www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොරෝනා ආසාදිතයන් සොයා කළ බුද්ධි මෙහෙයුම


2020-03-24 13:34:22 -  978 යි

ලොව පුරා කො​රෝනා වෛරසය ආසාදිත වූ පිරිස ලක්ෂ තුන ඉක්මවා යන්නේ දරුණු වසංගතයක් ලෙසිනි.

ලොව රටවල් එකසිය අසූ අටක් (188) දක්වා පැතිර ගිය මෙකී දරුණු වසංගතයේ ආදීනව ලොවට කියාපාන්නේ සමස්ත මරණ සංඛ්‍යාව හාරදහස් අටසිය විසිපහ දක්වා ඉහළ නංවමින්ය. කොරෝනා වසංගතය ව්‍යාප්ත වූ රටවල් අතරින් රටවල් අසූවකින් මෙය වාර්තා විය.

මෙවන් වාතාවරණයක් ඇතිවෙද්දී ශ්‍රී ලංකා රජය නිරෝධායන ක්‍රියාවලිය සාර්ථක ඉසව්වකට ගෙනයමින් ලොවටම ආදර්ශයක් දෙන්නට යන්නේ ලොවම බීතියට පත්ව තිබියදීය.

ඉකුත් සිකුරාදා (20) සිට රටපුරා ඇඳිරි නීතිය යෙදවීමට ජනාධිපතිවරයා නියෝග කරන්නේද ත්‍රිවිධ හමුදාව අවධානම නොතකා රෝගය පාලනයට කටයුතු කරද්දී, වගකීමක් නොමැතිව ක්‍රියා කළ පිරිස් නිසාය.

මේ වනවිට කොරෝනා ශරීරගත වූ රෝගීන් ගණන අසූව ඉක්මවා ඉහළ ගොසින්ය. ඉන් දෙදනකුගේම තත්ත්වය බරපතළය. වාසනාවකට මෙන් මෙම ලිපිය ලියන මොහොත වනවිටත් ශ්‍රී ලංකාවෙන් එක් මරණයක්වත් වාර්තා වන්නට නොදී තබාගන්නට හැකිවන්නේ සියලු දෙනාගේම දැඩි කැපවීම නිසාය.

රට තුළ මෙතරම් හෝ රෝගී තත්ත්වයක් වාර්තා වන්නේ මාර්තු 01දා සිට 15 දක්වා නිරෝධායන ක්‍රියාවලියට ලක් නොවී මෙරටට පැමිණ රටම අගාධයට දැමූ පිරිසක් නිසාවෙනි. රජය නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කළේ මාර්තු 15දා සිටය. එදා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඉතාලියෙන්, දකුණු කොරියාවෙන් ආ පිරිස් ගුවන් තොටේ යකා නැටුවේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාමට විරෝධය පළ කරමිනි. ඉන් කිහිප දෙනකුම ඉතාලියේදීම කොරෝනා රෝග ලක්ෂණ මතුවී මෙරටට එද්දී ගුවන් යානයේදී පවා උණට බෙහෙත් බී පැමිණි අය බවට තහවුරු වන්නේ රටම අගාධයට දැමූ පසුවය.

තම ජීවිත, දරු පවුල් ගැනවත් නොසිතා රට තුළට රෝගය ව්‍යාප්ත වීමට ඉඩ නොදෙන්නට බර කරට ගත් යුද හමුදාවේ විශේෂ බළකා මේජර්වරයකුවත් කොරෝනා වෛරසයට බිලි කළේ ඉතාලියෙන් ආ මෙම පිරිසය. අවසානයේ යුද හමුදා මේජර්වරයා සිටි මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය පවා නිරෝධායන ක්‍රියාවලියට නතු කළේ සමස්ත මෙහෙයුම් සිදුවන තැනක් සුළු පිරිසකගේ හැසිරීමක් නිසා අනතුරට පත්වෙද්දීය.

මෙරටින් පළමු කොරෝනා රෝගියා ලෙසින් චීන කතක් හමුවීමත් සමග එය පැතිර යාම වැළැක්වීමට ජනපතිවරයා භාරදූර කාර්යයක් පවරා දී තිබුණේ බ්‍රිගේඩියර් සුරේෂ් සලෛයි යටතේ වූ රාජ්‍ය බුද්ධි සේවාව (SIS) වෙතය.

සෞඛ්‍ය බලධාරීන් හා යුද හමුදාව ඉදිරි සෞඛ්‍ය කටයුතු සඳහා මෙහෙයුමක් අරඹද්දී රාජ්‍ය බුද්ධි සේවාව රටට අභියෝගයක් වූ කොරෝනා වෛරසයට එරෙහි බුද්ධි ක්‍රියාන්විතයක් ඇරඹූහ.

ඔවුන් ක්‍රියාත්මක වූයේ රෝගය ආසාදනය වූ අය ආගිය තැන්, ඇසුරු කළ පුද්ගලයන් හා රෝගීන්ගේ වගතුග සොයා ගනිමින්ය.

චීන කාන්තාව වාර්තා වීමත් සමග ඇය සමග සම්බන්ධ වූ හමුවූ හැත්තෑ දෙදෙනකු සොයාගෙන ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීම නිසා පළමු රෝගියාගෙන් ව්‍යාප්තිය නතර කර ගැනීමට හැකිවිය.

ඉන්පසුව පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වූයේ ඉතාලියේ සිට පැමිණි ඉතාලි සංචාරකයන්ට මගපෙන්වන්නට ගිය නිසාය. ඔහු සමග සෘජුවම සම්බන්ධ වූ පනස් හය දෙනකුව බුද්ධි මෙහෙයුමෙන් සොයා ගනිද්දී රටේම පාසල්වලට නිවාඩු දෙන්නට පවා රජය තීරණය කරන්නේය. සංචාරක මගපෙන්වන්නා සමග ගිය තවත් අයකුට රෝගය වැලඳීමත් සමග තුන්වැන්නාත් වාර්තා විය.

ඔහු සමග කටයුතු කළ දාහත් දෙනකුව බුද්ධි අංශ සොයාගත්තේ මීළඟ බුද්ධි මෙහෙයුමෙනි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරිනියකගේ සැමියා වූ ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයකු රටට රෝගය පතුරුවන්නට හදද්දී සොයාගත්තේ බුද්ධි අංශ කළ මෙහෙයුමකිනි. රෝහල්වලටත් බොරු කරමින් හතරවටේ ගිය මැණික් ව්‍යාපාරිකයා මෙරටින් හමුවූ හතරවැන්නා විය. ඔහුගෙන් ආසාදිත වූ මීළඟ පුද්ගලයා වාර්තා වන්නේ දොළොස්වැන්නා ලෙසය.

මේ අතරේ ඉතාලියේ සිට මෙරටට පැමිණ කටුනායක ගුවන් තොටුපොළේදී යකා නැටූ මෙන්ම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් පහසුකම් ඉල්ලා යකා නැටූ පිරිස්වල ඉහමොළ රත්වන්නේ ඔවුන් සමග සිටි පිරිසෙන්ම ලංකාවේදී පස්වැනි, හයවැනි, හත්වැනි රෝගීන් හමුවද්දීය.

නිරෝධායන ක්‍රියාවලියට කට්ටි පැන පුත්තලම, හලාවත ප්‍රදේශවලට ගොස් නිදැල්ලේ හැසිරුණු ඉතාලියෙන් පැමිණි මීළඟ රෝග වාහකයා අටවැන්නා ලෙස වාර්තා වෙද්දී ඔහු දහතුන් දෙනකු සමග සිටි බව බුද්ධි අංශ සොයාගත්හ. මෙරටින් වාර්තා වූ දහවැනි රෝගියාත් එවැනිම ඉතාලියේ සිට පැමිණ සෙනග අතරේ ගැවසුණු අයෙකි. ඔහු සමග සිටි දොළොස් දෙනකු සොයා ස්වයං නිරෝධායනයට ලක්කරන්නේය. ඉතාලි සංචාරක මගපෙන්වන්නා ඇසුරු කළ අයකු එකොළොස් වැනි රෝගියා ලෙස වාර්තා විය. මෙරටින් මීළඟ ආසාදිතයන් හත්දෙනාම වාර්තා වන්නේ කන්දකාඩු හා ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානවලදීය. ඒ හත්දෙනාම ඉතාලියේ සිට පැමිණියවුන්ය.

මේ අයුරින් දිනෙන් දින රෝගීන් වාර්තා වෙද්දී සිංගප්පූරුව හා ඉන්දියාව සිට පැමිණි විසිහත්වැනි රෝගියා හමුවීමත් සමග භයානක තත්ත්වයක් පෙන්නුම් කළේ ඔහු රෝගය තිබියදී 262 දෙනකු අතරේ සැරිසරා තිබූ නිසාය.

විසි අටවැනි රෝගියා ලෙස වාර්තා වූ‍යේ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානුවෙකි. ඔහු මෙරටදී ඇසුරු කළ දසදෙනකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණේය.

ඉතාලි සංචාරක මගපෙන්වන්නාගෙන් ව්‍යාප්ත වූ රෝගය යළි මතුවන්නේ මෙරටින් හමුවූ තිස්වැන්නාගෙන්ය. ඒ වනවිටත් ඔහු හැත්තෑ හයදෙනකු ඇසුරු කර තිබූ නිසා පවුල් පිටින් ස්වයං නිරෝධායනයට යොමු කළේය.

එංගලන්තයේ සිට පැමිණි අයකු තිස් හත්වැනි රෝගියා ලෙස සොයා ගනිද්දී ඔහු සමග සිටි 73ක් ස්වයං නිරෝධායනයට නිවෙස්වලදීම ලක් කෙරිණි.

හතළිස් වැනි රෝගියා වූයේ කටුනායක ගුවන් තොටුපොළේ වෛද්‍ය ඒකකයේ සේවකයෙකි. ඔහු වරකාපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුද විය. ඔහු ඒ වනවිටත් මළ ගෙවල් ඇතුළු හතරවටේ ගොස් පනහක පමණ පිරිසක් ඇසුරු කර ඇතැයි අනාවරණය විය. බුද්ධි අංශ එම පිරිස් සොයා ස්වයං නිරෝධායනයට ලක් කළහ. වරකාපොළ ව්‍යාපාරිකයන් මේ හේතුවෙන් වෙළෙඳසල් පවා වසා දැමූහ.

පනස් තුන්වැනි රෝගියා ඉතාලියේ සිට පැමිණ නිවෙස් තුළ සිටි අයකු වූ අතර, ඔහු සමග සිටි හැටදෙනකු ස්වයං නිරෝධායනයට ලක් කෙරුණේය.

ඉතාලි සංචාරක මගපෙන්වන්නා මාර්ගයෙන් රෝගය ව්‍යාප්ත වූ කණ්ඩායමෙහි මීළඟ රෝගියා හැට හයවැන්නා ලෙස වාර්තා විය. ඒ වනවිට ඔහු සමග සිටි 184 දෙනකු ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට ලක් කෙරුණේය.

ඉන්පසු ඉතාලියේ සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තිදෙනකු රෝගීන් ලෙස ව්‍යාප්ත විය. හැත්තෑ වැනි රෝගියා පාකිස්තානයේ සිට මෙරටට පැමිණි අයකු වූ අතර ඔහු සමග සිටි දහතුන් දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කෙරුණේය.

​මෙරටින් වාර්තා වූ පනස් තුන්වැනියාගේ සිට හැට වැනි රෝගියා දක්වා හත්දෙනාම ඉතාලියේ සිට පැමිණ නිවෙස්වල සිටි රජයේ නිරෝධායන උපදෙස් නොතැකූ අය වූ අතර, ඔවුන් සමග කටයුතු කළ 196 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණේය. මෙයින් බහුතරයක් නිවෙස්වලදී නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීම අසාර්ථක වූ නිසා පුත්තලම දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවීමට ඉකුත් බදාදා (18) සිටම සිදුවිය.

එම ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරද්දී පුත්තලම දිස්ත්‍රික්කයේ පිරිස් වෙනත් ප්‍රදේශ වෙත පැන යද්දී රටපුරාම ඇඳිරි නීතිය සිකුරාදා (20) සිට ක්‍රියාත්මක කරන්නට බලධාරීන් ක්‍රියාත්මක වූහ. රටවැසියන්ගේ නොසැලකිලිමත් ක්‍රියාදාමයන් නිසා රටටම රෝගය පැතිර යාමට වුව ඇතිවූ අවදානමෙන් මුදා ගැනීමට මෙම තීරණය ගැනීමට සිදුවිය.

මේ අතරේ ඉරිදා (22) සිට කිසිදු රටකින් රට තුළට ඇතුළු වීම නැවැත්වීය. අවසන් වරට පැමිණියේ ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ දඹදිව වන්දනාවේ ගිය පිරිස් පමණකි. එදින අලුයම 4.30ට අනූහත් දෙනකුත්, උදෑසන 8.30ට පනස් එක් දෙනකුත් රැගෙන ඒමත් සමග ගුවන්​ තොටුපොළෙන් කිසිවකුත් නොගැනීමට කටයුතු යෙදූ බව ගුවන් තොටුපොළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි අරුණ ට පැවසීය.

දැන් රට ඇතුළට කවුරුත් ගන්නේ නැහැ. ට්‍රාන්සිට් වෙන්න එන අය කටුනායකදීම ෆ්ලයිට්වලට මාරු වෙනවා. ලංකාවෙන් පිටව යන අයට ආරක්ෂිතව යන්න පහසුකම් සලසා දී තිබෙනවා යැයි මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සඳහන් කළේය. ස්විස්ටර්ලන්තයේ සිට පැමිණ උතුරේ දේව මෙහෙයක් පැවැත්වූ දේවගැතිවරයකු මෙරටින් ගිය පසු කොරෝනා වෛරසය ආසාදනය වූ බව හෙළිවීමත් සමග උතුරේදී ඔහු හමුවූ හා ඇසුරු කළ සියලු දෙනා සොයන බුද්ධි මෙහෙයුමක් යළිත් ක්‍රියාත්මක විය. දෙදහසක්වත් ඔහු හා සම්බන්ධ වූවන් අතරට ඇතුළු විය හැකි බව බුද්ධි අංශ අනතුරු හැඟවීය. මේ නිසා මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහකට ඇඳිරි නීතිය පනවා තමන්ට අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට යාමද තහනම් කරන්නට රජයට සිදුවිය.

​මෙම දේවගැතිවරයා සමග ඉකුත් 15 වැනි ඉරිදා උතුරේ පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මුල්ගල තැබූ කොන්ත්‍රාත්කරු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යාපනය රෝහලෙන් වාර්තා විය. එය උතුරෙන් වාර්තා වූ පළමු රෝගියාද විය.

යාපනයෙන් රෝහලට ඇතුළත් කළ කොන්ත්‍රාත්කරු රෝග ලක්ෂණ පෙන්වද්දීම දේවගැතිවරයාගේ ස්විස් රටේ බිරිඳ සම්බන්ධ කරගෙන වෛද්‍ය වාර්තා කැඳවීමට රජය පියවර ගත්තේය. ඔහුගේ බිරිඳ එවූ වෛද්‍ය වාර්තාවලින් වෙනත් රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ නිසා ස්වයං නිරෝධායනයට ලක් කළ පිරිස් පවා ඉන් ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

නමුදු කොන්ත්‍රාත්කරුට කොරෝනා නව වෛරසය ආසාදනය වී ඇති බවට සැලවීමත් සමග රාජ්‍ය බුද්ධි සේවාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් කරගෙන ස්විස් රජයෙන් කළ විමසීමකදී දේවගැතිවරයාට කොරෝනා ආසාදනය වූ බව හෙළිකර ගත්තේය. ඒ අනුව වහාම උතුරේ දේවගැතිවරයා හා සම්බන්ධ වූ පිරිස් ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට රජය වහා ක්‍රියාත්මක වන්නේ මෙය බැරෑරුම් තත්ත්වයකට පෙරළෙන්නට පෙරය. මාර්තු 10දා උදෑසන කටුනායකින් මෙරටට පැමිණි දේවගැතිවරයා අනුරාධපුරය, යාපනය ප්‍රදේශවල සැරිසරමින් මාර්තු 15දා පල්ලියේ දේව මෙහෙයක් පවත්වා මාර්තු 16දා අලුයම මෙරටින් පිටව ගොස් තිබිණි.

​මෙම සියලු කාරණා මධ්‍යයේ ත්‍රිවිධ හමුදාව තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ සියලු පහසුකම් සපයමින් මේ වනවිටත් 3458 දෙනකුව නිරෝධායනය කරමින් සිටිති. නිරෝධායන මධ්‍යස්ථාන හතළිස් පහකදී මෙම කටයුතු සිදුවන අතර, එයින් හතළිස් එකක්ම යුද හමුදාව පවත්වාගෙන යන්නේය. ගුවන් හමුදාව නිරෝධායන මධ්‍යස්ථාන තුනක්ද, නාවික හමුදාව තවත් නිරෝධායන මධ්‍යස්ථාන එකක්ද වශයෙන් මේවා පවත්වාගෙන යන්නේය.

මෙම මධ්‍යස්ථානවල ළමුන් 321ක්, කාන්තාවන් 1261ක් ඇතුළුව නිරෝධායනයට ලක් කරමින් ඇත. මෙරටට පැමිණි විදේශිකයන් තිස් එක්දෙනකුද මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් ඇත්තේය. ඉන්දියාවේ සිට පැමිණි දඹදිව වන්දනාවේ ගිය අටසිය තිහක් යාපනය, කටුකෙලියාව, බෝගොඩ, තන්තිරිමලේ, ඉරණමඩු, මුලතිව්, රන්ටැඹේ, පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් ඇත. හිමිවරුන් තිස්දෙනකු හා සිල්මෑණිවරුන් තිදෙනකු ද මේ අතර සිටියහ. ඉන්දියාවේ වන්දනාවේ ගොස් නිරෝධායනයට ලක්වන පිරිසෙන් 562ක්ම කාන්තාවන්ය.

ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන හතළිස් පහෙන් සාර්ථක නිරෝධායන ක්‍රියාවලියක් සිදුවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාවේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අරුණ ට පැවසිය.

අපේ කොරන්ටයින් ස්ටේෂන්වලින් ලෝකයටම ආදර්ශයක් දෙන්න පුළුවන්. මේවායේ වෛරසය ව්‍යාප්ත වීම බින්දුවක් වෙලා තියෙනවා. කොරෝනා වැලඳී ඇති බවට වාර්තා වූ සිද්ධීන් 31ක්ම වාර්තා වුණේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. එයින් 26ක්ම රෝහලට ඇතුළත් කරද්දීම දක්නට ලැබුණ ඒවා. කන්දකාඩු ගොඩනැගිලි විසිහයෙන් පහක විතරයි සිද්ධීන් වාර්තා වුණේ. ඒ ගොඩනැගිලි පහේම හිටියේ ඉතාලියේදීම හැදිලා ආපු අය පමණයි. අනිත් බ්ලොක් විසි එකේම රෝගියකු වාර්තා වුණේ නැහැ. පූනානි සෙන්ටර් එකෙන් වාර්තා වුණු දෙන්නත් එහේ ඉඳන්ම රෝගය හැදිලා ආපු දෙන්නෙක්. මෙහේදි රෝගය ව්‍යාප්ත වන්නට නොවී කටුනායකදීම මෙම කණ්ඩායම් හඳුනාගෙන නිසි නිරෝධායන ක්‍රියාවලියකට යොමුකළ නිසා ව්‍යාප්ත වීම පාලනය වුණා යැයි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

හමුදා නිලධාරීන්ට, සෙබළුන්ට අයත් නිල නිවාසවලින් පවා ඉවත්ව ගොස් නිරෝධායනය සඳහා පැමිණි අය වෙනුවෙන් එම ස්ථාන දෙන්නේ සියලු දෙනා රටවැසියන් සේ සිතන්නට එම විරුවන් කටයුතු කළ නිසාය. අඩුපාඩු කියමින් සමාජ මාධ්‍යවල රැඟූ ඉතාලියේ රටවිරුවෝ යැයි කියාගත් පිරිසක් හැරෙන්නට සියලු දෙනා අද රණවිරුවන්ගේ කැප කිරීම දේවත්වයෙන් සලකති.

තුන්වේලටම එළු මස්, කුකුළු මස්, තෝර මාළු ඇතුළු කෑමවේලකින්ද, අතුරුපසේ සිට සියලු පහසුකම් සපයන්නේත් තමන්ට වඩා රණවිරුවන් රටවැසියන්ගේ ආරක්ෂාව හා කුසගින්න ගැන සිතන නිසාය.

නිරෝධායන ක්‍රියාවලියෙන් අපි ලෝකයටම ආදර්ශයක් දුන්නා

- යුද හමුදාපති

යාපනයේ දේව පූජාවට පැමිණ ගිය ස්විස් දේවගැතිගේ බිරිඳ ලංකාවට හොර වෛද්‍ය වාර්තා එවලා

දේවගැතිට, කොරෝනා බව සොයාගත්තේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමකින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com