකට තුඩුදුන් කරුණක් වූ අතර පසුගියදා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ අදාළ බුද්ධි තොරතුරු මුල් අවස්ථාවේ නිශ්චිත තොරතුරු ලෙස ලබා දී තිබුණද, පසුව අවස්ථා ගණනාවකදී එම තොරතුරුවල වටිනාකම පාර්ශ්ව කිහිපයක් විසින් දියාරු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා පසුගිය සමයේ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාව සිටි නිලධාරියා පෙරේදා (22දා) ජනාධිපති කොමිසමට කැඳවා තිබිණි.

එහිදී සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ බුද්ධි තොරතුරක ඉහළ වටිනාකමක් ගැනීමට නම් එම තොරතුර තුළින් ප්‍රශ්න 06 කට පිළිතුරු ලැබිය යුතු බවයි. ඒ අනුව අදාළ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන්,

කවුද (Who) මොකක්ද කරන්නේ (What) කවදාද (When) හේතුව (Why) කොහොමද (How) කොහෙද (Where) යන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීය යුතු බව සාක්ෂිකරු සඳහන් කළේය.

මෙහිදී ජනාධිපති කොමිසම විමසා සිටියේ කිසියම් තොරතුරක් වටිනා බුද්ධි තොරතුරක් ලෙස සැලකීමට මෙකී ප්‍රශ්න 6 ටම පිළිතුරු සැපයිය යුතුද යන්නයි.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ අවම වශයෙන් ඉහත සදහන් කළ ප්‍රශ්න 6 න් 3 කට හෝ අදාළ බුද්ධි තොරතුර තුළින් පිළිතුරු අනාවරණය වන්නේ නම් එම තොරතුර වටිනා බුද්ධි තොරතුරක් ලෙස සලකා වගකිවයුතු පාර්ශ්ව වෙත යොමු කරන බවයි.

සාක්ෂිකරුගේ මෙම පැහැදිලි කිරීමත් සමග අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වන අයේෂා ජිනසේන පාස්කු ප්‍රහාරයට පෙර ලද මුල් බුද්ධි ලේඛනයක් වන සී 04 බී ලේඛනය පෙන්වා විමසා සිටියේ එම ලේඛනය වටිනා බුද්ධි තොරතුරක් ලෙස සැලකිය හැකිද යන්නයි. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ බුද්ධි තොරතුරෙහි ජාතික තවුහිද් ජමාත් සංවිධානය යන නමද, සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් 5 දෙනෙකුගේ නම්ද සඳහන්වීමෙන් කවුද (Who) යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන බවයි.

එසේම මරාගෙන මැරෙන ප්‍රහාරයක් යන්න සඳහන් වීම හරහා මොකක්ද කරන්නේ (What) යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන බවත්, නුදුරේදීම යන වචනය තුළ කවදාද (When) යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන බවත් සාක්ෂිකරු සඳහන් කළේය, අන්තවාදීන් පිළිබඳ නිරන්තර අවධියෙන් සිටිය යුතු ආරක්ෂක නිලධාරීන්ට මෙම ලේඛනය තුළ හේතුව (Why) සහ කොහොමද (How) යන ප්‍රශ්නවලටද පිළිතුරු සොයාගත හැකි බවද හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා පැවැසීය.

මෙම බුද්ධි තොරතුර තුළ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ ප්‍රසිද්ධ කතෝලික දේවස්ථාන ඉලක්ක විය හැකි බව පැහැදිලිව දක්වා තිබීම තුළ කොහෙද (Where) යන ප්‍රශ්නයටද පිළිතුරු ලැබෙන බව පෙන්වා දුන් සාක්ෂිකරු ජනාධිපති කොමිසමට පැවසුවේ ප්‍රශ්න 6 ටම පිළිතුරු සැපයෙන මෙවැනි නිශ්චිත වැදගත් බුද්ධි තොරතුරක් හමුවන්නේ කලාතුරකින් බවයි.

කෙසේ වෙතත් මෙම බුද්ධි තොරතුර ඇතුළත් ලේඛනය පසු අවස්ථාවකදී එක්කරන ලද සී 4 සී ලේඛනය කෙරෙහි ජනාධිපති කොමිසම මෙහිදි සාක්ෂිකරුගේ අවධානය යොමු කළේය.

එහිදී සාක්ෂිකරු සඳහන් කළේ පළමු බුද්ධි තොරතුර තුළ අන්තර්ගත වූ ඇතැම් කරුණුවල වටිනාකම මෙම ලේඛනය තුළින් හීන කිරීමකට ලක්ව ඇති බවය. ඒ අනුව පළමු ලේඛනය තුළ ප්‍රසිද්ධ කතෝලික දේවස්ථාන සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක විය හැකි බව සඳහන්ව තිබුණද, දෙවැනි ලේඛනය තුළ නිශ්චිතව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් කර තිබීම හරහාද, ඉහත සඳහන් තොරතුරු පිළිබඳ තවදුරටත් රහසිගතව අධ්‍යනය කරන බව සඳහන් වීම තුළද පළමු බුද්ධි තොරතුරේ තිබූ නිශ්චිතභාවය දෙවැනි බුද්ධි තොරතුර තුළ අවිනිශ්චිතභාවයකට ලක්කර ඇති බව සාක්ෂිකරු පැවසීය. ඉන් අනතුරුව සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමන් බුද්ධි අධ්‍යක්ෂවරයෙකුව සිටියදී කළ විමර්ශන පිළිබඳ අනාවරණය කළ සාක්ෂිකරු කියා සිටියේ 2017 වසරේ මාර්තු මස සහරාන් හෂීම් තවත් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් සමග කාත්තන්කුඩිය අල්ලියාර් මංසන්ධියේ ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසු සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවස්ථා 9 කදී තමන් ජාතික බුද්ධි ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බවය.

එම සිදුවීමට අදාළව සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඔහු කාත්තන්කුඩිය ප්‍රදේශයෙන් පලාගොස් සිටි බවත් පසුව මාවනැල්ල සහ කුරුණෑගල ප්‍රදේශවල රැඳී සිටි බව තම තොරතුරු ලබාදෙන්නන් හරහා අනාවරණය කරගත් බවත් සාක්ෂිකරු පැවසීය. පසු අවස්ථාවකදී සහරාන් හෂීම් මන්නාරම ප්‍රදේශයට ගොස් ඇති බවත් ඉන් අනතුරුව බෝට්ටුවකින් ඉන්දියාවට ගොස් ඇති බවත් තම බුද්ධි ජාලය හරහා තහවුරු කරගත් බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

එහිදී ජනාධිපති කොමිසම විමසා සිටියේ සහරාන් හෂීම්ට එලෙස ඉන්දියාවට පලායාමට කවරෙකු හෝ උපකාර කර ඇත්ද, මෙය සිදුවී ඇත්තේ කුමන කාල වකවානුවකද යන්නයි. එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරෙකු වන රිෆ්කාන් බදියුදින් නමැත්තා මෙලෙස සහරාන් හෂීම්ට බෝට්ටුවකින් ඉන්දියාවේ කාෂ්මීරය බලා යාමට උපකාර කර ඇති බවයි.

එසේම මෙම සිදුවීම සිදුවූයේ 2018 දෙසැම්බර් මාසයට පෙර දිනයක බවත්, 2018 වසරේ දෙසැම්බර් මාසය වන විට සහරාන් හෂීම් යළි මෙරටට පැමිණි බව දැනගන්නට ලැබුණු බවද සාක්ෂිකරු අනාවරණය කළේය.

මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ වරෙන්තු ලබා සිටි ජාතික ආරක්ෂාවට බලපෑම් කළ හැකි පුද්ගලයෙකුට රටින් පිටවීමට රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සහෝදරයෙක් උපකාර කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් දැනුවත් කළේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ තමන් එවකට යුද හමුදාපතිවරයාව සිටි මහේෂ් සේනානායකව මේ පිළිබඳ දැනුවත් කළ අතර 2019 මාර්තු මස 22 දින ලිපියක් මගින් ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියාවද දැනුවත් කළ බවයි.

එහිදි ජනාධිපති කොමිසම විමසා සිටියේ එම ලිපිය යැවූ පසු බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම් හෝ ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීම් පැවැතියේද යන්නයි.

එම ලිපිය යැවූ පසු මාර්තු 26, අප්‍රේල් 2 සහ අප්‍රේල් 9 දා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම් තුනක් පැවතියද ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීමක් නොපැවති බවයි. රිෆ්කාන් බදියුදින් සම්බන්ධයෙන් වූ මෙම තොරතුර ආරක්ෂක ලේකම්වරයා හෝ ජාතික බුද්ධි ප්‍රධානියා කිසිදු අවස්ථාවක සාකච්ඡාවට බඳුන් නොකළ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම මෙරට තුළ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධාන පිළිබඳ තමන් රැස්කළ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් අනුග්‍රහය ලබාදී ඇති බවයි.

කෙසේවෙතත් මෙම ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය සහරාන් හෂීම් සහ අබ්දුල් රාසික් නමැත්තන් එක්ව ආරම්භ කළේ යැයි මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වී තිබුණා.

බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය පිළිබඳ සාක්ෂි ලබාදුන් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් වෙත ලද බුද්ධි තොරතුරක් නිසි අධ්‍යනයකින් පසු යුද හමුදාපතිවරයා වෙත යොමු කරන බවත්, ආරක්ෂක ලේකම්වරයා එම තොරතුරු බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී සහ ජාතික ආරක්ෂක කවුන්සලයේදි සාකච්ඡාවට බඳුන් කරන බවයි.

එසේම සෑම සතියකම අඟහරුවාද දින පැවැති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ වන බවද, පැවැති ක්‍රියාදාමය තුළ තමන් විසින් යවන ලද සෑම බුද්ධි තොරතුරක් පිළිබඳවම ජනාධිපතිවරයා දැනුවත් වූ බවද සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ සාක්ෂිකරු සේවයේ යෙදී සිටි කාලය තුළ වගකිවයුතු නිලතලවල රැඳී සිටි නිලධාරීන් කවුද යන්නයි.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ තම සේවාකාලය තුළ ජාතික ආරක්ෂක කවුන්සලයේ ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක ලේකම්වරුන් ලෙස කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු යන අයත් , යුද හමුදාපතිවරයා ලෙස මහේෂ් සේනානායකත් ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලෙස නිලන්ත ජයවර්ධන කටයුතු කළ බවය.

රිෂාඩ්ගේ සහෝදරයා සහරාන්ට බෝට්ටුවකින් කාශ්මීරයට යන්න උදව් කළා

2018 දෙසැම්බර් සහරාන් හෂීම් යළි මෙරටට ආ බව දැනගන්න ලැබුණා

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට හිටපු ඇමැති

රිෂාඩ් බදුයුදීන්

අනුග්‍රහය ලබාදුන්නා

- හිටපු යුද හමුදා

සන්නද්ධ බුද්ධි බළකා අධ්‍යක්ෂ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com