www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රටම දන්න ස්නයිපර් රම්බෝ නීරෝ වීරයගෙ පුතත් හමුදාවට


2020-01-26 10:03:48 -  5922 යි

මවුබිම රැක දීමට සටන් කර එම සටනේදී දිවි පුදා ප්‍රාණ දානය දුන් ඔහු ජාතික වීරයෙකි. සැබෑම රණවිරුවෙකි.

ශ්‍රී  ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ කෝප්‍රල් වික්‍රමසේකර ඉමිහාමිලාගේ රංජිත් ප්‍රේමසිරි වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී මුලතිව්, පුදුමාතලන්හිදී එල්.ටී.ටී.ඊ. ස්නයිපර් ප්‍රහාරයකින් දිවි පිදුවේය.

ස්නයිපර් ප්‍රහාරයකින් දිවි පිදූ කෝප්‍රල් රංජිත්ද යුද හමුදා විශේෂ බළකායේ ප්‍රකට ස්නයිපර් වෙඩික්කරුවෙකි. ඔහු හැඳින්වූයේ නීරෝ යන නමිනි.

යුද බිමේ එකම තැනක වෙස්වළාගෙන දින ගණන් සැඟවී එකම ඉරියව්වකින් සිට ඉලක්ක ලබාගෙන කොටි ත්‍රස්තවාදීන් මරා දැමීම නීරෝගේ රාජකාරිය විය. ඔහුගේ ඉලක්ක 100%ක්ම නිවැරැදි වූ අතර, ඔහු සපුරා ලූ ඉලක්ක ගණන 217කි. ඒ අනුව යුද බිමේදී ඔහු කොටි ත්‍රස්තවාදීන් 217 දෙනකු මරා දමා තිබේ.

වන්නි මානුෂීය මෙහෙයුමේදී මුලතිව්, පුදුමාතලන්හිදී එසේ සතුරු ඉලක්ක ලබා ගනිමින් සිටියදී 2009 අප්‍රේල් 28 වැනිදා පෙ.ව. 6.20ට නීරෝ සතුරු ප්‍රහාරයට ලක්විය. පුදුමාතලන් ඉදිරි ආරක්ෂක වළල්ලේදී වෙඩි වැදුණු පසු වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළද එදිනම පෙ.ව 7.15ට පමණ නීරෝ මිය ගියේය.

මිය යන විට තිදරු පියකු වූ නීරෝ තවත් දරුවකුගේ සුරතල් බැලීමට සූදානමින් සිටියේය. එවිට ඔහුගේ බිරිය ගැබිනියකි.

රශ්මික නිමේෂ, ධනුෂ්ක නිමේෂ යන පුතුන් දෙදෙනාගේ හා නිලුපමා රසාජි දියණියගේ ආදරණීය පියාව සිටියදී රට වෙනුවෙන් දිවි පිදූ නීරෝ රණවිරුවාගේ දෙවැනි පුතා ධනුෂ්ක එවක  එකොළොස් හැවිරිදි වියෙහි පසුවිය.

සිය පියාගේ හදිසි වියෝව තදින්ම සිතට දැනුණු ධනුෂ්ක පුතා වයසින් වැඩෙද්දී තීරණය කළේ, තමාත් පියා මෙන් යුද හමුදාවට බැඳී පියාගෙන් ගිලිහුණු ගිනි අවිය අතට ගෙන රට රැක ගැනීමට දායක වීමටයි. එය පාසල් සමයේ සිට එකම සිහිනය විය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා උගත් පසු එම සිහිනය සැබෑ කර ගැනීමේ වාසනාව ධනුෂ්කට හිමිවිය. ඒ අනුව සිය පියාගේ ගමන් මඟ ගිය පුතා අද යුද හමුදා රණවිරුවකු ලෙස කටයුතු කරමින් සිටී.

ධනුෂ්ක 2018 අගෝස්තු 01 වැනිදා සාමාන්‍ය සෙබළකු ලෙස යුද හමුදාවට බැඳී ගජබා රෙජිමේන්තුවේ 20 වැනි බළඇණියේ සේවය කරයි.

ස්නයිපර් අවිකරුවකු වන කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ ස්නයිපර් අවිකරුවන් අතරේ පෙරමුණේ සිටි දක්ෂතම අවිකරුවෙකි.

1968 ජුනි 02 වැනිදා ආණමඩුවේ, පල්ලමදී උපන් නීරෝ 1991 පෙබරවාරි 12 වැනිදා ආධුනික සෙබළකු ලෙස යුද හමුදා ස්වේච්ඡා බළසේනාවට බැඳී එම වසරේම අප්‍රේල් 09 වැනිදා ගජබා රෙජිමේන්තුවේ 05 වැනි බළඇණියේ සාමාන්‍ය සෙබළකු ලෙස එක්විය. එතැන් පටන් හමුදා මෙහෙයුම්වලට සිය දායකත්වය ලබාදුන් ඔහු පසුව යුද හමුදා විශේෂ බළකායට එක්විය. එහි ස්නයිපර් අවිකරුවකු ලෙස එක්වී නීරෝ නමින් යුද බිමට පිවිස දස්කම් දක්වන්නට විය.

විශේෂ බළකා පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, සැඟවුණු වෙඩික්කරු ස්නයිපර් පාඨමාලාව, ප්‍රගුණ වෙඩික්කරු උපදේශක පාඨමාලාව ඇතුළු උසස් හමුදා පුහුණු පාඨමාලාවන් රැසක් හැදෑරූ නීරෝ උ/නැ සංග්‍රාමික, පූර්ණභූමි, රිවිරැස, දේශපුත්‍ර, ස්වර්ණ ජයන්ති ඇතුළු වීර පදක්කම් රැසකින් පිදුම් ලැබූ රණවිරුවෙකි.

ඩබ්ලිව්.කේ නිලූකා ප්‍රියදර්ශනී මහත්මිය සමඟ විවාහ වී සිටි නීරෝගේ වැඩිමහල් පුතා රශ්මික ධීවර රැකියාව කරයි. දෙවැනි පුතා හමුදා සෙබළෙකි. දියණිය ඇඟලුම් කම්හල් සේවිකාවකි. බාල පුතු පාසල් සිසුවෙකි.

දැනට සාලියපුර ගජබා රෙජිමේන්තු හමුදා කඳවුරේ සේවය කරන සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ඊ. ධනුෂ්ක නිමේෂ ප්‍රේමසිරි සිය පියා සිටි විශේෂ බළකායට යෑමට බලාපොරොත්තුවෙන් සිටී.

තාත්තා වගේ ස්නයිපර්මන් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා. ක්‍රීඩාවලින් ඉදිරියට යෑමටත් කැමැතියි.

   කුඩා කාලෙ ඉඳන් මමත් තාත්තා වගේ හමුදාවට යන්න ලොකු ආසාවෙන් හිටියෙ. තාත්තා මියගිය පසු අපේ පවුලේ ආර්ථික තත්ත්වය පහත වැටුණා. ඒ නිසා අපිට උසස් අධ්‍යාපනය කරන්න අමාරු වුණා. අයියා මුහුදු රස්සාවට ගියා. නංගි ගාමන්ට් ගියා. මම ආමි එකට ආවා

පියාගේ අඩිපාරේ ගිය රණවිරු පුතාගේ අදහස් එසේ විය.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com