www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තැන තැන දමා යන බුලත් කොළවල රහස සොයා ගිය ගමන


2020-01-26 11:48:06 -  396 යි

පාසල් මිත්‍රයකු මුණ ගැසී ආගිය තැන්, රසමුසු දේ අවුස්සා එන්නට නොනිමි දොළයකින් පෙළුණු මම පසුගිය දවසක මහරගම දුම්රිය පොළට ගොඩවූවෙමි. ඒ පාසල් නිමවන වෙලාවකය. එහි සිටි මට ඇස ගැටුණේ තැන තැන දමා තිබූ බුලත් කොළය. ජනවාරියේ ඉස්කෝලේ පටන් ගන්නා දවසට, එසේ නැතිනම් සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ පාසල් ළමුන් අත බුලත් ගැවසීම සාමාන්‍ය දෙයකි. එහෙත් ජනවාරියේ ඉස්කෝලෙත් පටන්ගෙන දෙතුන් සතියක් ගෙවී තිබියදීත් පාසල් දරුවන් අත බුලත් තිබීම කුතුහලය දනවසුලුය. හොඳින් පාසල් ළමුන් දෙස බැලූ විට වැටහී ගියේ බුලත් අතක් නැති වූවාට මේ අත්වල බුලත්විට නම් ඕනෑ තරම් ඇති බවය.

මේ ගැන කළ සොයාබැලීමකදී හෙළි වූයේ සකල සිරින් පිරි සිරි ලංකාව ලෝකයේ අඩුවෙන්ම දුම්පානය කරන රට වූවාට දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් කප් ගසමින් සිටින බවය.

දුම්රිය පොළට බුලත් කොළ එන්නට හේතු වී ඇත්තේ මේ දුම්කොළ සෙල්ලමය. එනම් බුලත්විටේ ඇති දුම්කොළ, පුවක්, හුණු ආදියෙන් මත්වී බුලත් කොළ බිම දමා යෑමය. මේ දුම්කොළ නිෂ්පාදනවල අලුත්ම ගොදුර ඉස්කෝලේ යන දරුවන්ය. ඔවුන් බුලත්විට ගත්තාට බුලත් කොළ කන්නේ නැත. බුලත් කොළේ බිම දමා ඔවුන් කන්නේ විටේ ඇති මත්වන ජාති දෙක තුනය.

දුම්කොළ සෙල්ලමේ අහුමුළු සොයා අප ගියේ මහරගම දුම්රිය පොළට පමණක් නොවේ, මරදාන, බේස්ලයින් පාර, කොටා පාර යන දුම්රිය ස්ථානවලටද ගියෙමු. කොළඹ ඉස්කෝලේ එන සිසුන් ගෙවල්වලට යන්නට දුම්රියට ගොඩවන්නේ මේ ඉස්ටේෂන්වලිනි. ඉස්කෝලේ ඇරුණු වේලාවට එහි ගිය අප දුටුවේ මෙම මත්ද්‍රව්‍ය ඔවුන් භාවිත කරන අයුරුය.

එයින් අදහස් වෙන්නේ මේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ ඒ කලාපවල පාසල් ළමුන් පමණක් මේ මත්ද්‍රව්‍ය භාවිත කරන බව පමණක් නොවේ. මෙය සකල සිරින් පිරි මෙසිරිලකේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්තව ඇති වසංගතයකි.

මේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවලට ප්‍රධාන වශයෙන් යොදාගන්නේ දුම්කොළ, පුවක් හා හුණු යන වර්ග තුනය. මේවා භාවිත කරමින් එකිනෙකට වෙනස් විට වර්ග 35ක් පමණ නිෂ්පාදනය කරයි. බාබුල්, මාවා, බීඩා, ඩප්පා, පැණි පුවක්, තූල් ආදිය මෙයින් කිහිපයකි. මෙය යම් තරමකට සංකීර්ණ වන්නේ මේ හැම මත්ද්‍රව්‍යයකම පාහේ විදි නම් රැසක් තිබීමය. හරියටම කියනවා නම් කොළඹදී තැඹිලි, මාතරදී වැවර වෙනවා වාගේය. කොළඹ හා තදාසන්න පෙදෙස්හි සිටින අයියලා මාවා මාමා නමින් නම් කරද්දී වෙන්නප්පුවේ අය කියන්නේ ස්වීට් හෝ ඈෂ් කියාය. කුරුණෑගලදී එය විකිණෙන්නේ පැණි පුවක් නමිනි. කළුතරදීත් එය එසේමය. අනුරාධපුරයට යන්නේ මාවා නොව පරාට් ය.

හක්කාපටස් යනුවෙන් හඳුන්වන මත්ද්‍රව්‍යද සාදන්නේ මේ දුම්කොළ, හුණු හා පුවක් ආශ්‍රයෙනි. මේ දුම්කොළ යෙහෙන් ස්ත්‍රික්ක කර ඉතාම කුඩාවට කපා ඇත. එපමණක් නොව, ඒ සමහරක් දුම්කොළවල ඇත්තේ පැණිරසයකි. මෙසේ සකස් කළ දුම්කොළ පැකට්ටුවක් රුපියල් පන්සීයේ සිට දාහ දක්වා මිලට අලෙවි වෙයි.

පාත් පරාක් යනු ඉන්දියාවෙන් ආ මත්ද්‍රව්‍යයකි. පාත් යනු දුම්කොළය. පරාක් යනු පුවක්ය.මේ පාත් පරාක් වලට බොහෝ අමුද්‍රව්‍ය එක් කර බුලත් කොළය හතරට නමා මුඛයේ තබාගෙන භාවිත කරයි.

හක්කපටස්, තූල්, මාවා ආදිය භාවිත කරන්නේ තොල යට, දිව යට හෝ හක්කේ තබාගෙනය. සියලු මත්ද්‍රව්‍ය හදන්නට විවිධ දේ භාවිත වේ. ඒ අතර ඇල්කොහොල්, කෝලා වර්ග, රූපලාවණ්‍ය නිෂ්පාදන වර්ග, විවිධ ඖෂධ වර්ග දැකිය හැකිය. විශේෂයෙන්ම නීති විරෝධීව මෙරටට ගෙනා දුම්කොළවල තිබී ඉබියොෆීන් බූෆන්, මැග්නීසියම් කාබනේට් වැනි දේ ද හමුවී ඇත.

කෙසේ නමුදු අරක්කු, සිගරැට් මෙන් නොව පාසල් සිසුවෙක් බුලත්විටක් කෑවා කියා ඔවුන්ට දඬුවම් දෙන පිරිසක් ලංකාවේ නැත. ඒ බුලත ලංකාවේ සංස්කෘතිය සමග බැඳී ඇති බැවිනි. එනමුත් දැන් සිද්ධ වන්නේ බුලත්විටට මුවා වී කරන අලුත් සෙල්ලමකි. බුලත් කොළේ බිම දමා එහි ඇති මත්වන ද්‍රව්‍ය කෑ විට ඊට කවුරුවත් දොස් නොකියන බව සිසුවෝ දනිති.

කෙසේ නමුදු මේ බුලත්විටේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන දුම්කොළවල ප්‍රධාන පිළිකා කාරක 71ක්ද, පිළිකා ජනක දහස් ගණනක්ද අඩංගුය.

පුවක් ප්‍රධාන පිළිකා කාරක 4ක් සඟවාගෙන සිටී. එහි ගෑවෙන හුණු ස්වල්පය පිළිකා ඇති කරන්නේ නැති මුත් එය දුම්කොළවලත්, හුණුවලත් ඇති පිළිකා කාරක සක්‍රිය කරයි. එසේම ඒවා ශරීරයට ඇතුළු වෙන්නට ශ්ලේශ්මලය තුවාල කරයි.

ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරියේ දුම් රහිත දුම්කොළ ව්‍යාපෘතියේ විශේෂඥ ප්‍රජා දත්ත ශල්‍ය වෛද්‍ය ඩී. හේමන්ත අමරසිංහ මෙසේ සඳහන් කළේය.

ශරීරයේ ඇතිවන පිළිකාවලින් 60%ක් පමණ ඇතිවෙන්නේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන නිසා. දුම්කොළ නිසාම පිළිකා වර්ග 15ක් පමණ සෑදෙනවා. මුඛය හා ග්‍රසනිකාව ආශ්‍රිත පිළිකා රෝගීන් අවුරුද්දකට දෙදහස් පන්සීයක් විතර වාර්තා වෙනවා. මුඛ පිළිකාවෙන් අවුරුද්දකට විසිහය දෙනකු මිය යනවා. ගලනාළය ආශ්‍රිත පිළිකා දාහක්, සිගරැට් හේතුවෙන්, පෙණහලු පිළිකා රෝගීන් දාහක් පමණ වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන නිසා රෝගීන් දෙදහස් පන්සීයක් පමණ මිය යනවා.

විශේෂඥ වෛද්‍යවරයා එසේ කීවාට විට විකුණන අයත්, විට කන පාසල් සිසුන්ද මේ ගැන දැනුවත් වී ඇතිදැයි කීමට අප දන්නේ නැත. එහෙත් නීති පොතේ නම් දුම්කොළ ගැන ඕනෑ තරම් නීති නම් ඇත්තේය.

2000 අංක 27 දරන ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරී පනතට අනුව යම් දුම්කොළ අඩංගු ද්‍රව රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ මිශ්‍රණයක්, පැණිරස ගන්වන ලද, වර්ණ ගන්වන ලද හෝ රස ගන්වන ලද දුම්කොළ අඩංගු සිගරැට්ටුවක්, දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රොනික සිගරැට්ටුවක් නිෂ්පාදනය, ආනයනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම නොකළ යුතුය. එහෙත් විට මුදලාලිලා සිසුන්ට විට විකුණති. පොලිසියත් එය බලා සිටිති. දරුවන් විට කන විට ඉස්ටේෂන්වල සිටින ගුරුවරුද ඒ දෙස බලා සිටිති.

අන්තරායකර ඖෂධ පාලක අධිකාරියේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන තොරතුරු නිලධාරී කුමුදුනී ජයතිලක කියන්නේ මේ ව්‍යාපෘතියෙන් දරුවන් බේරා ගැනීමට දෙමාපියන් දරුවන් ගැන සොයා බැලිය යුතු බවය.

දරුවන්ගේ බෑග් චෙක් කරන්න. ඒගොල්ලොන යන එන තැන් ගැන, කරන කියන දේවල් ගැන, ආශ්‍රය කරන යාළුවො ගැන අවධානයෙන් ඉන්න. මේවා භාවිත කරන දරුවන්ගේ මුඛයේ තුවාල තියෙනවා. තැම්බුණු ස්වභාවයක් දකින්න පුළුවන්. ඒ වගේම පාසල් ගුරුවරුන්ටත් මේකෙ වගකීමක් තියෙනවා ඇය කියන්නීය.

මධුශානි කොඩිතුවක්කු




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com