www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සරසාලේ සටනේ වීරයා ජනපති යළි සටනට කැඳවයි.


2020-01-09 07:27:52 -  15067 යි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර වි​ජේගුණරත්න සුදු පැහැති ගරු ගාම්භීර නිල ඇඳුම ඇඳි අවසන් දිනය වූයේ ඉකුත් තිස් එක වැනිදාය. තද නිල් පැහැති පසුබිමක තරු හතරක් සවි කර ඇති මෝටර් රියක නැගී ඔහු ඉකුත් 31දා උදෑසන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මූලස්ථානයට පිටත්ව ගියේ තිස් නව වසරක හමුදා දිවියෙන් ඉසිඹු ලබමිනි.

විශිෂ්ට නාවිකයකු ලෙස ගරු සම්භාවනාවට පාත්‍ර වූ ඔහු නියෝජනය කළේ නාවික හමුදාවේ කොමාන්ඩෝ ඒකකය වන විශේෂ යාත්‍රා බළඝනයය. රණශූරත්වය වෙනුවෙන් වීරෝදාර විභූෂණ, රණ වික්‍රම පදක්කම දෙවරක්ද, රණ සූර පදක්කමද දිනාගෙන ඇති ඔහු සක්‍රිය සේවයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් මුල්ම නාවික හමුදාපතිවරයා විය. සිය නිල කාලයේදී රණ ශූරයකු ලෙස කිතුගොසද පතුරාගෙන සිටි ඔහුගේ සුදෝ සුදු නිල ඇඳුමේ ගොම බිඳුවක් තැවරුණ අවස්ථාවක්ද ඇත්තේය. ඒ හම්බන්තොට වරාය පරිශ්‍රයේදී පුවත්පත්කලාවේදියකුගේ බෙල්ලෙන් අල්ලා තර්ජනය කිරීම හේතුවෙනි. පසුව නාවික හමුදාව අධිකරණයෙන් එම සිද්ධියට කොන්දේසි විරහිතව සමාව භජනය කළේය. වරාය සේවකයනගේ විරෝධතාවක් හේතුවෙන් දැඩි ආතතිය පිරි එම අවස්ථාවේදී ඔහු කළ එම ක්‍රියාව අනුමත කළ නොහැකි මුත් එමගින් ඔහු රණබිමේදී දැක්වූ කැපකිරීම් හා විශිෂ්ට රණකාමීත්වය අවතක්සේරුවට ලක් කළ යුතු නැත.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න දෙසැම්බර් තිස් එක් වැනිදා ඉසිඹු ලබන විට ත්‍රිවිධ හමුදාවේ ඉහළ ස්ථරවල කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකාව වූයේ මීළඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන්නේ කවුද යන්නය. ඊට හේතුව වන්නේ යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවේම ජ්‍යෙෂ්ඨතම හා ප්‍රධාන නිලධාරියා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වීම නිසාය. මුල් කාලයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා නාමික ගරු ගාම්භීර නිලයක් පමණක් විය. ඊට පත් කෙරුණේ විශ්‍රාමික යුද ගුවන් හෝ නාවික හමුදාපතිවරයෙකි. එනමුත් යුද්ධය අවසන් වූ පසුව එකල පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ජෙනරාල් සරත් ෆොන්සේකා කළමනාකරණය කර ගැනීමේ ගැටලුවක් උද්ගත විය. ඊට විසඳුම ලෙස එතෙක් නාමිකව පැවැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පණ දෙන්නට රජය තීරණය කළේය. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට බලය දෙන්නට ආණ්ඩුව පනතක් ගෙනාවේය.

සන්නද්ධ හමුදා හා ආරක්ෂක අමාත්‍යංශය අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා වගකිවයුතුද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විය යුතුද තැනැත්තකු පත් කිරීම සඳහාද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගේ කර්තව්‍යය සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස යනුවෙන් සඳහන් කර දෙදහස් නවයේ මැයි විසි නව වැනිදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යනුවෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේය. එම පනතේ කළ මූලික වෙනස්කම වූයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට සක්‍රිය සේවයේ එනම් විශ්‍රාම නොගිය ත්‍රිවිධ හමුදාපතිවරු අතරින් එක් අයකු පත් කිරීමය. එම පනතේ 2 (1) වගන්තියේ සඳහන් වන්නේ ජනාධිපතිවරයා විසින් අවස්ථානෝචිත පරිදි වර්තමාන යුද හමුදාපතිවරයා නාවික හමුදාපතිවරයා හෝ ගුවන් හමුදාපතිවරයා අතරින් එක් නිලධාරියකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබිය යුතුය යනුවෙනි.

ඒ අනුව සක්‍රියත්වයේ යෙදී සිටියදී එම තනතුරට මුලින්ම පත් කෙරුණේ එවකට යුද හමුදාපති ධුරය හෙබවූ​ ජෙනරාල් සරත් ​ෆොන්සේකාය. ඉනික්බිතිව එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, ජෙනරාල් ජගත් ජයසූරිය, ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පිළිවෙළින් එම ධුරය දැරූහ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතේ හැටියට එම ධුරයේ නිල කාලය දෑ අවුරුද්දකි. කැමැති නම් ජනපතිවරයාට ඔවුන් සේවය කැමැති වසර ගණනකට දීර්ඝ කළ හැකිය. ඒ අනුව එවකට සිටි ජනපති මෛත්‍රිපාල සිරිසේන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට දෙවරක් සේවා දිගුවක් දුන්නේය. ඔහුගේ අවසන් සේවා දිගුව අවසන් වූයේ ඉකුත් තිස් එක් වැනිදාය.

ඉනික්බිතිව උද්ගත වූ පැනය වූයේ මීළඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කවුදැයි යන්නය. මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූයේ ත්‍රිවිධ හමුදාපතිවරුන් අතරේ ජ්‍යෙෂ්ඨයා එම ධුරයට පත්වීමය. එහෙත් රටේ උද්ගත වී තිබෙන ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන සම්ප්‍රදාය වෙනස් කිරීමට නව ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ජනපතිවරයා වශයෙන් ඔහු පත් වූ විගසම ආරක්ෂක අංශවල සංවේදී පුටු කිහිපයක් මාරු කළේය.

ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් පත් කළේය. ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරියකු වුවත් ඔහු යුද හමුදා බුද්ධි අංශයේ අත්දැකීම් බහුල නිලධාරියෙකි. ඉනික්බිතිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී ධුරයට පත් වූයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂවරයා වූ බ්‍රිගේඩියර් සුරේෂ් සලේය. එහෙත් මින් පෙර එම ධුරය දරා තිබුණේ නියෝජ්‍ය පොලිස්පතිවරු පමණි. කීර්ති ගජනායක, චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ හා නිලන්ත ජයවර්ධන රාජ්‍ය බුද්ධි අංශය භාරව මින් පෙර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ය. එනමුත් පාස්කු බෝම්බ ප්‍රහාරයේදී රාජ්‍ය බුද්ධි අංශයේ බෙලහීනතාව, ඒ පිළිබඳ සොයා බලන්නට පත් කළ කොමිෂන්වලදී දිග හැරුණේය. එබැවින් සම්ප්‍රදාය වෙනුවට ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා බ්‍රිගේඩියර් සුරේෂ් සලේට රාජ්‍ය බුද්ධි සේවය භාර දුන්නේය.

දැන් යළිදු වරක් ජනපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය පිළිබඳ ගැඹුරින් සිතා බලන සෙයක් පෙනේ. ලැබෙන තොරතුරු අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතේ 2 (1) වගන්තිය වෙනස් කිරීමට තීරණය කර තිබේ. මතු කී පරිදි එම වගන්තියෙන් කියවෙන්නේ සක්‍රිය සේවයේ සිටින හමුදාපතිවරයකු එම ධුරයට පත් කළ යුතු බවය. එම වගන්තිය වෙනස් කර විශ්‍රාමික විශිෂ්ට සෙන්පතියකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කිරීමට රජය තීරණය කර ඇති බව සඳහන්ය. ලැබී ඇති තොරතුරුවලට අනුව එම ධුරයට තෝරාගෙන ඇත්තේ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාය. සරසාලේ සටනේ වීරයා ලෙසින් හමුදාවේ සෑම ස්ථරයකම ගරු සම්භාවනාවට පාත්‍ර වූ ඔහු සැලකෙන්නේ එවකට ත්‍රිවිධ හමුදාවේම වැඩිම වීර පදක්කම් ගණනකට උරුමකම් කී නිලධාරියා ලෙසය. ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරියකු වූ ඔහු සිය දිවියේ වැඩිම කලක් ගෙවා දමා ඇත්තේ රණබිමේය. ඔහු යුද හමුදාවේ විශිෂ්ට ඒකකයක් වන ගුවන් සංක්‍රමණික බළසේනාවේ ආරම්භක නිලධාරියෙකි.

යුද හමුදාවේ පුරාවෘත්තයන් වන මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා දෙදහස වසරේ නිලයෙන් ලුතිනන් කර්නල්වරයෙකි. සරසාලේ 533 වැනි බලසේනාධිපතිවරයාය. එල්ටීටීඊය අලිමංකඩ 54 වැනි සේනාංකය බිමට සමතලා කර යාපනය නගරය අල්ලන්නට එද්දී මුළු රටම භීතියෙන් ඇළලී ගියේය. යාපනය කොටුවේ සිටි ආරක්ෂක හමුදා සාමාජිකයන් හතළිස් දහසකගේ දිවි බේරා ගැනීමට එවකට සිටි ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉන්දියාවේ සහාය පැතුවාය. සෙබළුන් තිරිකුණාමලයට රැගෙන ඒමට ඉන්දියාව නෞකා දීමට පමණක් එකඟ විය. මේ අතරේ එල්ටීටීඊයේ නොනවතින රැල්ල නතර කිරීමට රජය මේජර් ජෙනරාල් ජානක පෙරේරාත්, මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාත් යාපනයට යැව්වේය. යුද හමුදා මූලස්ථානය තෝරා ගෙන සිටියේ එල්.ටී.ටී.ඊ.ය සමග සටන් කිරීම අතහැර පසුබැසීමේ ක්‍රියාන්විතය ඇරඹීමටය. ආරක්ෂාකාරී ලෙස සෙබළුන් පසුබැසීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් වෙමින් තිබුණි. එනමුත් යාපනේ ඒ නවය පාරේ සරසාලේ හන්දියෙන් වීරයෙක් මතු වූවේය. පසුබැසීම ප්‍රතික්ෂේප කළ ඔහු සටන් කිරීම තෝරා ගත්තේය. ඔහු 533 වැනි බලසේනාධිපති ලුතිනන් කර්නල් සුමේධ පෙරේරාය.

වෝටර්ලූ සටනට ගිය නැපෝලියන් බොනපාට් සේ එල්ටීටීඊය යාපනය අල්ලන්නට එමින් සිටියේය. ඔවුන්ගේ ප්‍රතිරෝධය දරා ගැනීමට නොහැකිව යුද හමුදාව පසු බැස්සහ. වෝටර්ලූ සටනේදී නැපෝලියන් පැරදවූ වෙලින්ටන් සාමි වූයේ සුමේධ පෙරේරාය. බළසේනාධිපතිවරයකු වූ ඔහු සරසාලේ වෙත ගොස් එල්ටීටීඊයේ නොනවතින රැල්ලට මුහුණ දීමට තීන්දු කළේය. සටන සිද්ධ වෙන ස්ථානයේ සිට මීටර් 100 ක දුරින් වූ පාළු ගෙයක සුමේධ ස්ථානගත වූයේය. සන්ධ්‍යාවේ දැවැන්ත දැවැන්ත ජයග්‍රාහී කොටි ප්‍රහාර ඇරඹිණ. සරසාලේ වැටුණොත් කොටි පළාලි වෙත අවුත් මුළු යාපනයම යටත් කරගනු ඇත. ඒ වන විට රට දෙකඩ වෙන ආකාරය වාර්තා කරන්නට විදේශ මාධ්‍යවේදීහු සිය ගණනක් කොළඹ මහ හෝටල්වල ලැගුම්ගෙන සිටියහ. එල්ටීටීඊ ප්‍රහාර මැද ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටීම භයානක බවකි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු ඔහුට පිටුපසට යන ලෙස කීවේය. එහෙත් සෙබළු අතහැර යෑමට අකැමැති වූ ඔහු කීවේ එක් වදනක් පමණි. මෙතැන් සිට රේඩියෝ සෙට් එක හොඳින් අහගෙන ඉන්න මගේ කට හඬ ඇසුණේ නැති වුණොත් මගේ තැන ගන්න වෙන අයකු එන්න යනුවෙනි. එහි අරුත මම මැරුණොත් වෙන නිලධාරියකු අණ දීමට එවන ලෙසය. එසේ කියූ සුමේධ පෙරේරා සරසාලේදී එල්ටීටීඊයට මතක හිටින පාඩමක් ඉගැන්වූවේය. සෙබළුන් හතළිස් දහසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූයේ ඔහුගේ වීර වික්‍රමාන්විත අණදීම හේතුවෙනි. ඒ ගැන මේජර් ජෙනරාල් ජානක පෙරේරා ලිඛිතවම ඔහුට ප්‍රශංසා කර ලිපියක් එව්වේය. එහි මෙසේ සඳහන්ය. 2000 මැයි මස 22 වැනි දින අත් කර ගත් සුවිශාල ජයග්‍රහණය පිළිබඳ ඔබටත්, ඔබගේ වික්‍රමාන්විත භට කණ්ඩායමටත් මාගේ ඉමහත් ශුභාෂිංසනය මෙයින් පිරි නමමි. එම ජයග්‍රාහී දිනයේ දී ඔබගේ නිර්භීත භට කණ්ඩායම් වික්‍රමාන්විත ලෙස සටන් කරමින් අපගේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට උත්සාහ කළ LTTE යත් සමග ඊට එරෙහිව සටන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොටි සංවිධානයේ සාමාජිකයන් 116 දෙනකු මරා දමා තවත් 212 දෙනකුට තුවාල සිදු කිරීමට සමත්ව ඇත. එමගින් ඔවුන්ගේ ප්‍රහාරක හැකියාව විශාල වශයෙන් දුර්වල තත්ත්වයකට පත් කර වීමට හැකි විය.

අපගේ සෙබළුන්ගේ මානසික ඒකාග්‍රතාව ඉතා පිරිහී තිබුණ තීරණාත්මක අවස්ථාවක අප විසින් බොහෝ කලක සිට අපේක්ෂා කළ මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්පත් කර ගැනීමට හැකි විය. ඔබගේ භට කණ්ඩායම් සතු වූ යුද වැදීමේ සුපිරි කෞශල්‍යය මගින් කොටි සංවිධානයේ ප්‍රහාරක හැකියාව ආපසු හරවා ඔවුන් අපේක්ෂා භංගත්වයට පත් කරන ලදී.

මීට දශක භාගයකට පමණ පෙර අච්චුවේලිහි අකුණු පහර මෙහෙයුම අවස්ථාවේදී ඔබ සිදු කළ වීරෝදාර ක්‍රියාව මගේ සිතේ තවමත් රැව් පිළිරැව් දෙයි. නැවත වරක් බෙහෙවින් තීරණාත්මක අවස්ථාවකදී සටන් බිමේදී ඔබ දැක්වූ නායකත්වයේ විශ්වසනීය ගුණය, උද්‍යෝගය හා ජවය මම ඉතා ඉහළින් අගය කරමි.

ඔබ සතු විචාර බුද්ධිය, අත් දැකීම් සහ ජවය ඔබගේ ඉදිරි අනාගතය පුරාම ඔබට මග පෙන්වනු ඇතැයි මම විශ්වාස කරමි. මගේ හෘදයාංගම ගෞරවය පිරිනමමි යනුවෙන් සෙන්පති ජානක පෙරේරා ඔහුගේ වීරත්වය අගය කළේය.

පසු කලක යුද හමුදාවේ අණ හා පරිපාලන තනතුරු රැසක් දැරූ ඔහු ඉසඹු ලැබුවේ යුද හමුදාවේ තෙවැනියා හෙවත් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙසය. යුද හමුදාපති පුටුව පෙනි පෙනී ඔහුට ගෙදර යන්නට සිද්ධ වූයේ එවකට සිටි ජනපති මෛත්‍රිපාල සිරිසේන ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වාට දිගින් දිගටම සේවා දිගු දී ඔහු යුද හමුදාපති ධුරයේ තබා ගැනීම නිසාය.

කෙසේ නමුදු සුමේධ පෙරේරා වැනි අත්දැකීම් බහුල නිලධාරියකු යළි සේවයට කැඳවීමට නම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත සංශෝධනය කළ යුත්තේය. බොහෝ විට නුදුරු දිනකදීම සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත්තේය.

එම නෛතික වැඩකටයුතු අවසන් වීමට සති කීපයක් ගතවනු ඇත. පනත සංශෝධනය කර සුමේධ පෙරේරා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්වනු ඇත්තේ තරු හතරේ ජෙනරාල්වරයකු ලෙසය. එම පනත අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිී ධුරය දැරිය හැක්කේ තරු හතරේ ජෙනරාල්වරයකුට පමණි. මක්නිසාද යත් එම ධුරයට පත්වන තැනැත්තා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේත් ප්‍රධානියා වන නිසාය. කෙසේ නමුදු ජනවාරි 01 සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය තිබුණේ පුරප්පාඩු වය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතේ 7 වැනි වගන්තියට අනුව එම ධුරය දැරූ තැනැත්තා මිය යෑම, විශ්‍රාම යෑම, ඉල්ලා අස්වීම අශක්නුතාව හෝ ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩුවක් ඇති වූ විට ත්‍රිවිධ හමුදාපතිවරු අතරින් අයකු සිය ධුරයේ රාජකාරිවලට අමතරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩ බැලීමට පත් කිරීමට ජනපතිවරයාට බලතල තිබේ. ඒ අනුව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කරනු ලැබුවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. ඔහු සිය ධුරයේ වැඩ භාර ගත්තේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මූලස්ථානයේදීය. ඔහු විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා එනතුරු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩ බලනු ඇත්තේය. ඒ අනුව සිව් වසරකට ඉහත ගැලවූ නිල ඇඳුම යළි අඳින්නට සුමේධ පෙරේරාට අවස්ථාව ලැබෙනු ඇත. එය විශ්‍රාම ගිය හමුදා නිලධාරියකුට ලැබෙන විරල අවස්ථාවකි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අනුව නම් එම ධුරයට පත්වන තැනැත්තාට බොහෝ වැඩ ඇත්තේය. සන්නද්ධ හමුදාවල ක්‍රමෝපාය පිළිබඳ විධාන සැපයීම, සන්නද්ධ හමුදා අතර බුද්ධිමය අංශ කටයුතු සම්බන්ධීකරණය කිරීම, ජාතික ආරක්ෂාව, යුදමය අවස්ථාවන් තක්සේරු කර ආරක්ෂක ඇමැතිවරයාට උපදෙස් දීම ඇතුළු කාරණා රැසක් ඇත්තේය. එහෙත් ඉකුත් කාලයේදීම එම ධුරයට පත් වූ අයට කරන්නට තිබුණේ ප්‍රියසාද, හමුදා භෝජන සංග්‍රහ හා නිදහස් දිනයේදී ජනපතිවරයා පිටුපස සිටගෙන සිටීම වැනි සරල වැඩ කිහිපයකි. ජාතික ආරක්ෂාවට වඩා මුල්තැන තිබුණේ ඒවාටය. එහි ප්‍රතිඵලය පාස්කු දින ප්‍රහාරයේදී අපි සියල්ලෝම අත්වින්ඳෙමු.

කෙසේ නමුදු ඇතැම් අවස්ථාවල දී ඉතිහාසය හා වර්තමානය අතර පූර්වාපර සන්ධි ගළපන්නේ හරි අපූරු ආකාරයටය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාට වාර්තා කිරීමට සිදුවනු ඇත්තේ සිය පැරණි ප්‍රධානියාටය. දැන් ජනපති වුවත් ගෝඨාභය රාජපක්ෂ මීට දශක තුනකට ඉහතදී 1 වැනි ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා විය. එකල මේජර්වරයකු වූ සුමේධ පෙරේරා ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂගේ දෙවැනියාය. දෛවෝපගතව යළිදු වරක් ඔවුන් දෙදෙනාගේ රාජකාරි ගමන ලියැවී ඇත්තේ එකටය.

මිහිරි ෆොන්සේකා

  ඔබේ අදහස්
Nme - Sachith
Message -Good. Impressive. Keep in tuch
Nme - sampath Fernando
Message -Excelente and great prefomance ! Officer and Gentlemen ! He should deserve ut!
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com