www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොරෝනා මිනී කන සහල් ජාවාරම්කාර කාක්කෝ


2020-04-23 07:53:19 -  663 යි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය අඟහරුවාදා කහ කුඩු කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

​මේ සඳහා හේතු වී තිබුණේ කහ කුඩු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් තුන්දහසත්, හාරදාහසත් දක්වා ඉහළ ගොස් තිබීමය. පාරිභෝගික අධිකාරියේ ගැසට් නිවේදනයට අනුව දැන් කහ කුඩු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් හත්සිය පනහක් විය යුතුය. එ​සේ වුවත් මෙම ගැසට් නිවේදනයට අත්සන් කළ නිලධාරියාට හෝ විවෘත වෙළෙඳපොළෙන් රුපියල් හත්සිය පනහකට කහ කුඩු කිලෝග්‍රෑම් එකක් මිලදී ගත හැකි වනු ඇතැයි සැක සහිතය.

මේ ආකාරයට සැමන් හා පරිප්පු සඳහාද උපරිම මිලක් නියම වී තිබිණි. එහි සඳහන් මිලට සැමන් හා පරිප්පු අලෙවි වූයේ නම් ඒ එම ගැසට් පත්‍රයේ පමණක් විය යුතුය. අවසානයේ සිදුවූයේ එම ගැසට් නිවේදනය අවලංගු කිරීමය.

මෙම ගැසට් නිවේදනය අහෝසි කළ ආකාරයට සහල් පාලන මිල සඳහා පනවා ඇති ගැසට් නිවේදනයද අහෝසි කළ යුතු කාලය එළැඹ ඇති බවක් පෙනෙන්නට තිබේ. පාරිභෝගික අධිකාරියේ මිල නියමයන්ට අනුව රතු හා සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් අසූපහක් විය යුතුය. සම්බා හා නාඩු මිල රුපියල් අනූවකි. කීරි සම්බා නම් කිලෝ ග්‍රෑම් එකක් අලෙවි කළ යුත්තේ රුපියල් එකසිය විසිපහකටය. සහල් සඳහා මෙවැනි උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව ඒ තීරණය ගත් නිලධාරින්ටවත් මතක දැයි දන්නේ නැත.

සහල් සම්බන්ධයෙන් මේ දිනවල ඇති ප්‍රශ්නය වන්නේ පාලන මිලට නොව වැඩි මිලට හෝ මිලදී ගන්නට වෙළෙඳපොළේ සහල් නොමැතිකමය. නමුත් මේ හිඟය ඉබේ ඇති වූවක් නොව කෘත්‍රිමව ඇතිකරන ලද්දකි.

සහල් වැඩි මිලට අලෙවි කිරීමට සිදුව ඇත්තේ මෙම කෘත්‍රිම සහල් හිඟය ඇති කර තිබෙන්නෙත් රටේ සහල් ඒකාධිකාරිය දරන මහ පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කිහිපදෙනා විසිනි. ඇත්තෙන්ම ව්‍යාපාරිකයන් යැයි මේ අය හැඳින්වීම යහපත් ව්‍යාපාරිකයන්ට කරන අපහාසයකි. මේ අය හැඳින්වීමට වඩා සුදුසු වන්නේ මියගිය සතුන්ගේ මස් වුවත් ආහාරයට ගන්නා මිනී කාක්කන් යන නාමයයි.

මේ මිනී කාක්කන්ගේ සහල් ඒකාධිකාරය පවතින්නේ කලක සිටය. මෙතෙක් සිටි කිසිම වෙළෙඳ අමාත්‍යවරයකුට හෝ ආණ්ඩුවකට එම ඒකාධිකාරය බිඳින්න හැකි වූයේ නැත. ඇතැම් විටෙක අවශ්‍ය නොවන්නටද ඇත. රටත්, ජනතාවත් මේ තරම් කනගාටුදායක තත්ත්වයකට පත්ව සිටියදීත් මේ අය කල්පනා කරන්නේ තමන්ගේ ගිණුම් ශේෂය රුපියලකින් හෝ වැඩි කර ගන්නා ආකාරය ගැන පමණකි. මියගිය සතුන්ගේ කුණු වූ මස් කන කාක්කන්ට එහි ගඳක් සුවඳක් තේරෙන්නේ නැත. එසේම මේ අයටද ජනතාවගේ දුක වේදනාව හෝ රට පත්ව තිබෙන අසීරු තත්ත්වය ඇසෙන්නේ හෝ පෙනෙන්නේ නැත. දේශපාලකයකු බවට පත්ව සිටින මෙවැනි ව්‍යාපාරිකයකු පසුගිය දිනෙක ජනතාවට සහන සැලසීම ගැන පැවැති රජයේ සාකච්ඡාවකදීද සහල් ව්‍යාපාරයෙන් පාඩු විඳින්නට සිදුව ඇතැයි නාහෙන් අඬනු දුටුවෙමු.

කොරෝනා වසංගතය නිසා රටේම සැපයුම් අඩපණ වී වෙළෙඳසල් වසා දමා තිබියදීත් මේ අය තමන් සතු සහල් තොග මුදාහැරියේ සිල්ලර මිලට රුපියලක් හෝ දෙකක් අඩු මිලකටය. සිල්ලර වෙළෙඳුන්ට පාලන මිල ඉක්ම වූ මිලකට සහල් අලෙවි කිරීමට සිදුවූයේ මේ නිසාය.

එහෙත් දැන් එවැනි වැඩි මිලකට හෝ සහල් මිලදී ගැනීමට සිල්ලර වෙළෙඳුන්ට අපහසු වී තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන් මිලදී ගන්නට යන සහල් තොගයට සමාන කීරි සම්බා සහල් තොගයක්ද මිලදී ගත යුතු බවට කොන්දේසියක් පනවා තිබීමය. කීරි සම්බා යනු මිල වැඩි සහල් වර්ගයක් වන නිසා ඊට වැඩි අලෙවියක් නැත. නමුත් මේ සහල් වර්ගයද අනිවාර්යයෙන් මිලදී ගත යුතු බවට කොන්දේසි පැනවීම නිසා සිල්ලර වෙළෙඳුන්ට සිදුව ඇත්තේ අනෙකුත් සහල් වර්ගද මිලදී නොගෙන සිටීමටය. මෙහි අවසන් ප්‍රතිඵලය වෙළෙඳ පොළේ සහල් හිඟයකි.

මේ අනුව මේ ආණ්ඩුවටද සහල් වෙළෙඳාම සම්බන්ධයෙන් ගත් කළ සිදුව ඇත්තේ වත්ත බද්දට දී ඇස්සට දත නියවීමටය. වී ගොවියාට පොහොර සහනාධාරයද, වගා ණයද අස්වැන්නට සහතික මිලක්ද නියම කළ යුතුව ඇත්තේ ආණ්ඩුව විසිනි. එහෙත් අස්වැන්න මිලදී ගන්නේද ඒවාට මිල නියම කරන්නේද කොපමණ තොග වෙළෙඳපොළට මුදාහරින්නේද යන මේ සියල්ල තීරණය කරන්නේ පෞද්ගලික අංශය විසිනි. පෞද්ගලික අංශයක් යැයි කීවාට ඇත්තෙන්ම මුදලාලිලා හතර පස්දෙනෙකු විසිනි.

1977න් පසු ක්‍රියාත්මක විවෘත ආර්ථිකයේ අනුහසින් වසා දැමුණු වී අලෙවි මණ්ඩලය දැන් යළි ක්‍රියත්මක නමුත් ඒ නමට පමණය. සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව​ හෙවත් සතොස ද වී මිලදී ගන්නා නමුත් පෞද්ගලික මුදලාලිලා සමග අලගු තබන්නටවත් සතොසට නොහැකිය.

කෙසේ වුවත් අවශ්‍ය නම් ජනතාවගේ රීරිමාංශ උරා බොන සහල් මුදලාලිලාගේ මිනී කන වෙළෙඳාම නතර කිරීමට හැකියාව තිබේ. වී අලෙවි මණ්ඩලය සතුව තිබූ සහල් මෝල් හා ගබඩා ඇඟලුම් කම්හල් සඳහා විකුණා දැමුවත් අදටත් ප්‍රයෝජනයට ගත හැකි ගබඩා හා සහල් මෝල් රාජ්‍ය අංශය සතුය. සතොස හා සමුපකාර දෙපාර්තමේන්තුව සතු එවැනි සම්පත් ඇතත් ප්‍රශ්නය වන්නේ ඒවා යළි පණ ගසා ගන්නට අවශ්‍යතාව ඇති අයෙකු නොමැති වීමය. රට මෙතරම් අසීරු තත්ත්වයකට මුහුණ පා සිටියදීත් ව්‍යාපාරිකයන්ගේ වේශයෙන් පෙනී සිටින මිනී කාක්කන්ගේ ග්‍රහණයෙන් ජනතාව මුදාගැනීමට ආණ්ඩුවට නොහැකිව ඇත්තේ ඒ නිසාය.

සහල් මාෆියාවේ බලය එක රැයින් බිඳින්නට නොහැකි නමුත් ඊට පළමු පියවර තබන්නට මේ තරම් සුදුසු වේලාවක් නොමැති බව සිතමු. දැනටමත් වී අලෙවි මණ්ඩලය වෙනුවෙන් යුද හමුදාව වී මිලදී ගැනීම අරඹා තිබේ. එම ක්‍රියාදාමය ඉදිරියටත් එසේම ක්‍රියාත්මක වනු දැකීම බොහෝ දෙනාගේ ප්‍රාර්ථනාවය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com