www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉරත් හඳත් තරුත් අතර දෙවියෝ දුන්නු විජයපත්‍ර


2020-03-03 10:47:29 -  729 යි

පෝය සඳ අහසේ පැත්තකින් ගන වනාන්තරයේ එපිට කන්දකට මුවාවෙලා තිබුණේ. නෙක නිශාචර පක්ෂීන්ගේ සියත් නාද අතරේ වනස්පතීන් නිදාගෙන හිටියේ. දවල් දවසේ සැඩ හිරු රැසින් පීඩිතව උණුසුම දරාගෙන කම්පිතව සිටි ගහකොළ නිසොල්මනේ මේ රාත්‍රියේ අපේ කතාවට කන්දෙනවා වගේ මට දැනුණේ. නොදන්නා ඉතිහාසයේ වසර දහස් ගණනකට ඉස්සර මේ වගේම හඳ භයානක විදිහට කන්දේ එල්ලිලා ඉන්න ඇති. වන ගොමු මේ වගේ රාත්‍රීන්වල සිල් ගන්න ඇති. වනන්තරේ ඇවිද යන ඇත් රජවරු කුංචනාද දෙමින් මේ වන මං දිගේ හක්කලන් කරන්න ඇති. එදත් අද වගේම ඉර හඳ තරු අතර ඉන්න දෙවියන් මැවූ තෛ්‍රලෝක්‍යවිජයපත්‍ර නම් වන මේ මහිමය රැකගන්න අනේක පීඩා විඳිමින් මේ ගොවි මහත්වරු රෑ නිදි වරන්න ඇති. ගිනි මැළ දැල්වෙන්න ඇති. ඒ අහලම වළඳක දඩ මස් පිසෙන්න ඇති. ඒ රාත්‍රියත් මේ වගේම වෙන්න ඇති... 

කොහොමද මෙහෙම කැලේ ඇතුළේ බිම හදාගන්නේ මාමා... 

ට්‍රැක්ටර් දාලා හාලා හදන්නේ නෑනේ. ගස් පිරුණු මණ්ඩියක් හොයාගෙන උඩ ඉඳලා බැලුවාම පේන්නේ නැති වෙන්න තැනින් තැනින් වළවල් කපනවා. උදලු තල දෙකයි යටට ගහන්නේ. පොඩි පොඩි වළවල්. කැලේ එළි කරන්නේ නෑ. තියෙන කැලේම එහෙමම තියෙන්න ඇරලා වටේ තියෙන රොඩු එකතු කරලා ඒවා තමයි වළට පෝර විදිහට දාන්නේ...

රසායනික පොහොර දාන්නේ නැතිද... 

දානවා. මඩ පෝර පොඩ්ඩක් එක්ක තමයි හිටවන්නේ... 

තවාන් දාන්නේ කොහේද... 

කැලේ තවාන් දාන වෙලාවලුත් තියෙනවා. අපි නම් ගෙදර තමයි තවාන් දාගන්නේ. කැලේ දැම්මාම කූඹි කනවා. උෟරෝ පෙරළනවා පස. එතකොට වැඩක් නෑ. ඒ නිසා ගෙදර වත්තේ කොහේ හරි තවාන හදාගෙන ඒක ගලවලා අරගෙන ගිහින් තමයි පැළ කරන්නේ... 

එතකොට ඔය උෟරෝ, කූඹි එහෙම කනවට මොනවත් කෙම් ක්‍රම එහෙම නැතිද... 

හුඟක් වෙලාවට කංසා වවන අය කරණ බලනවා. මොකද මේ ගහ දෙයියන්ගේ ගහක් විදිහටනේ සලකන්නේ.... 

මොන කරණයටද පැළ හිටවන්නේ...

දිවි හරි සිංහ හරි කරණයකින්.   පෝය පහුවෙලා ළඟම තියෙන දවසක කරණය වැටෙන විදිහට හිටවනවා... 

තවානේ කොච්චර කල් තියෙනවද පැළ...

තවානේ උපරිම කල් තියා ගන්න පුළුවන් නම් හොඳයි. මොකද ගහ හයියයිනේ එතකොට. මාස එක හමාරක් විතර වුණත් තියා ගන්න පුළුවන් නම් ගහටත් හොඳයි. අපටත් හොඳයි... 

ඔය කංසා හේන වවන්න තැන හොයා ගන්නේ කොහොමද... 

තවාන දාලා තමයි තැන හදා ගන්නේ. මාස එකහමාරක් විතර තියෙනවානේ. මේක ක්‍රමානුකූලව කරන ගොවිතැනක් නෙවෙයිනේ. හොරාට කරන්නේ. අනික තමයි අපි වගේම තව අය ඉන්නවානේ කංසා වවන. ඒ අයටත් හොරෙන් තමයි වගා බිම හදා ගන්නේ. එකම තැන දෙගොල්ලක් වැඩ කරන්නේ නෑ. ඒවාටත් ප්‍රශ්න එනවනේ... 

මොනවද එහෙම වෙන ප්‍රශ්න... 

ඉස්සෙල්ලා කපන කෙනා බඩු ටික විකුණලා හදිස්සියේ හරි අනිත් කෙනාගේ හේන අහුවුණොත් ඔත්තුව දුන්නේ ඉස්සෙල්ලා කපපු කෙනා කියලා හිතලා දබර යනවා. තව ළඟ ළඟ අය හොරෙන් පලදාව කපනවා. ඒවා හොරෙන් විකුණනවා. හේන් ගිනි තියනවා. එහෙම හුඟක් කතාන්දර වෙනවා... 

තවාන සුපිරියටම හදනවද මාමා... 

අනිවාර්යෙන්ම. හොඳට පස් දාලා පෝර දාලා පණු කැට  ටිකක් එකතු කරලා වතුර දාලා පාත්තියේ බිම හොඳට හදලා ගන්නවා. ඊට පස්සේ තමයි අර වතුරෙ දාලා මුල් ඇදිච්ච ඇට දාන්නේ. කොහොමත් ගහ අඩියක් විතර වෙනකන් තවානේම හදා ගත්තාම හිටෙව්ව පමාවෙන් එයා මුල් දාලා නැඟිටිනවා. ඒ දවස් ටිකේම වතුර දාන්න ඕනේ... 

දැන් දැන් මේ අය මාත් එක්ක හිතවත් වගේ. ඒ වුණාට මාව මෙහෙට එක්ක එන්න මහ වනේට ඇවිත් එක දිය ආරක් ළඟදී ඔවුන් මගේ ඇස් දෙක ගැට ගැහුවා. මගේ ඇස් ගැට ගැහුවේ නැතත් මට නම් මේ වනන්තරේ තැනක් නොතැනක් හොයා ගන්න බෑ කියලා කියන්න හිතුණත් මං එවෙලේ කට පියාගෙන හිටියේ මාව මේ තැනට එක්කන් යන්න පොරොන්දු වෙච්ච හිතවතාගේ කීමට අවනත වෙන්න ඕනේ නිසා... 

කොයි කාලෙටද වවන්නේ... 

සාමාන්‍යයෙන් මාස් කන්නෙට තමයි වවන්නේ. හුඟක් වෙලාවට වතුර වැස්ස බලනවා. ඒ වගේම වවන අය අපි වගේ වතුර ගන්න ලේසි විධියක් හේනත් එක්ක බලනවා. දැන් අප මේ ඉන්න තැනින් උඩ වතුර පාරක් ගලනවානේ. අන්න ඒකෙන් තමයි වගාවට වතුර ගන්නේ. ඒ ‍ෙදාළ හිඳෙන කාලෙට අපි ගඟට ගිහින් බාල්දිවලින් ගෙනත් ගහෙන් ගහට ඉහිනවා. වතුර නැතිවෙලා පෑවුම ඇල්ලුවොත් ගහ මැරිලා යනවා. කේඩෑරි වෙනවා. අස්වැන්න අඩු වෙනවා... 

හොඳට වහිනවා නම් මාමා... 

හොඳටම වැස්සත් වගාවට හොඳ නෑ. කංසා කියන්නේ වියළි කලාපයේ හැදෙන ගහක්. වැඩි වතුර බෑ. වැඩි වුණාම ගහ නරක් වෙනවා වතුර වැඩි වෙලා... 

කොච්චර කාලෙකින්ද අස්වැන්න ගන්නේ... 

දැන් අපි නම් මාස තුනෙන් කපනවා. අහු වුණොත් ඉවරෙටම ඉවරයිනේ. මාස දෙකෙන් හරි අස්වැන්න දීලා ගාණක් ගන්න පුළුවන් නම් අපි කපලා දෙනවා. වැඩි තණ්හාවට ගිහින් තියෙන එකත් නැති කරගන්න ඕනේ නැහැනේ... 

වැඩි තණ්හාව කිව්වේ ඇයි... 

මාස හයක් විතර අස්වැන්න තියා ගත්තොත් මාස තුනෙන් ගන්න ගාණ වගේ දෙගුණයක් ආදායම් ගන්න පුළුවන්. ඒ වුණාට කොයි වෙලේ එස්.ටී.එෆ්. එක, වනජීවී එක, පොලිසිය, සුරාබදු අය එන්න පුළුවන් නිසා අහුවෙන්න තියෙන සීමාව වැඩිනේ. ඒ නිසා පොඩි හරි ලාභයක් තියාගෙන මාස තුනෙන් කපලා පිළිවෙළක් කරලා දානවා. නඩුවක්නේ එක ගහක් කියන්නෙත්...

මෙච්චර නිදහසේ මේ රෑ මේ කට්ටිය එක්ක මට කතා කරන්න ලැබුණේ ඇයි දන්නවද. හෙට එයාලගේ අස්වැන්න නෙළන දවස. ඉතින් ඒ අය ඉන්නේ සතුටින්. මාස තුනක් අසීරුවෙන් හදාගත් අස්වැන්න හෙට අනිද්දාට විකුණුවාම ආයිත් මේ අයගේ අතේ මිටේ සල්ලි ගැවසෙනවා. රටේ නීතිය, ලෝක නීතිය මොකක් වුණත් මේ අයට ඒක වැදගත් නෑ. දන්නවද කංසාවල ගණන් ගැහෙන විදිහ. අපි ඒක හෙට දැන ගමු...

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com