www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යටිපතුල් පළලා ලුණු ගම්මිරිස් දාන වෙන්නප්පුවේ පාතාල නරුමයෝ


2019-11-04 19:48:32 -  312 යි

ඕලු මරා යනු කවුරුන්ද? වෙන්නප්පුව ප්‍රදේශයට නම්  මේ නම හුරුය. ඕලු මරා කී සැණින් ඒ ප්‍රදේශයේ කොයි කවුරුත් තැති ගන්නේ මේතාක්් පාතාල අපරාධකරුවකුගේ චරිතයකට පණ පෙවූ නිසාය.

මේ කුප්‍රකට පුද්ගලයා පදිංචිව සිටින්නේ වෙන්නප්පුව සිරිගම්පල ජනපදයේය. කොයි අපරාධකරුවාටත් පාතාල නිජබිමක් ඇත. ඕලු මරාගේ නිජබිම බවට පත්ව ඇත්තේ සිරිගම්පල ජනපදයය. පාතාල කෙරුමන් බිහිවීමට හේතු වන සාධක පිරි සමාජයක ඕලු මරා බිහි වන්නේ පාතාල නඩු හබ විසඳන ජවනිකාවකට පණ පොවමිනි. කුණු ගොඩට කුණු එකතු වන්නේ කෙලෙසද? මෙකී අංකුර නරුම පාතාලයා සමඟද තව තව නරුමයන් පිරිසක් එක්් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම හරහාය.

ඕලු මරා නමැති නාමය මොහුට පටබැඳුණු හැටිද හරි අපූරු එකෙකි. මේ කියන ඕලු  මරා කලක් මාළු වෙළෙදාමටද අත පොවා ඇත. ඒ කාලයේ මාළු වෙළෙදාමට වඩා මේ නරුමය කළේ මාළු හොරකමය. මාළු හොරා, ඕලු මරා වූයේ මාළු හොරා වදන කණපිට පෙරළීමෙනි. බොහෝ දෙනකු එළිපිට මාළු හොරා කීමට බැරි නිසා ඕලු මරා කියා අන්වර්ථ නමක් පටබැන්දේ උෟ ඒ තරමට මාර ජුවල්, අමුතු මානසිකත්වයකින් පෙළුණු අයකු වූ බැවිනි.

මෙකී මාළු හොරා නොහොත් ඕලු මරා යතුරුපැදියේ නැඟී යද්දී වෙන අයකු උෟ පසුකරගෙන ඉදිරියට ගියොත් ගෝරියකි. ගෝරිය කෙළවර වන්නේ පොලු, මුගුරුවලින් පහර දීමෙනි. ඇතැම් අවස්ථාවලදී කඩු, කිණිසිද මේ ගෝරිවලට  එක්කාසු වන නිසා මේ චණ්ඩියාට කොයි කවුරුත් බිය වන්නට වූහ.

අවස්ථා කිහිපයකදීම මේ නරුමයා, පොලිස් අත්අඩංගුවට පත්විය. ඇපමත නිදහස්ව පැමිණි පසු චණ්ඩිකම් දෙගුණ තෙගුණ වූයේ තවත් අපරාධකරුවන්ගේ ඇසුර හා ගුරුහරුකම්ද ලැබුණු නිසාය. 

අනේ මහත්තයෝ මගේ සල්ලි වගයක් අහවලා ළඟ තියෙනවා. ඉල්ලන ගාණක් දෙන්නම් ඒ ටික අරගෙන දෙන්නකෝ ණය පලහිලව් විසදා දෙන ලෙස එක එක ව්‍යාපාරිකයන් ඕලු මරා ගෙන් ඉල්ලන්නට වූයේ මොහු වෙන්නප්පුවේ චණ්ඩියා බවට පරිවර්තනය කරමිනි. 

ණය මුදල් ගනුදෙනු බේරාදෙන ක්‍රමයක් සොයාගෙන සිටි ඕලු මරා අතට ලැබෙන කොමිස් මුදල් ප්‍රමාණය ගැන කතා කරගෙන කොන්ත්‍රාත්තුව භාරගත්තේ දෙකින් එකක් තීරණය කරන බවට පොරොන්දු දෙමිනි. 

ඒ අනුව ඕලු මරා ගේ කල්ලියේ එකකු ණයගත් පුද්ගලයා සොයා යන්නේ ඕලු මරා ගේ අණ පිළිපදිමිනි. අනේ සර් මම ණය උගුලක පැටලිලා ඉන්නේ දවස් කිහිපයක් දෙන්න ණයකරු බැගෑපත් වන්නේ ඕලු මරා වැඩේට අතගසා ඇති නිසා බියට පත්ව තැති ගනිමිනි. ඒ අනුව තව තවත් ණය වී හෝ ඒ ගත් මුදල් පියවන්නට ණයකරු ක්‍රියා කරන්නේය. 

මේ වගේ වැඩ රාජකාරි ඕලු මරා කරා ගලා එන්නට පටන් ගන්නේ කුප්‍රකට පාතාල චණ්ඩිකමක් ද මේ නරුමයාට උරුම කරදෙමිනි. මේ වගේ ණය ප්‍රශ්න විසඳීමේදී ඇතැමුන්ට ඇත්තටම ගත් ණය ආපසු දීමට නොහැකි වූ විට ඕලු මරා නිකන් බලා සිටියේ නැත. වධදී හෝ ප්‍රශ්නය විසඳීමට මේ නරුමය පෙලඹෙන්නේ ඊට පසුවය. 

මත්කුඩු ජාවාරමටද අත ගසන්න මෙකී නරුමයාට අවස්ථාව හිමිවන්නේ මත්කුඩු ජාවාරම්කරුවන් හඳුනාගැනීමට අවස්ථාව උදාවීමෙනි. ඒක තමා නියම බිස්නස් එක නරුමයාට ඒ බව තේරුම් ගියේ වතුර පයිප්පෙන් වතුර ගලන්නා සේ මත්කුඩු ව්‍යාපාරය හරහා අතට කාසි පනම් ගලා එන්නට ගත් පසුවය.

සිරිගම්පල ජනපදය ද ඕලු මරාගේ පදයට නටන්නට ගත්තේ මඟුලක්, අවමඟුලක්, කරදරයක් දුකක් වූ විට ඕලු මරා කළු සල්ලි ඒ මිනිසුන්ට නිර්ලෝභීව පරිත්‍යාග කරන්නට වූ පසුවය. ඕලු මරා ට පිරිස් බලය මෙන්ම මිනිස් බලයද ළඟට ආවේ ඊට පසුවය. ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් මැඬපැවැත්වීමට වෙහෙසෙන පොලිසියට පවා ඕලු මරා අල්ලා ගැනීමට නොහැකි ලෙස මිනිස් පලිහක් ඕලු මරා වටා තිබිණි. කොයි පාතාල නායකයකුට වුවද ළංව සිටින මිනිස්සු සිටිති. ඒනිසා කලක් තිස්සේම මේ පාතාල අංකුර නරුමයාටද විවිධ අපරාධ කරමින් මුදල් හම්බ කරන්නට පොට පෑදී තිබිණි.

මේ අතර කාලයේදී මිනිස් ඝාතනයක් සිදුකිරීමටද මේ නරුමයා, සමත් වන්නේ චණ්ඩිකමට සහතිකයක්ද ලබාගනිමිනි. පොලිසියට කට්ටි පනිමින් පාතාල ජඩකම් කළ මේ නරුමයා සිරිගම්පල ජනපදයේ වධකාගාරයක් ආරම්භ කරන්නේ වධ දී හෝ ප්‍රශ්න විසඳන හිට්ලර්, ඉඩි අමින් ආදී කෘෘර පාලකයන්ගේ අඩිපාරේ යමිනි. ප්‍රදේශයේ ජඩකම්, මැරකම් හා පාතාල අපරාධ පිළිබඳ පොලිසියද සිටියේ විසිහතර පැයේම විමසිල්ලෙනි.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාට මේ අපරාධකරු පිළිබඳ තොරතුරු ලැබෙන්නේ මේ අතරය. විශේෂ පොලිස් කණ්ඩායමක් කැඳවා ප්‍රදේශයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කරගන්නට මෙහෙයුම පටන් ගන්නේ ඒ අනුවය.

ඕලු මරා නමැති අපරාධකරු ඇල්ලීමේ මෙහෙයුම සැකසෙන බවත් මේ පාතාල නරුමයා දැන සිටියේ නැත. සහකාර පොලිස් අධිකාරිවරයා හා වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් ඕලු මරා නමැති අපරාධකරු, මත්කුඩු ජාවාරම්කරු අත්අඩංගුවට ගන්නේ හෙරොයින් සමඟිනි. 

සැකකරු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පිළිබඳ පොලිස් පරීක්ෂණ එතැනින් හමාර වූයේ නැත. මෙකී විශේෂ පොලිස් කණ්ඩායම සැකකරුගේ නිවෙස සෝදිසි කළේ ලැබුණු තවත් තොරතුරකට අනුවය. ඒ අනුව නිවෙසේ තිබූ නවීන පන්නයේ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජාලය සමඟින් හෙළිකරගත හැකිවෙතැයි විශ්වාස කරමිනි.

නමුත් මෙම ජංගම දුරකථන දෙකේ තිබූ ජායාරූප හා වීඩියෝ දර්ශන දුටු පොලිස් නිලධාරීහු අන්ද මන්ද වූහ. එහි තිබූ ඇතැම් රූපවල තිබුණේ යට ඇඳුම් පිටින් සිටින තරුණයන්ට පහර දෙන දර්ශනය. කොටින්ම  එය වධකාගාරයක් බඳු තැනකි.

මේ අතරතුර මෙකී අපරාධකරු සමඟ සම්බන්ධතා පැවැත්වූ රන් චාමර නමැත්තාද පොලිස් අත්අඩංගුවට පත්වූයේ 30 වැනිදාය. ඕලු මරාගේ ජංගම දුරකථනවල තිබූ ඡායාරූපවල මෙකී රන් චාමර නමැති සැකකරු සිටින බව පොලිසිය හඳුනාගත්තේය. රන් චාමර නමැති සැකකරු තරුණයන්ට වධදෙන ආකාරය  එම ජායාරූපවල තිබී ඇත. රන් චාමර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 200ක්ද තිබී ඇත. මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේ කිරිමැටියාන ප්‍රදේශයේදීය. 

ඕලු මරා නමැති සැකකරුට තාමත් වයස අවුරුදු විසිතුනකි. කටේ කිරි සුවඳ නොගියත් මිහිපිට ඇති දහජරා වැඩ සියල්ලම ඒ වයස තුළ කිරීමට තරම් මොහු සමත් වූයේ නරක ඇසුර නිසාය. චානක මධුෂාන් නොහොත් ඕලු මරාගේ මෙකී වධකාගාරය පිහිටා තිබුණේද වෙන්නප්පුව සිරිගම්පල ජනපදයේය.

මේ අංකුර පාතාල නායකයාගේ වධකාගාරය සොයා ගත් පොලිසිය තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගෙන ඇත. 

මීට මාස කිහිපයකට පෙර ඕලු මරාට එරෙහිව තරුණයෙක් යම්කිසි ප්‍රකාශයක් කර ඇත. ඒ ප්‍රකාශය කනවැකුණු පසුයක්ෂාරූඪ වූ මෙකී නරුමයා වහාම එකී තරුණයා කුදලාගෙන ආවේ වධකාගාරයටය. වධකාගාරය තුළදී තරුණයාගේ ඇඳුම් ටික ලිහා දැමූ නරුමයා එල්ලා පහර දුන්නේ නියම වධක චරිතයකට පණ පොවමිනි. දැනට පොලිසිය අනාවරණය කරගෙන තිබෙන තොරතුරුවලට අනුව විවිධ හේතු මත වධකාගාරයට කුදලාගෙන පැමිණි තරුණයන්ගේ දෙපතුල්වලට ඇණ ගසා කෘෘර වධහිංසා පමුණුවා ඇත. වධක බන්ධනවලට ලක්වූ තවත් අයගේ යටිපතුල් පළා ලුණු මිරිස් දමා ඇතැයිද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මේ වධහිංසාවලට ලක්වූ කිසිවකු මේ පිළිබඳව පොලිසියට දැනුම් දී නැත. ඊට හේතුව වෙන කිසිවක් නොව ඕලු මරා ඒ තරමටම වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශය සිය අණසකට ගනිමින් සිටි නිසාය. ඉකුත් වසර දෙකක කාලයක් තුළ පාතාල කිරුළ  සොයමින් ගිය ඕලු මරා දැන් රිමාන්ඩ් භාරයට පත්ව සිටියද ඔහුගේ ගෝල බාලයන් කිහිපදෙනකු තාමත් එළියට වී පාතාල ගුරාගේ අඩිපාරේ යමින් සිටින බවද පොලිසිය පවසයි.

මෙහි ජංගම දුරකථනයේ තිබූ වීඩියෝ පටයක තරුණයකුට වධ දෙමින්, මත්පැන් බොන වධකයන් සිටින දර්ශනයක්ද ඇත.. හෙරොයින්වලට ඇබ්බැහි වූ මෙකී අංකුර පාතාලයාගේ ගෝලයන් බව කියන ඒ පිරිසද අද හෙටම අත්අඩංගුවට ගැනීමට පොලිස් දැල එළා ඇත.

රිමාන්ඩ් බන්ධනාගාරය අපරාධකරුවන්ට පාතාල දැනුම ලබාදෙන තක්සලාවක්  බව රහසක් නොවේ. ඕලු මරා දැන් ඒ තක්සලාවේ සිට ඊළඟ සැලසුම් සකස් කරන බව කීමේ වරදක්ද නැත.

වෙන්නප්පුව, සිරිගම්පල ජනපදය, පාතාල නිජබිමත් කරගනිමින් සිටි ඕලු මරා ගේ වධකාගාරය දැන් රටටම හෙළි වී ඇත. 

මෙකී වධකාගාරයේ වධ හිංසාවලට ලක්ව නිහඬව සිටි තරුණයන්ද මේ වනවිට පොලිසිය විසින් හඳුනාගනු ලැබ ඇත. අංකුර පාතාල අපරාධකරුවන්ට බියේ මේ වධකාගාරය පිළිබඳව පොලිසියට පැමිණිලි නොකළ අයට මේ වධකාගාරය පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙස පොලිසිය ඔවුන්ගෙන් ඉල්ලා සිටී.

හිට්ලර්ගෙ,් ඉඩිඅමින්ගේ අඩිපාරේ යමින් සිට මාළු හොරා නොහොත් ඕලු මරා ගේ ගමන මෙතැනින් නතර කළ යුතුය. වෙන්නප්පුව වැනි ප්‍රදේශයක තිබූ මේ වධකාගාරය පිළිබඳ එම ප්‍රදේශයේ ජනතාව පවා නිහඬව සිටියේ මන්ද? පාතාල කෙරුමන්ට සාමාන්‍ය මිනිසුන් බියය. ඒ බිය තුන්බියට වඩා භයානකය. ඕලු මරාත්, ඕලු මරාගේ ගෝල බාලයන් පිරිස වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුය. රටේම පාතාලය වනසන බව කියන අයට මේ වධකාගාරය ඇස ගැසුණේ පමා වෙලාය. 

හලාවත ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුරන්ජන් කුමාරපේලි, වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායම තවදුරටත් මෙහි පරීක්ෂණවල යෙදී සිටිති. පොලිසිය දෙසත්, ඕලු මරාගේ පාතාල කෙරුවාවන් දෙස රට බලා සිටින බව අපි ලියා තබමු.

 

ශිරාන් රණසිංහ  

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com