www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බග්දාදි ඝාතනය අල් හෂිම් ආගමනය ISIS අනාගතය


2019-11-05 07:50:44 -  243 යි

නිහාල් පීරිස්

අබූ බකර් අල් බග්දාදිගේ මරණයෙන් පසු අයි.එස්. සංවිධානයේ ඉරණම කුමක් වේවි ද? මෙය ඔක්තෝබර් 26 වැනි දින සිදු වූ අයි.එස්. නායකයාගේ මරණයෙන් පසු කාගේත් අවධානය යොමු වූ කාරණයක් විය. කෙසේ නමුත් ඔහුගේ මරණයෙන් දින 5 ක් ගතවෙත්ම එම සංවිධානය නව නායකයකු ගැන නිවේදනයක් නිකුත් කළේය. එම සංවිධානයේ ප්‍රකාශක ලෙස පත්ව සිටින අබු හම්සා අල්-කුරේෂි විසින් මීට අදාළව නිකුත් කරන ලද හඬ පටයකින් පැවසුණේ අබු ඉබ්‍රහිම් අල් හෂිමි අල්-කුරේෂි අයි.එස්. සංවිධානයේ නව නායකයා ලෙස පත් කර ඇති බවයි. මෙහි ඇති විශේෂත්වයක් වූයේ අල් හෂිමි අල්-කුරේෂි යනු මෙම සංවිධානය පිළිබඳව අවධානයෙන් පසුවන බුද්ධි අංශ වැනි පාර්ශ්ව මෙයට පෙර එතරම් අසා තිබූ කෙනකු නොවීමයි.

අයි.එස්. සංවිධානය පිළිබඳව අධ්‍යයනය කරන විවිධ විශේෂඥයන්, බුද්ධි අංශ නිලධාරීන් වැනි අය මෙවැනි කෙනෙකු නායකත්වයට පත් වනු ඇතැයි එතරම් බලාපොරොත්තු නොවූ බවක් පෙනිණි. ඒ වෙනුවට අයි.එස්. හි ඊළඟ නායකයා වනු ඇතැයි වැඩිපුරම කතාබහට ලක් වූ චරිතයක් වූයේ අබ්දුල්ලා කර්දාෂ් නමැත්තායි. අබු සලේ අල්-ජුස්රාවි සහ අබු ඔත්මාන් අල්-තුන්සි වැනි නම් ද සමහර මාධ්‍ය තුළ කතාබහට ලක් වනු දැකිය හැකි විය. අබ්දුල්ලා කර්දාෂ්ට, බග්දාදි විසින්ම මීළඟ නායකත්වය පිරිනමනු ලැබ ඇතැයි යන වාර්තා පවා මාධ්‍ය තුළ පළ වී තිබිණි. පසුගිය අගෝස්තු මාසයේ බග්දාදි ගුවන් ප්‍රහාරයකින් තුවාල ලැබූ බවත්, එමෙන්ම ඔහු ඒ වනවිට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ගෙන් ද පීඩා විඳිමින් සිටි බවත්, මෙම පසුබිම තුළ ඔහු එම අවස්ථාවේ කර්දාෂ්ට යම් යම් බලතල පැවරූ බවත් සඳහන් විය.

නමුත් ඉරාකය වැනි රටවල බුද්ධි අංශ මෙහිදී පවසා තිබුණේ මෙම කතාවල එතරම් සත්‍යයක් තිබිය නොහැකි බවයි. කර්දාෂ් මෙයට කලකට පෙර මියගොස් ඇති බවට තොරතුරු ඇතැයි ද ඇතැම් පාර්ශ්ව සඳහන් කර තිබිණි. කෙසේ හෝ වේවා, අවසානයේ අයි.එස්. නව නායකයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කවුරුත් එතරම් බලාපොරොත්තු නොවූ කෙනෙකි. සමහර විට මොහු ව්‍යාජ නමකින් පෙනී සිටින, දන්නා කෙනකුම විය හැකි බවට ද ඇතැමුන් අදහස් දක්වා තිබිණි.

කෙසේ වෙතත්, මේ ආකාරයෙන් නායකත්වයට පත් වූ අල් කුරේෂි අධ්‍යාපනික වශයෙන් ඉහළ සුදුසුකම් ලැබූ විද්වතෙකු ලෙස ද එම සංවිධානය විසින් හඳුන්වනු ලැබ තිබෙනු දැකිය හැකි විය. කලින් සඳහන් කළ ලෙසම ඔහු වැඩි ප්‍රසිද්ධියක් නැති කෙනකු වුවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් මාධ්‍ය සමග පවසා තිබුණේ ඔහු පිළිබඳ බොහෝ තොරතුරු දන්නා බවයි. නමුත් අයි.එස්. සංවිධානය පිළිබඳ විශේෂඥයන් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සමග එතරම් එකඟතාවක් දක්වන්නේ නැත. ඔවුන්ගේ අදහස නම් අල් කුරේෂි තරමක අබිරහසක් බවය. කෙසේ හෝ වේවා, මෙම නව නායකයා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා ගැනීම සඳහා විවිධ බුද්ධි අංශ මේ වනවිට මෙහෙයුම් දියත් කරමින් සිටින බව වාර්තා වේ. අයි.එස්. සංවිධානය තුළට ඇතුළු කර සිටින ඔත්තුකරුවන් හරහා ද, දුරකතන ඇමතුම් ආදියට රහසේ සවන් දීම හරහා ද මේ සඳහා ඔවුන් උත්සාහ ගනිමින් සිටින බව පැවසේ.

මේ අතර බග්දාදිගේ මරණය අයි.එස්. සංවිධානයේ අනාගතයට කවර ආකාරයෙන් බලපානු ඇත් ද යන්න තක්සේරු කර ගැනීම සඳහා ද බොහෝ විශ්ලේෂකයෝ උත්සාහ ගනිමින් සිටිති. බග්දාදි යනු අයි.එස්. සංවිධානයේ අතිශය ආකර්ෂණීය නායකයකු වූ බව රහසක් නොවේ. ලොව විවිධ කලාපවල සිටි තරුණ තරුණියන් සිය සංවිධානය වෙත දිනාගැනීමට ඔහු විශේෂ සමත්කමක් දැක්වූයේය. අන්තර්ජාලය වැනි මාධ්‍ය භාවිත කරමින් ඔහු අයි.එස්. සංවිධානයට තරුණ පිරිස් ආකර්ෂණය කරගත් අතර මැදපෙරදිග කලාපයේ පමණක් නොව ලොව වෙනත් ඉසව්වල ද අතිශය බිහිසුණු, ම්ලේච්ඡ ප්‍රහාර දියත් කිරීමට සමත් වූයේය. කලක් සිරියාවේ සහ ඉරාකයේ අති විශාල භූමි ප්‍රදේශයක් පාලනය කරන තත්ත්වයට ඔහු අයි.එස්. සංවිධානය වර්ධනය කළ අතර මේ ආකාරයෙන් ඔවුන්ගේ පාලනය යටතේ පැවැති ප්‍රදේශය බ්‍රිතාන්‍යයේ භූමි ප්‍රමාණයට සමාන වූ බව පැවසිණි.

පසුකාලයේ මෙම භූමි ප්‍රදේශ සම්පූර්ණයෙන් ම වාගේ ඔවුන් ට අහිමි වූ බව ද රහසක් නොවේ. කෙසේ නමුත් අයි.එස්. සංවිධානය තුළ ඉතා ප්‍රබල භූමිකාවක් ඉටු කළ, දැවැන්ත ප්‍රතිරූපයක් හිමි කරගෙන සිටි බග්දාදිගේ මරණය එම සංවිධානයට දැඩි බලපෑමක් කරනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ අතර ඇතැම් විශ්ලේෂකයන් තර්ක කරන්නේ මේ වනවිට තරමක් විසුරුණු තත්ත්වයක පවතින අයි.එස්. සංවිධානය නැවත ඒකරාශී කරන සාධකයක් බවට වුව බග්දාදිගේ මරණය පත්විය හැකි බවයි. කෙසේ නමුත් එය නව නායකයාගේ ශක්තිය සහ දක්‍ෂතාව, ආකර්ෂණීයත්වය මත බොහෝ දුරට රඳා පවතින්නක් වනු ඇත.

බග්දාදිගේ මරණය නිසා අයි.එස්. අනුගාමිකයන් තුළ ඇති විය හැකි පසුබෑම වැළැක්වීම සඳහා පළිගැනීමේ ප්‍රහාර දියත් කිරීමට ඇති ඉඩකඩ ගැන ද මේ වනවිට විශාල අවධානයක් යොමු වෙමින් තිබේ. නව නායකයා නිවේදනය කරමින් නිකුත් කළ හඬ පටයෙහි අඩංගු වූ විශේෂ කාරණයක් වූයේ ද ඇමෙරිකාවට යොමු කර තිබූ අනතුරු ඇඟවීමයි. බග්දාදිගේ මරණය ගැන වුවමනාවට වඩා සතුටු නොවන ලෙස එහි පවසා තිබූ අතර පළිගැනීමේ ප්‍රහාර බලාපොරොත්තුවෙන් සිටින ලෙස ද අනතුරු අඟවා තිබිණි. ඇමෙරිකාව මෙන්ම වෙනත් බටහිර රටවල් ද එබඳු ප්‍රහාරවල ඉලක්ක බවට පත් වීමේ අවදානමක් ඇති බව ආරක්‍ෂක විශේෂඥයන්ගේ අදහසයි.

මේ වනවිට අයි.එස්. සංවිධානය යනු බොහෝ දුරට විමධ්‍යගත වූ සංවිධානයකි. රටවල් රැසක ඔවුන් සමග සබඳතා පවත්වන සංවිධාන බිහි වී තිබේ. ලොව විවිධ කලාපවල ක්‍රියාත්මක මෙවැනි සංවිධාන 14 ක් පමණ පවතින බව ද සඳහන් වෙයි. මෙම තත්ත්වය තුළ ආරක්‍ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ එක් නායකයකුගේ මරණය දීර්ඝ කාලීනව ගත් කල අයි.එස්. සංවිධානයට සහ ඔවුන් සමග බැඳුණු සංවිධානවලට කළ හැකි බලපෑම එතරම් විශාල නොවනු ඇති බවයි.

මේ අතර සිරියාවෙහි උතුරු නැගෙනහිර කලාප තුළ කාලයක් තිස්සේ රඳවා සිටි ඇමෙරිකානු හමුදා සෙබළුන් ඉවත් කර ගැනීමට පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් පියවර ද අයි.එස්. කණ්ඩායම්වලට නැවත සංවිධානය වීමට හිතකර පරිසරයක් ගොඩ නගනු ඇති බව ආරක්‍ෂක විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. මෙම කලාපය තුළ ඇමෙරිකානු හමුදා සහ කුර්දි සටන්කාමීන් එක්ව අයි.එස්. සංවිධානයට එරෙහිව විශාල සටනක් කරමින් සිටි බව රහසක් නොවේ. නමුත් දැන් ඇමෙරිකානු හමුදා ඉවත් වීමත් සමග කුර්දි සටන්කාමීහු හුදෙකලා වී සිටිති. මේ අතර කුර්දි කණ්ඩායම් මෙම ප්‍රදේශයෙහි ස්වයංපාලන කලාපයක් පිහිටුවා ගෙන සිටීම තම රටට තර්ජනයක් ලෙස සලකන අසල්වැසි තුර්කිය මෙම කණ්ඩායම්වලට එරෙහිව ප්‍රහාර දියත් කර ඇත්තේ ඔවුන් මෙම කලාපයෙන් පලවා හැරීම සඳහා ය. මෙම තත්ත්වය තුළ අයි.එස්. සංවිධානයට හිතකර පසුබිමක් නැවතත් මෙම කලාපය තුළ නිර්මාණය වී ඇති බව බොහෝ විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත්, බග්දාදි නමැති සාධකය ඉවත් කිරීමෙන් ලබාගත් ජයග්‍රහණය තවදුරටත් මුවහත් කර ගනිමින් ඉදිරියට යාමට අයි. එස්. විරෝධි පාර්ශ්ව ද මේ මොහොතේ සියලු උත්සාහයන් දරනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com