www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බත් වෙනුවට දහජරාව කවන පොළොන්නරුවේ තක්කඩි මෝල්ලු


2019-11-30 08:21:30 -  652 යි

පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පිහිටි නිව් රත්න සහල් යන වෙළෙඳ නාමයකින් හඳුන්වනු ලබන මහා පරිමාණ සහල් මෝලකින් මහජනතාවට පරිභෝජනයට නුසුදුසු ජරා හාල් විශාල තොගයක් පසුගියදා නීතියේ රැහැනට හසුකර ගැනිණි.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලිසිය සමඟ ගොස් ඒ වැටලීම් සිදුකර තිබිණි. දඟලන ගුල්ලන්, පණුවන් සමඟ කැදලි සහිත සහල් යන්ත්‍රානුසාරයෙන් අපද්‍රව්‍ය ඉවත්කර කෑමට ඇසුරුම් කර වෙළෙඳපොළට එවීමට කටයුතු කරන බව වැටලීම් කළ මේ නිලධාරීන්ට අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. එමෙන්ම පාරිභෝගික නීති උල්ලංඝනය කළ තවත් නීති විරෝධී කටයුතු කිහිපයක් මේ සහල් මෝලේ සිදුවන බවද හෙළිවී ඇත. 

එනම් සහල් අසුරනවල ලකුණු කරන ලද ලේබල් වෙනස් කිරීම, උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලක් ලකුණු කිරීම ආදිය ඉන් සමහරකි. උදාහරණයක් ලෙස නාඩු සහල් කිලෝවක මිල රුපියල් 80ක් ලෙස සඳහන් ඇසුරුමේ ඒ මිල මත රුපියල් 105ක් ලෙස සටහන් කර තිබීම. සම්බා සහල් ඇසුරුම්වලද සඳහන් උපරිම සිල්ලර මිල රුපියල් 95ක් තිබියදී එය රුපියල් 109 ලෙස වෙනස්කර තිබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු කීහ. ඔවුන්ගේ පරීක්ෂාවේදී එම මහා පරිමාණ සහල් මෝලේ ගබඩාවක් තුළ තිබී කල් ඉකුත්වූ සහල් කිලෝ 88,000ක පමණ තොගයක් සොයා ගැනීමට හැකිවී තිබේ. එලෙස කල් ඉකුත් වූ සහල් සමඟ හොඳ තත්ත්වයේ සහල් එකට ගබඩා කර තිබෙන අයුරුද එම ගබඩා පරීක්ෂාවේදී අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. එලෙස තිබූ සහල් තොගය කිලෝ 245,000ක් පමණ යැයි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු කීහ. මේ සහල් ගබඩා දැනට මුද්‍රා තබා තිබෙන අතර පාරිභෝගික සේවා අධිකාරිය මඟින් සහ සෞඛ්‍ය අංශ වෙන වෙනම නීති මඟින් ක්‍රියා කිරීමට පියවර ගෙන තිබෙන බව දැනගන්නට ඇත. කල් ඉකුත් වූ සහල් තොගවල සාම්පල් ආදිය මේ නිලධාරීන් විසින් ලබාගෙන විමර්ශන කටයුතු සිදුකරන ලදී.

මහජනතාවට කවන්නට ජරා හාල් කලවම් කරන සිදුවීම් හාල් මෝල්වලින් අනාවරණය වූ පළමු වතාව මෙය නොවේ. පොළොන්නරුව, වැලිකන්දේ, සිංහපුර සුපිරි සහල් නිපදවන මහා පරිමාණ සහල් මෝල් පරපුරේ තවත් සහල් මෝල් තිබේ. අහස උසට නැඟුණු විශාල තාප්පවලින් වටකර පවත්වාගෙන යන මේ මෝල්වල ඇතුළේ සිදුවන දේ බොහෝ දෙනා නොදනිති. ඒවා ඇතුළේ සිටිනුයේ හිමිකරුවන්, පාලකයන් සහ එහි සේවකයන් පමණි. එහෙයින් මහජනයාට ජරා හාල් කවන මේ සිද්ධිය හෙළිදරවු වූ පළමු අවස්ථාව මෙය නමුදු ඒ ක්‍රියාවේ ආරම්භය මෙය යැයි කිසිවකුටත් කිව නොහැකිය. ඇතැම් විට මෙසේය. කාලාන්තරයක් ගෙන ආ කූට ජාවාරමක් නොවේ යැයි කියා කිසිවකුටත් සනාථ කළ නොහැකිය. මන්ද පෙර කී අයුරින් මේ සහල් මෝල් තාප්පවලින් වටවී ඇති විනිවිද නොදකින තැන් නිසාය. මෙවර නීතියේ රැහැනට හසු වූ සුපිරි සහල් මෝල පිහිටා ඇත්තේ වැලිකන්දේ අෑත ජනශූන්‍ය කලාපයේ නිසා ඕනෑම හොර වැඩක් ඉතා පහසුවෙන් කරගෙන යෑමේ වටපිටාවක් ඉබේම නිර්මාණය වී තිබේ. 

විශේෂයෙන්ම සඳහන් කළයුතු තවත් කාරණයක් වන්නේ මේ බොහෝ මහා පරිමාණ මෝල් හිමියන්ට ඕනෑම අසික්කිත ජරා වැඩක් කරගෙන යෑමට නීතියේ රැකවරණද ලැබෙනුයේ ඔවුනට තිබෙන දේශපාලන සබඳතා, බලපුළුවන්කාරකම් හේතුවෙනි. එයට හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ මේ වැටලීම සිදු කළ සහල් මෝලට හෝ පොළොන්නරුවේ පිහිටා තිබෙන මහා පරිමාණ සහල් මෝලකට පරීක්ෂාවක් සඳහා රජයේ නිලධාරියකු මේ අවස්ථාවේ හැර මෑත කාලයේ වෙනත් දිනයක ගොස් තිබේද යන්නයි. ඔවුන්ගේ රාජකාරි දිනපොත් හෝ එවැනි සටහනක් පරීක්ෂා කර එහි සැබෑව තහවුරු කරගත හැකිවනු ඇත. මේ වැටලීම කළ නිලධාරීන්ම මීට සති කිහිපයකට පෙර නැතහොත් රටේ දේශපාලන බල පෙරළිය සිදුවන්නට පෙරාතුව මේ සහල් මෝල පරීක්ෂාවට පැමිණියේ නම් හතර මායිමෙන් ඇතුළට එන්නටවත් ලැබේද යන්න සැක සහිතය. කෙසේ නමුත් අප මේ රටේ බත් කන ජනයාගේ නාමයෙන් මේ වරද නීතියේ රැහැනට හසුකර ගන්නට ලැබීම ඔවුන්ගේ භාග්‍යයක් ලෙස සැලකිය හැකිය. 

එමෙන්ම සුපිරි වෙළෙදනාම සහිත සහල් වර්ග වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේදී ඒවායේ තත්ත්වය ගැන වැඩි අවධානයකින් පසුවීම පාරිභෝගිකයා සතු වගකීමකි.

පසුගිය කාලයේ මේ රටේ වී නිෂ්පාදනය විශාල වශයෙන් පහළ වැටීම නිසා දේශීය සහල් හිඟයක් පැවැති විට, පිටරටින් සහල් ආනයනය කළ බව අපි දනිමු. එකල අපේ දේශීය සහල් සමඟ පිටරට බාල සහල් වර්ග කලවම් කර දේශීය සහල් බවට වෙළෙඳපොළට නිකුත් වූ අවස්ථා බොහෝ තිබිණි. එහිදී ද වැඩිපුරම ඇඟිල්ල දිගු වූයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් වෙතමය.

මේ අනුව පෙනී යන්නේ අපේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් වුවද පිරිසුදු බත් වේලක් විශ්වාසයෙන් කන්නට හැකියාවක් නොමැති බවය. මන්ද බත සකසන සහල් වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේදී ඒවායේ ප්‍රමිතිය, ගුණාත්මක භාවය පිළිබඳව සියයට සීයක් විශ්වාසය තැබිය නොහැකි නිසාය. එහිදී වැඩිපුරම තක්කඩි වැඩ කරන්නේ මහ මෝල්ලුන්ය. 

කෙසේ නමුත් පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර මහා පරිමාණ හාල් මෝලේ හොඳ සහල් සමඟ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ජරා සහල් කලවම් කරන මගඩිය මේ අන්දමට හෙළිදරව් කර ගැනීමට හැකිවීම සැබැවින්ම සුවිශේෂී  ජයග්‍රහණයකි. මෙය එක් සහල් මෝලක එක් සිදුවීමක් පමණක් වන අතර මේ මෝල හැර තවත් මෙවැනිම මෝල් පොළොන්නරුවේ තිබෙන බව මේ නිලධාරීන් සහ අදාළ වගකිවයුතු අංශ සිත්හි තබා ගැනීම ඉතාමත් වැදගත්ය.

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ සහල් සහිත අසුරන හොඳ සහල් සහිත අසුරන සමඟ ගබඩා කිරීම, සහල් අසුරනවල මිල, නිෂ්පාදනය කරන ලද දිනය, සහ කල් ඉකුත් වීමේ දිනය සඳහන් නොකිරීම, කාණ්ඩ අංකය වෙනස් කිරීම, උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලක් සඳහන් කිරීම යනාදී පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම යටතේ අදාළ සහල් නිෂ්පාදන සමාගමට එරෙහිව පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරීමට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පියවර ගත්හ. 

 එහිදී සමාගම වෙනුවෙන් ඉදිරිපත් වූ නියෝජිතයා අදාළ චෝදනාවලට නිවැරැදිකරු බව කියා සිටි අතර රුපියල් ලක්‍ෂයක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා නියෝග කළේය. 

 දැනට සීල් තබා තිබෙන ගබඩාවේ චෝදනාවට ලක්ව තිබෙන සහල් වර්ග සති දෙකක කාලයක් ඇතුළත මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කල් ඉකුත්වූ සහල් සහ අනෙකුත් සහල් ලෙස වෙන වෙනම ගබඩා කරන ලෙසට විත්තිකාර සමාගමට අධිකරණයෙන් නියෝග කෙරුණු අතර ඒ සදහා සති දෙකක කාලයක් ද ලබා දෙනු ලැබීය. 

 පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.

 

තිළිණ යහම්පත්


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com