www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සෙල්ෆෝන් හිරේට ගෙනයන හැටි


2020-06-14 08:42:23 -  303 යි

දැන් සෑම පුවත්පතකම පාහේ පාතාල ලෝකය ගැන සඳහන් වූ විශේෂාංග ලිපි ලියවේ. නමුත්, ත්‍රාසය භීතිය පිරි පාතාල ලෝකයේ කතා සිංහල පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන අනුර හොරේෂස් ය. ඩීමන් ආනන්ද මාරක කතා චක්‍රවර්ති වූ සේද අනුර හොරේෂස් පාතාල කතා චක්‍රවර්ති විය. පාතාල ලෝකය ගැන ඔහු හෙළි කළ තොරතුරු ගිනි අවි සහ ගිනි කෙළි නමින් කෘතියකටද රචනා විය. එම කෘතිය ඇසුරින් චිත්‍රපටයක් ද, ටෙලි නාට්‍යයක් ද බිහිවිය. වසර ගණනාවක සිට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන අනුර හොරේෂස් දිගු කලකට පසු සිය නිහඬතාව බිඳ දමමින් සති අග අරුණින් ඔබ හමුවට මෙසේ පැමිණේ.

පනින රිළවුන්ට ඉණිමං බඳින්නට එපා.. යැයි කියති. එසේ වුවහොත් රිළවාගේ ගමන කොතැනින් නතර වේදැයි කිව නොහැකි බැවිනි. පසුගිය ඉරිදා (24) සති අග අරුණ පුවත්පතට මා ලියූ ලිපියෙන් පසු මා සමග සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර හා බුද්ධි අංශයන් හී උසස් නිලධාරින් කීප දෙනෙක් කතා කර එම ලිපියේ තවත් දිගුවක් ලියන්නට තොරතුරු හෙළි කළහ.

එම නිලධාරින් දුන් තොරතුරු කාණ්ඩ දෙකකට වෙන් කිරීමට මට සිදුවිය. ඉන් පළමුවැන්න වූයේ මෙම වසරේ මාර්තු 21 වැනිදා සවස 4.45ට පමණ අනුරාධපුර බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවුවන් විසින් කරන ලද කැරැල්ලේ අරමුණ සහ එම කැරැල්ල ව්‍යර්ථ කිරීම සඳහා විවිධාකාර බාධා මධ්‍යයේ නිලධාරින් ක්‍රියාත්මක වූ ආකාරයයි. දෙවැන්න නම් රටේ බන්ධනාගාර තුළට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සහ තවත් තහනම් භාණ්ඩ සූක්ෂම ආකාරයට ගෙනයන ආකාරය ගැනය. ඒ සඳහා රැඳවුවන් දරන උත්සාහයේ දී සමහර නිලධාරින් ඊට සම්බන්ධ වන්නේ කිනම් පසුබිමක් යටතේ ද යන්න ද විමසා බැලීම අත්‍යාවශ්‍යය කරුණකි.

රටේ මත්ද්‍රව්‍ය වසංගතය පිටුදැකීමටත් සිරකරුවන්ගේ සුබසාධනය සඳහාත් රජය වසරකට වැය කරන මහජන මුදල් කන්දරාව සුළුපටු නොවේ. නමුත් එමගින් රජය බලාපොරොත්තු වන අරමුණු ඉෂ්ට නොවේ නම් ඒ සියල්ල ගඟට කපන ඉනි මෙන් ව්‍යර්ථ වී යයි. ඉන් සිදුවන අනර්ථයන් බොහෝය. එහිදී ප්‍රධාන කාරණාවක් වශයෙන් මෙහිදී මට පෙනී ගියේ මෙම දුර්වලතා ප්‍රයෝජනයට ගන්නා බන්ධනාගාරයේ හෙරොයින් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් රඳවා සිටින සමහර රැඳවුවන් සහ සිරකරුවන් ඒවායේ නිලධාරින් සිය ග්‍රහණයට ගන්නා බවයි. පනින රිළවුන්ට ඉණිමං බඳින්නට එපා.. යැයි මා මෙහි ආරම්භයේදීම සඳහන් කළේ එබැවිනි.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින සමහර රැඳවුවන්ගේ කාමරවල පිංතූර ජනමාධ්‍ය මගින් පසුගිය දිනවල අනාවරණය කර තිබිණි. එම කාමර සිරමැදිරිවලට වඩා සමීපකමක් දැක්වූයේ සුවපහසුව දනවන නිවාසවල නිදන කාමර ගණයටය.

මීගමුව බන්ධනාගාරය අද පමණක් නොව එදත් එක්තරා ආකාරය සුරපුරයකි. නමුත් අදත් එම තත්ත්වයේ වෙනසක් නැත. කෙසේ වෙතත් මෙම සුරපුරයේ වාසය කරන්නෝ එදාට වඩා අද පොහොසතුන් බව පෙනේ. අද මීගමුව බන්ධනාගාරය තුළ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් පාව්චිචි කිරීම සඳහා මාසයකට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවිය යුතුය.

රට පුරා පිහිටි බන්ධනාගාරයන් හී පවතින තත්ත්වය බුද්ධි අංශ විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු අංශ වෙත නොකඩවා වාර්තා කරනු ලැබේ. එපමණක්ද නොවේ. බන්ධනාගාර අධිකාරිවරුන් හා ප්‍රධාන ජේලර්වරුන් මාර්ගයෙන් ද සිය බන්ධනාගාරවල පවතින තත්ත්වයන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම සිදුවේ. එවැනි තත්ත්වයක් යටතේ කොළඹට නුදුරින් පිහිටි බන්ධනාගාරයක එක්තරා උසස් නිලධාරියකුගේ මාසික ආදායම රුපියල් කෝටියකි. එසේ සිදුවන්නේ කෙසේද? බන්ධනාගාරගත කුඩු හා වෙනත් අපරාධකරුවන් සමග සම්බන්ධකම් පවත්වන අතළොස්සක් වූ බන්ධනාගාර උසස් නිලධාරින්ගේ බැංකු වත්කම් ඇත්තේ ඔවුන්ගේ නම්වලින් නොවේ. ඥාතීන්ගේ නම්වලින්ය. බන්ධනාගාර රැඳවුවන් හා අතළොස්සක් වූ දූෂිත බන්ධනාගාර නිලධාරින් අතරේ සිදුවන මෙම කූට ජාවාරම් මර්දනයට සක්‍රිය වැඩපිළිවෙළක් නොයොදා රටේ ජාතික ධනය රුපියල් කෝටි ගණනින් රැඳවුවන්ගේ අභිවෘද්ධිය උදෙසා වැය කිරීම නිෂ්ප්‍රයෝජන බව කාට වුවත් වැටහේ.

ඉතා කාර්යක්ෂම හා දක්ෂ, අවංක බන්ධනාගාර නිලධාරින් රැසක් සේවය කරන මෙම දෙපාර්තමේන්තුව අද අන්ත දූෂිත නිලධාරින් අතළොස්සකගේ ග්‍රහණයට නතු වී හොර ගුහාවක් බවට පත් වී තිබේ. බන්ධනාගාරයක් තුළට නිලධාරියකු විසින් පන්නන ග්‍රෑම් 20 හෙරොයින් පැකට්ටුවක් අලෙවි කොට ජාවාරම්කාර රැඳවියා විසින් රුපියල් ලක්ෂ 8ක මුදලක් උපයන ආකාරය මම පසුගිය සතියේ ලිපියෙන් ඉදිරිපත් කළෙමි.

දුම්කොළ පහළොවක් බන්ධනාගාරය තුළට රැගෙන යාමට වර්තමානයේ රුපියල් පන්දහසක මුදලක් අදාළ නිලධාරියා විසින් අය කරනු ලැබේ. එවැනි එක් දුම්කොළයක් බන්ධනාගාරය තුළ අලෙවි වන්නේ රුපියල් දසදහසකට යැයි කියති. දුම්කොළය වේළා කුඩු බවට පත්කර ගැනීමෙන් පසු කොකාකෝලා ප්ලාස්ටික් මූඩියක ප්‍රමාණයක් බන්ධනාගාරය තුළ අලෙවි වන්නේ රුපියල් දහසකට ය. ඒ නැතිබැරි රැඳවුන්ටය. දුම්කොළයකින් එවැනි ප්‍රමාණයේ දුම්කොළ මූඩි 20ක් සකසන අතර එහි මුළු වටිනාකම රුපියල් විසිදහසකි. මේ අනුව බලන විට පිටත සිට රැකියාවක යෙදී මාසිකව උපයන මුදල එක දවසක දී බන්ධනාගාරයේ දී ඉපැයීමට පිළිවන් යැයි ඇතමුන් උපකල්පනය කිරීමට පිළිවන. එවැනි තත්ත්වයක් බන්ධනාගාරයක් තුළ තහවුරු කර ගැනීමට නම් අඩුම තරමේ අවුරුදු දහයක්වත් සිරගත ජීවිතයක අත්දැකීම් ලැබිය යුතුව ඇත.

බන්ධනාගාර නිලධාරින් විශාල පිරිසක් අවංකව හා කාර්යක්ෂම ආකාරයට විවිධ අපහසුතා මධ්‍යයේ රාජකාරියේ නිරතව සිටිය දී අතළොස්සක් දෙනා ජාවාරම්කාර රැඳවුවන්ගේ ඉත්තන් වී කෝටි ගණනින් මුදල් ඉපැයීම අද බොහෝ නිලධාරින්ගේ සිත් වේදනාවට හා වෘත්තීය කලකිරීමට හේතුවක් බවට පත් වී තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ ඉකුත් මාර්තු 20 වැනිදා හටගත් කැරැල්ල සම්බන්ධයෙන් අනුරාධපුරයේ කොට්ඨාස රාජ්‍ය බුද්ධි සේවය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවෙන් හා එම බන්ධනාගාර අධිකාරිය විසින් බන්ධනාගාර මූලස්ථානය වෙත සපයා ඇති වාර්තා අනුව මෙම තොරතුරු අනාවරණය වේ.

2011 ජනවාරි මස 24 වැනිදා මෙම බන්ධනාගාරයේම වූ කැරැල්ල හා සමානව මෙම කැරැල්ල සංවිධානය වී තිබීම මෙහි විශේෂත්වයයි. 2011 දී වූ කැරැල්ලේ දී සිරකරුවෝ එහි පුස්තකාලය, වෘත්තීය අංශය හා ප්‍රධාන මුළුතැන්ගේ ගිනි තබා නිලධාරින් පස් දෙනෙකු පමණ ප්‍රාණ ඇපයට ගත්හ. මෙහිදී වූ වෙඩි ප්‍රහාරවලින් රැඳවුවන් තිදෙනෙක් මරුමුවට පත් වී තවත් පිරිසක් තුවාල ලැබූහ.

මෙවර කැරැල්ල ආරම්භ කළ අවස්ථාවේ සිරකරුවන්ගේ අවධානය අංශ පහක් වෙත යොමු වී තිබූ බව විමර්ශනවල දී හෙළි වී තිබේ. ඒ අනුව ඔවුන්ගේ පළමු සැලැස්ම වී ඇත්තේ බන්ධනාගාර රෝහලේ බෙහෙත් ගබඩාව බිඳීමය.

සිද්ධිය වූ මාර්තු 21දා වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා ආරක්ෂාව දැඩිකොට තිබිණ. ඒ හේතුව මත අනුරාධපුර බන්ධනාගාරය තුළට හෙරොයින් සැපයීම මුළුමනින්ම ඇනහිටියේය. අනුරාධපුරයෙන් 21 වැනිදා දහවලේ කොරෝනා රෝගීන් යැයි සැක කරන හතර දෙනෙක් සොයා ගැනීමත් සමග හෙරොයින් ජාවාරම්කාර සිරකරුවෝ මෙම කැරැල්ල ආරම්භ කිරීමට එම තත්ත්වය අවස්ථාවක් කර ගත්හ. ඒ කොරෝනා නිසා බන්ධනාගාරය අනාරක්ෂිත බැවින් මහෙස්ත්‍රාත්වරයකු බන්ධනාගාරයට කැඳවා සියලු රැඳවුවන්ට නිවෙස් කරා යාමට අවස්ථාව සලසා දෙන ලෙසට බල කරමිනි. එය ඉටු නොවූ මොහොතේ කැරැල්ල ආරම්භ විය.

කැරැල්ල සාර්ථක කර ගන්නට නම් ඊට සහය දෙන රැඳවුවන්ට මුලින්ම හෙරොයින් දිය යුතු බව ජාවාරම්කාර රැඳවුවන් තීරණය කර තිබිණ. එහෙත් බන්ධනාගාරය තුළ හෙරොයින් නැත. එබැවින් ඔවුන්ගේ ඉලක්කය වූයේ බන්ධනාගාර රෝහල බිඳීමයි. රෝහල බිඳ එහි තිබෙන මාත්‍රාව ඉතා අධික ඖෂධ වර්ග කොල්ලකා රැඳවුවන්ගේ අතට ඒවා පත් කිරීම ඔවුන්ගේ අරමුණ විය.

කුඩු නැතිව මානසිකව හා ශාරීරිකව අබලන් වී සිටි මොවුන් අතට එම පෙති ලැබුණි නම් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම පහසු කාර්යයක් නොවනු ඇත. මන්ද මෙම පෙති ගිලීමෙන් අනතුරුව මොවුන්ගේ මානසික තත්ත්වය මුළුමනින්ම විකෘති වී යන්නේය. අතපය වෙන් වී ගියත් එහි වේදනාවක් නොදැනේ. වෙඩි කාගෙන වුවත් ඉදිරියට පැමිණේ. නොකා නොබී වතුර පානය කරමින් දවස් තුනක් වුවත් බන්ධනාගාර අධිකාරියට එරෙහිව සටන් කරන්නට හැකිය.

මේ බව වහා වටහා ගත් බන්ධනාගාරයේ උසස් නිලධාරින් වහාම රෝහල සතුව තිබූ එම බෙහෙත් පෙති තොගය නිලධාරින්ගේ බැරැක්ක වෙත කඩිනමින් ප්‍රවාහනය කරනු ලැබීය.

සිරකරුවන්ගේ ඊළඟ ඉලක්කය වූයේ තමන්ගේ උසාවි ලේඛන අඩංගු ලියාපදිංචි අංශය ගිනි තැබීමයි. නිලධාරිහු වහා ක්‍රියාත්මක වූහ. සිරකරුවන්ගේ සියලුම ලේඛන එම ස්ථානයෙන් ඉවත් කොට ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගියහ.

අනුරාධපුර බන්ධනාගාරයේ කාන්තා අංශය වෙන් වී ඇත්තේ තනි තාප්පයකිනි. කැරැල්ල උත්සන්න වී සිරකරුවන් මෙම තාප්පයෙන් කාන්තා අංශයට පැන ගතහොත් සිරගත කතුන් කෙළසන බව නිසැකය. එය ඉතා බිහිසුණු අවස්ථාවක් වනු ඇත. එබැවින් වහාම බස් රථ ගෙන්වා එම කාන්තාවන් ආරක්ෂා සහිතව අනුරාධපුර පොලිස් මූලස්ථානය වෙත යැවිනි.

සිරකරුවන් අතට ගිනිඅවි පත්වීම වැළැක්වීමේ අරමුණ ඇතිව වහාම ටී.56, ටී58 සහ රිපීටර් තුවක්කු සියල්ලම නිලධාරින් වෙත නිකුත් කෙරිණ.

කිසිම නිලධාරියෙක්ට සාම සාකච්ඡා පැවැත්වීම සඳහා සිරකරුවන් වෙත යාම තහනම් කෙරිණ. මන්ද එවැනි සාකච්ඡාවකට ගියහොත් 2011 වසරේ කැරැල්ලේ දී මෙන් නිලධාරින් සිරකරුවන්ගේ ප්‍රාණ ඇපයට පත්වීම නිසැක බැවිනි.

මේ ආකාරයට බන්ධනාගාරයේ අත්‍යාවශ්‍ය අංශයන් හී ආරක්ෂාව තහවුරු කෙරුණ ද සිරකරුවන් පැනයාම පාලනය කිරීමේ දී හටගත් අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් රැඳවුවන් තිදෙනකුගේ ජීවිත අහිමි වී කීප දෙනෙක් තුවාල ලැබූහ.

බන්ධනාගාරයේ ආරක්ෂාවට අනුරාධපුයේ ස්ථානගතව සිටින හමුදා බළඇණි කැඳවීය. එහි උසස් නිලධාරියකු සඳහන් කළේ සිරකරුවන් දහසක් පමණ රඳවා සිටින මෙම බන්ධනාගාරයට අඩුම තරමේ ආයුධ සන්නද්ධ නිලධාරින් හතළිහක් සමග තවත් නිලධාරින් සියයකගේ පමණ සේවය අත්‍යාවශ්‍ය බවයි. නමුත් කැරැල්ල හටගත් දින සවස රාජකාරියේ යෙදී සිට ඇත්තේ නිලධාරින් 40ක් පමණී.

ඒ බන්ධනාගාර නියාමකවරුන්ගේ අධික හිඟයක් සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ පවතින බැවින්ය. ඇතැම් නිලධාරින් උදෑසන 8ට සේවය සඳහා වර්තා කොට එය යළි අවසන් කරනු ලබන්නේ පසුදා දහවල් කාලයේ යැයි දැන ගන්නට ලැබිණ. මේ පිළිබඳ කළ සොයා බැලීමක දී මාහට දැන ගන්නට ලැබුණේ 2015න් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියාමකවරුන් බඳවා ගෙන නැති බවකි.

මෙවැනි තත්ත්වයක් යටතේ සේවය කරන බන්ධනාගාර නිලධාරින් බහුතරයකට සිදුවී ඇත්තේ සිරකරුවන් සිරෙන් පනීදැයි සොයමින් ඒ ගැන විපරමින් සිටීම පමණී. අතළොස්සක් වූ අනෙකුත් නිලධාරිහු ලැබී තිබෙන මෙම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගනිති. හෙරොයින් හා තවත් තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුළට යවා කෝටිපතියන් බවට පත්වෙති. ඉතා මෑතක දී බන්ධනාගාර බස්රියක් රැඳවුවන් කීප දෙනකු ද රැගෙන මහනුවර දුම්බර සිරගෙදර බලා ධාවනය වන්නට විය. මගදී එක් රැඳවුවෙක් විලාප තබන්නට පටන් ගත්තේය. නිලධාරින් වහා ඔහු විමසුවේය. ඔහු පැවසුවේ නිලධාරින්ගේ ඇස් නළලට යවන ආකාරයේ කතාවකි.

අනේ සර්.. මම ෆෝන් තුනක් හංග ගත්තා...එකක් වයිබ්‍රේට් වෙනවා..

බන්ධනාගාරයේ එක්තරා නිලධාරියකු විසින් මෙම සිරකරුවාට එකක් රුපියල් 2500ක් පමණ වටිනා ජංගම දුරකතන තුනක් සපයා ඇත්තේ ඒවා දුම්බර සිරගෙදර සිරකරුවෙක් අතට පත් කරන ලෙස පවසමිනි. සිරකරුවා මෙම ජංගම දුරකතන තුන සඟවා ගත්තේ සිය ගුද මාර්ගයේයය. ඉන් එක් ෆෝනයක ස්විචය නිවා දමන්නට බන්ධනාගාර නිලධාරියාට අමතක වී තිබේ. අතරමගදී මෙම ජංගම දුරකථනයට ඇමතුමක් ලැබීම හේතුවෙන් වයිබ්‍රේට් වීම හේතුවෙන් සිරකරුවාට වේදනාව දැනී තිබිණි.. සිරකරුවා බෙරිහන් දෙන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.

වහාම ඔහු මහනුවර රෝහලට ඇතුළත් කෙරුණ අතර වෛද්‍යවරුන් කීප දෙනෙක් ඔහුගේ ගුද මාර්ගයට අඬු දමා මහත් පරිශ්‍රමයකින් ජංගම දුරකථන තුනක් එළියට ගනු ලැබිණ. මෙම ජංගම දුරකතන තුනී පොලිතින්වල ඔතා දෙවනුවට කාබන් කඩදාසිවලද ඔතා තිබෙනු දකින්නට ලැබිණ. කාබන් කඩදාසිවල ඔතනු ලබන්නේ බන්ධනාගාරයේ නිලධාරින් අත තිබෙන මැග්නට්උපකරණයෙන් බේරී යාම සඳහාය. කාබන් කඩදාසිවල ඔතා ගුද මාර්ගයේ සඟවා ගෙන යන උපකරණ බන්ධනාගාර දොරටුවේ දී මැග්නට් උපකරණයට අසු නොවන බව සිරකරුවෝ දනිති. රුපියල් 2500ක් පමණ වන මෙවැනි ජංගම දුරකතනයක් බන්ධනාගාරයක් තුළට පන්නා ගතහොත් එය රුපියල් ලක්ෂයකට අලෙවි කළ හැකි වාතාවරණයක් අද පවතී.

මෙබඳු සිරකරුවන් හඳුන්වන්නේ බංකර් යන අන්වර්ථ නාමයෙනි. ගංජා කිලෝවක්, හෙරොයින් ග්‍රෑම් 40ක්, දුම්කොළ 12ක් කිසිම අපහසුවකින් තොරව බංකරයේ සඟවා බන්ධනාගාරය තුළට කිසිම බාධාවකින් තොරව ප්‍රවාහනය කළ හැක්කේ ඒ කිසිවක් මැග්නට්උපකරණට අසු නොවන බැවිනි. මේ බව ප්‍රත්‍යක්ෂයෙන් දන්නා බන්ධනාගාර නිලධාරින් සිරගෙදරින් පිටත සේවයේ යොදවනු ලබන බංකර්සිරකරුවන් හරහා අවශ්‍ය භාණ්ඩ සිරගේ තුළට ප්‍රවාහනය කරනු ලැබේ.

අනුර හොරේෂස් බ්‍රිස්බෙන් සිට

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com