දෙමටගොඩ වනාතමුල්ලේ බේස්ලයින් මාවතේ සහස්පුර ක්‍රීඩාංගණයට ඇතුළුවන ප්‍රවේශය අවහිර වන පරිදි එක් රැයකින් කඩ තුනක් සාදා නිමකර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ රාත්‍රී 12ට ඇරඹූ මෙම අනවසර ඉදිකිරීම අලුයම 5ටත් පෙර අවසන් කළ බවයි.
මේ පිළිබඳව බොරැල්ල පොලිසියට දැන්වුවද කිසිදු පොලිස් නිලධාරියකු පැමිණ නැත.
මෙම ස්ථානයේ සිරිසර උයන මහල් නිවාසයේ නාගරික සංවර්ධන අධිකාරියේ කාර්යාලයක් ඇතත් මේ පිළිබඳ ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මේ ගැන කොළඹ නගර සභාවට පැමිණිලි කළ විට පවසා ඇත්තේ දේශපාලන බලපෑම් මත මෙම ඉදිකිරීම ඉවත් කළ නොහැකි බවයි.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ මෙම ප්රදේශයේ මාර්ග දෙපස තිබූ සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කොට ප්‍රදේශවාසීන්ට වඩාත් යහපත් පිරිසුදු පරිසරයක් ඇති කළ බව ප්‍රදේශවාසීන් පවසන්නේ කෘතඥතාපූර්වකවය. දැන් ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ මෙම ඉදිකිරීම කළ පුද්ගලයා ඉදිරිපත් නොවන අතර මෙම කඩ තුන දිනකට රුපියල් 2000ක කුලියට දීමට තැරැව්කරුවන් කිහිපදෙනෙකුම උත්සාහ ගෙන ඇත.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අනවසර ඉදිකිරීම ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට දුරකථනයෙන් දැන්වූ විට ‘අගමැතිතුමා’ට කියා ඉදිකිරීම ඉවත් කරවා ගන්නා ලෙස කියමින් අදාළ නිලධාරීන් තමන්ට පරුෂ වචනයෙන් බණින බවය. ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ 3020 අංක අනවසර ඉදිකිරීම් වැටලීම් ඒකකයට කතාකළත් අගමැතිතුමාට කියා ඉදිකිරීම ඉවත් කර ගන්නා ලෙස ඔවුන්ද දන්වන බවය.
අප මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාණ්ද සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධව ලලිත් විජේරත්න නමැති නිලධාරියාගෙන් විමසන ලෙසයි. ඒ අනුව ලලිත් විජේරත්න මහතා ඇමතූ විටදී ඔහු කියා සිටියේ මේ පිළිබඳ අනවසර ඉදිකිරීම් සම්බන්ධ පැමිණිලි භාර රත්නකුමාර නමැති අයගෙන් විමසන ලෙසය. ඒ අනුව කළ විමසීමට පිළිතුරු දුන් එම නිලධාරියා පැවසුවේ මෙවැනි ඉදිකිරීමක් ගැන තමන් නොදන්නා බවයි. එසේම එවැනි ඉදිකිරීමකට තමන් කිසිදු අවසරයක් දී නැති බවත්, එම ස්ථානයට වහාම නිලධාරියකු යවා වාර්තාවක් කැඳවන බවත් හෙතෙම පැවසීය.