www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බිරිඳගේ පෙර විවාහයේ දියණියක් මවක් කළ නරුමයාට වසර 20 ක සිරදඬුවම්


2019-12-24 07:43:13 -  1059 යි

බලෙන්ම වෙනත් තරුණයකුට විවාහ කරදී  - ඔහුව පන්නා දැරිය ගෙදර තියාගෙන  - දැරිය බිහිකළ දරුවාත් විකුණලා

තම බිරිඳගේ පෙර විවාහයේ බාලවයස්කාර දියණියක දිගින් දිගටම දූෂණය කර ඇය බිහිකළ දරුවාද විකුණා දැමූ පුද්ගලයකු බරපතළ වැඩ ඇතිව වසර 20 ක සිර දඬුවමකටද රු.50000 ක දඩයකට සහ ලක්‍ෂ 5 ක වන්දියකටද යටත් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉකුත් 20 දා නියෝග කළේය.

විත්තිකරු බළන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි බව කියන ඉලූක්කුඹුරගේ රූපසේන නමැත්තෙකු වූ අතර නඩු විභාගය ආරම්භයේ සිට අවසානය දක්වාම ඔහු අධිකරණය මඟහැර සිටි අතර විත්තිකරු නොමැතිව නඩුව විභාගකර අවසානයේ ඔහු වැරදිකරු කරනු ලැබිණි. පැමිණිල්ල ඉතා පැහැදිලිව සාධාරණ සැකයෙන් තොරව චෝදනාව ඔප්පුකර ඇති බව පැවසූ විනිසුරුවරයා විත්තිකරු 2005 වසරේ ජනවාරි මස 01 සහ සැප්තැම්බර් මස 30 වන දින අතර කාලයේදී ලේ ඥාතීත්වයක් ඇති තම බාලවයස්කාර ඥාති දියණිය දූෂණය කළ බවට අධි චෝදනා ලැබ සිටි බව සඳහන් කළේය.

විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර තම තීන්දුවට හේතුව විනිසුරුවරයා විසින්ම වාචිකව විවෘත අධිකරණයට පැහැදිලි කළේය. එම දේශනයට අනුව විත්තිකරු වරද සිදුකර ඇත්තේ ඉගෙනීමට ඉතා කැමැත්තක් දැක්වූ 13 හැවිරිදි කුඩා දැරියකටය. විත්තිකරු ඇයව බිය ගන්වා දිගින් දිගටම ඇය දූෂණය කර ඇති අතර ඇය ගැබ්ගත් පසුද එම කි‍්‍රයාව පවත්වාගෙන ගොස් ඇත. දැරිය ගැබ් ගැන්වීමේ වරද වෙනත් අහිංසක තරුණයකු පිට පැටවූ විත්තිකරු දැරිය බලහත්කාරයෙන් එම තරුණයාට විවාහ කරදී දැරිය තමා භාරයේම තබාගෙන තරුණයා පන්නා දමා ඇත. එම විවාහයෙන් පසුවද විත්තිකරු නැවත නැවතත් දැරිය දූෂණය කර ඇත.

දැරිය බිළිදෙකු ප‍්‍රසූත කළ පසු බිළිඳා විකුණා දැමීමට විත්තිකරු කි‍්‍රයාකර ඇත. දරුවා ඉපදීමෙන් පසු යළිත් ගොඩකවෙල ප‍්‍රදේශයට ගොස් පාසල් යාමට පටන්ගත් දැරිය අපොස උසස් පෙළ දක්වාම එහිදී අධ්‍යාපනය ලබා ඇත. අධිකරණ නියෝග මත කරන ලද ඞී.එන්.ඒ. පරීක්‍ෂණයේදී සහ මෙහෙයවන ලද ජාන විiාත්මක සාක්‍ෂි වලදී දරුවාගේ පියා අන්අයෙකු නොව විත්තිකරුම බව තහවුරු වී ඇත. ස්ත‍්‍රී දූෂණය යනු මිනීමැරුමට පමණක් දෙවැනි වන වරදක් බව පැවසූ විනිසුරුවරයා විත්තිකරු දැරිය දිගින් දිගටම ලිංගික සූරාකෑමක් ලක්කර ඇති ආකාරය නඩු විභාගයේදී හෙළිවූ බවද පැවැසුවේය.

විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර, පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ කේ. වී. ඉන්දිකා මහත්මිය අධිකරණය අමතමින් 2005 වසරේ ඉතාමත් ලාබාල වයසකදී වැඩිහිටියෙකු විසින් කළ අපරාධයක් නිසා දැරියට සිදුවූ ශාරීරික හා මානසික හානිය මෙතෙකැයි කිව නොහැකි බවද ඇගේ අධ්‍යාපනය මුළුමනින්ම කඩා බිඳවැටුන බවද පැවසුවාය. විත්තිකරුට නොව සමාජයටද දැනෙන ආකාරයෙන් ඔහුට දියහැකි උපරිම සිරදඬුවමක්ද දැරියට සිදුවූ හානිය වන්දි මුදලකින් කිසිසේත්ම ප‍්‍රතිපූර්ණය කළ නොහැකි වූවද ඇය වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් නියම කරන ලෙසටද රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

විත්තිකරුට නියම කළ දඩය නොගෙවන්නේනම් සරල වැඩ සහිත වසර 1 කද, වන්දි මුදල් නොගෙවන්නේ නම් බරවැඩ සහිත වසර 2 ක අමතර සිරදඬුවම් වලටද ඔහු යටත්ය. විත්තිකරු අප‍්‍රමාදව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාටද පිටපතක් සහිතව බළන්ගොඩ පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරිවරයාටද විනිසුරු නියෝග නිකුත් කළේය. එසේම විත්තිකරුගේ දුරකථන සංවාද සම්බන්ධයෙන් අධිකරණය සතුව පවතින වාර්තාවල පිටපත් දැනටමත් බළන්ගොඩ පොලිසියට ලබාදී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශන වල ප‍්‍රගතිය 2020.01.29 වන දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද බළන්ගොඩ පොලිසියට වැඩිදුරටත් නියෝග කරන ලදී.

රත්නපුර විශේෂ - තිලකසිරි දෑල බණ්ඩාර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com