www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මීගමුවේ පාසලක් පාකිස්ථානුවන් දෙදෙනෙක් වීඩියෝ කරලා - පොලිසිය හරි හැටි සොයා බලා නැහැ : කාදිනල් හිමියන් කියයි


2020-02-19 12:06:07 -  793 යි

මීගමුවට පැමිණි පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් මීගමුවේ කතෝලික පාසලක් වීඩියෝ ගත කර ඇති බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ ගත කර ඇත්තේ පැය විසි හතරක කාලයක් පමණක් බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව කාදිනල් හිමියන් ප්‍රකාශ කර සිටිනවා.

අපිට තවමත් ආරංචි ලැබෙනවා විටින් විට ලංකාවට විවිධාකාරයේ සැක සහිත පුද්ගලයින් ඇවිත් යනවා එනවා කියලා. මීගමුවේ සිදුවීමත් ඊට ආසන්න සිදුවීමක්. ඒ ගැන පොලිසිය හරි හැටි සොයා බලලා නැහැ, උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේ කොළඹ අගරදගුරු නිවාසයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතෙක් පත් කරපු කමිටු ලබාදුන්න තොරතුරු දත්ත පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති කොමිසමේ කටයුතු පිළිබඳ විතරක් යම් විශ්වාසයක් රඳවා ගන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාදාමය තව තවත් ශක්තිමත් විය යුතු බව අපේ අදහස.

කොමිසම හොඳින් ක්‍රියාත්මක වුණාට ආරක්ෂක අංශ නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද යන්න සොයා බැලිය යුතුයි.

අපේ රටේ හැමදාම වුණේ මහජනතාවට අසාධාරණයක් වුණාම රජය ඒක කාපට් එක යටට දාලා හංගන එක. පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුවන විමර්ශනවලටත් එහෙම වෙන්න දෙන්න බැහැ. කාටවත් අත පිහදාන් වගකීමෙන් මිදෙන්න බැහැ.

අහිංසක මිනිස්සු තුන්සිය ගාණක් මියගිහිල්ලා තවත් මිනිස්සු පන්සියයකට වැඩිය තුවාල ලබපු ප්‍රහාරයේ සුල මුල අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව දැන ගත යුතුයි.

බෝම්බ ප්‍රහාරය එල්ල කරපු අය කවුද කියන එක ගැන ක්‍රමවත් විමර්ශනයක් සිදුකරන බවක් පෙනෙන්නේ නැහැ. කිහිපදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. නමුත් මේ අයට සල්ලි දුන්නේ කවුද? මෙයාලට මේ තරම් සංවිධානගත වෙන්න දේශපාලන හයියක් ලැබුණද? මේ ප්‍රහාරයෙන් දේශපාලන වාසි ගන්​නේ කවුද කියන කාරණා පවා ආරක්ෂක අංශයේ අවධානයට යොමු වෙන්න ඕන.

මොකද සමහර සැකකරුවන් නිදහස් කරන්න දුරකථන ඇමැතුම් දුන් දේශපාලනඥයන් ගැන කියැවුණා. ඉතින් ඒ දුරකථන ඇමැතුම් ගැන කවද්ද විමර්ශනය කරන්නේ? පැවතිච්ච හැම රජයක්ම මහජනතාව වෙනුවෙන් කවදාවත් පෙනී සිටියේ නැහැ. මේ සිදුවීමටත් ඒක වෙන්න දෙන්න එපා. මේ සිදුවීම ගැන මීට වඩා පුළුල්ව විග්‍රහ කරන්න කියලා, මම වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා.
 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com