www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සාක්ෂිකරුවන්ට බලපෑම් කළැයි නාවික බුද්ධි අංශ දෙදෙනෙක් රිමාන්ඩ්


2020-01-30 07:15:31 -  378 යි

2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයකට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (29 වැනිදා) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අරුණ තුෂාර මෙන්ඩිස් සහ කස්තුරිගේ ගාමිණි යන නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින නීතිඥ අජිත් ප්‍රසන්න නමැත්තා මේ වන විට මහාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව සඳහන් කළේය. මෙහි හතරවන සැකකරු ලෙස නම් කර සිටින හිටපු කොටි සාමාජිකයකු වන ඩී.එම්. විජයකාන්තන් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවද රහස් පොලිසිය ප්‍රකාශ කර සිටියේය.

අගතියට පත් වූවන් සහ සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් දෙසැම්බර් මස 6 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම නඩුවේ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකර ඇති බව සඳහන් කර සිටියාය. වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරැකීමේ පනත යටතේ මෙම සැකකරුවන් වරදක් සිදුකර ඇති බවද නීතිඥවරිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නාය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව විමර්ශන සිදුකළ ප්‍රධාන විමර්ශන නිලධාරියා වන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහ තවත් සාක්ෂිකරුවකු මේ වනවිට රටින් පළාගොස් සිටින බව සඳහන් කළේය. මෙම සැකකරුවන් දෙදෙනා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකළ බවට පොලිසිය විසින් ප්‍රකාශ කළත් එම මාධ්‍ය සාකච්ඡාවෙන් කුමන සාක්ෂිකරුට බලපෑම් සිදුවූයේ ද යන්න පිළිබඳව නිශ්චිතව අධිකරණ හමුවේ කරුණු වාර්තා කර නොමැති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය. මේ හේතුවෙන් මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔවුන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් දෙදෙනා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය. ඊට අමතරව මෙම නඩුවට පාදක වී තිබෙන මාධ්‍ය සාකච්ඡාවට අදාළව මාධ්‍ය ආයතනවලින් ලබාගන්නා ලද සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශනවල අන්තර්ගත කරුණු ලිඛිතව පිටපත් කර මිළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරයා විසින් මෙහිදී රහස් පොලිසිය වෙත වැඩිදුරටත් නියෝග කරන ලදී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com