www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඊළඟ ගේමට කොටි රෙඩිවන හැටි... ගෝපි, අප්පන් සහ තේවියන් දාමයේ ඊළඟ පුරුක තීබන් හසුවෙයි....!


2019-10-27 09:10:34 -  1221 යි

විශේෂ මෙහෙයුමක් දියත් කළ මැලේසියානු ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය ඉකුත් සතියේදී එල්ටීටීඊය නැවත ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා කි‍්‍රයාත්මක වෙමින් සිටි එරට දේශපාලනඥයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් දොළොස් දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

මෙම පිරිස එල්ටීටීඊය නැවත පණගැන්වීම සඳහා කෝටි ගණනින් අරමුදල් රැස්කර තිබෙන අතර ඔවුන්ගේ ගිණුම් හරහා අති විශාල ගනුදෙනු ප‍්‍රමාණයක් සිදුව තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පසුව මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වූ මැලේසියානු ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රධානී අයෝබ් ඛාන් මහතා පැවසීය. එසේම එල්ටීටීඊය මැලේසියාව තුළ ප‍්‍රබල ලෙස ස්ථානගත වෙමින් සිටින බවද කී හෙතෙම එයට තිත තැබීම මැලේසියානු ආරක්‍ෂක අංශවල අරමුණ බවද අවධාරණය කළේය.

මැලේසියානු ත‍්‍රස්ත විමර්ශන ඒකකය මේ පිළිබඳව ඉන් එහා කිසිත් හෙළිදරව් කළ බවක් වාර්තා නොවීය. අත්අඩංගුවට ගෙන සිටින්නේ කවුරුන්ද ආදී වශයෙන් කිසිත් හෙළි නොකිරීමට ඔවුහු කටයුතු කළහ. ඇතැම්විට මේ විමර්ශනයේදී අත්‍යවශ්‍ය කරුණු අනාවරණය කරගැනීම සඳහා වෙනත් විදේශ රාජ්‍ය්‍යන්හි බුද්ධි අංශ සමග ඔවුන් තොරතුරු හුවමාරු කරගත්තා විය හැකිය. එහෙත් මාධ්‍ය සංදර්ශන නම් තිබුණේම නැත.

මේ තත්ත්වය මැලේසියාවට අලූත්ම අභියෝගයකි. අද එරට ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකයේ එකම අරමුණ බවට පත්ව තිබෙන්නේ කෙසේ හෝ කඩිනමින් එය විනාශ කර දැමීමය. එහෙත් මැලේසියාව මෙන් නොව, ශී‍්‍ර ලංකාව යනු ත‍්‍රස්තවාදය හමුවේ තිස් වසරක් පුරා හොඳහැටි බැට කා දහසකුත් කැපකිරීම් තුළින් එය වනසා දැමූ රාජ්‍යයකි.

එසේ ත‍්‍රස්තවාදයට තිත තබනු ලැබුවද එය සහමුලින්ම වනසා දමන්නට මේ දක්වාම අපට නොහැකි ව ඇත. අවසන් සටනේදී මෙරටින් පැන ගිය එල්ටීටීඊයේ සන්නද්ධ සහ බුද්ධි අංශ නායකයෝ මෙන්ම සටන් පෙරමුණේ සිටි ඇතැම් ත‍්‍රස්තයෝ රැසක් අදටත් විදේශගතව සිටින්නාහ.

වේලූපිල්ලේ ප‍්‍රභාකරනගේ අවසානය සිදුවූ 2009 වසරින් පසුව ඉකුත් 2012 වසරේ සිට අවස්ථා කිහිපයකදීම එසේ ආරක්‍ෂක අංශවලින් බේරී විදේශගත වූ කොටි ත‍්‍රස්තයෝ සහ උතුරේ රැඳී සිටින හිටපු ත‍්‍රස්තවාදීහු එල්ටීටීඊයට යළි පණ දෙන්නට ගත් උත්සාහයන් රැසක්ම විය.

මෙහිදී ප‍්‍රහාරයකට සූදානම්ව ඉකුත් 2014 වසරේ මුලතිව් නෙදුන්කර්නි කැලයේ ආයුධ සන්නද්ධව සැඟව සිටියදී යුද හමුදා ප‍්‍රහාරයකින් මියගිය ප‍්‍රබල එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් තිදෙනකු වූ ගෝපි, අප්පන් සහ තේවියන්ගේ මතුවීම ඉතා බරපතළ සිදුවීමක් ලෙසද පෙන්වා දිය හැකිය.



2012 වසරේ ති‍්‍රකුණාමලය වැව් බැම්ම මතදී යුද හමුදා ඔත්තුකරුවකුව සිටි ඊපීඞීපී මුත්තු ඝාතනයෙන් ආරම්භ කළ කොටින්ගේ ඒ උත්සාහය කවුරුන් කුමක් කීවත් මේ මොහොතේද කි‍්‍රයාත්මකව තිබෙන්නකි. එහි අලූත්ම කතාව බවට දැන් පත්ව ඇත්තේ ඉකුත් සතියේ ති‍්‍රකුණාමලය සාම්පූර් ප‍්‍රදේශයේදී යුද හමුදා හත්වන සන්නද්ධ බුද්ධි බළකාය මගින් හිටපු ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදයකු වූ තීබන් නොහොත් ජෝශප් පීටර් රොබින්සන් අත්අඩංගුවට ගැනීම වේ.

එහෙත් රට ඉදිරියේ තිබෙන අභියෝගයේ තරම එසේ වෙද්දී අද මෙරට තුළ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? යුද හමුදාව මගින් තීබන් නොහොත් ජෝශප් පීටර් රොබින්සන් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දීමෙන් පසුව සිදුවූ සිදුවීම් පෙළ මේ මොහොතේ එය පෙන්වා දීමට ඇති හොඳම උදාහරණය ලෙස සඳහන් කළ හැකිය.

එල්ටීටීඊයේ ජාත්‍යන්තර ජාලයේ සැලසුමකට අනුව කොටි ත‍්‍රස්තවාදීන් තවත් අඩව්වකට සැරසෙන බව යුද හමුදා සහ නාවික බුද්ධි අංශවලට කලක සිට තොරතුරු වාර්තා වී තිබිණි. එය යහපාලනය බලයට පැමිණීමෙන් පසු ඉකුත් 2016 වසරේදී මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් ඇතුළු අවි ආයුධ රැසක් සමග හිටපු මාරගෙන මැරෙන කොටියකු වූ එඞ්වඞ් පුලියන් චාවාකච්චේරියෙන් මතුවීමේ සිද්ධියෙනුත් එහාට ගිය පෙළගැස්මක්ද විය.

ගෝපි, අප්පන් සහ තේවියන් යන ප‍්‍රබල කොටි සාමාජිකයන් තිදෙනා නෙදුන්කර්නි කැලයේදී මරා දැමීමෙන් පසු යුද සහ නාවික හමුදා බුද්ධි අංශ තියුණු ලෙස අවධානය යොමු කර සිටියද යළි හිස එසැවීමේ සිය උත්සාහය අතහැර දමන්නට විදේශගතව සිටිමින් සියල්ල මෙහෙයවන විනයාගම්, සිරංජි මාස්ර් සහ කාලි ඇතුළු කොටි නායකයෝ කිසිවිටකත් සූදානම් නොවූහ.

චාවාකච්චේරියෙන් මතුවූ මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියාගෙන් පසුව මුලිතිව් ඔඞ්ඩුසුඩාන් මාර්ගය ඔස්සේ ති‍්‍රරෝද රථයකින් ක්ලේමෝ බෝම්බ ඇතුළු අවි ආයුධ තොගයක් රැගෙන යමින් සිටි කොටි ත‍්‍රස්තවාදීන් පිරිසක් පසුගිය 2018 වසරේදී අහම්බයකින් මෙන් පොලිසියට කොටුවීම සහ වව්නියාව පුලියන්කුලම ප‍්‍රදේශයේ මාර්ග බාධකයකදී ආනන්දරාසා නමැති හිටපු ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදයකු බෝම්බ මල්ලක් අතහැර දමා පලා යෑම ආදී වශයෙන් අවස්ථා කිහිපයකදීම යළි ප‍්‍රතිසංවිධානය වීමට එල්ටීටීඊය දරන උත්සාහය අනාවරණය විය.

මෙහිදී ත‍්‍රස්තවාදීන් පසු පස හඹා ගිය යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය, සිදු වෙමින් තිබෙන්නේ ප‍්‍රංශ, ස්විස් සහ ඉන්දීය කොටි ජාලයන් ඔස්සේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් යළි නැගී සිටින්නට වෙහෙසීම බව ආණ්ඩුවට පෙන්වා දුන්නද ඇතැමුන්ගේ අසත්‍ය මවා පෑම් නිසා එය පිළිගන්නට ආණ්ඩුව මැලිවිය.

යහපාලනය සිතුවේ සහ කීවේ යුද හමුදා බුද්ධි බළකාය රජය අපහසුතාවට පත්කිරීම සඳහා නැති කොටි ත‍්‍රස්තවාදයක් ඇති කරමින් සිටින බවය. එහිදී ඉතා ශෝචනීය තත්ත්වයකට මුහුණ දෙන්නට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට සිදුවිය.

විශේෂයෙන් ඔඞ්ඩුසුඩාන්හිදී කොටි ත‍්‍රස්තවාදීන් පිරිසක් සමග ක්ලේමෝ බෝම්බ ඇතුළු අවි ආයුධ සහිත ති‍්‍රරෝද රථය හසුවීමේ සිද්ධියේදී එකී විමර්ශන මෙහෙයවූ පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය එම සිද්ධියේ සැකකරුවකු ලෙස හමුදා ඔත්තුකරුවකුද අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරනු ලැබීය. එහිදී එම ඔත්තුකරු මෙහෙයවූ බුද්ධි නිලධාරීන්ට දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන්නට සිදු වුවද එය නිවැරදි කරන්නට කිසිවකුත් නොවීය.

එහෙත් මෙවන් කුජීත වැඩ නිසා සිදුවූ දුෂ්කරතා හමුවේ රට වෙනුවෙන් කරගෙන යන වැඩපිළිවෙළ අතහැර දමන්නට රටේ වාසනාවකට මෙන් බුද්ධි නිලධාරීහු සූදානම් නොවූහ. ප‍්‍රංශයට පැන ගොස් සිටින කොටි බුද්ධි නායකයකු වූ විනයාගම්ගේ සැලසුමකට අනුව ස්විස් සහ ඉන්දීය කොටි ජාලය විසින් කි‍්‍රයාත්මක කළ ඔඞ්ඩුසුඩාන් සිද්ධියේදී ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදියකු වූ තීබන් නමැත්තකු පොලිසියෙන් සහ ආරක්‍ෂක අංශවලින් බේරී පලා ගිය බව ඒ දිනවලම යුද හමුදා බුද්ධි නිලධාරීන්ට වාර්තා වී තිබිණි. ඔඞ්ඩුසුඩාන් සිද්ධියේදී කිලිනොච්චිය පූමාන්කුලම්වල සඟවා තිබූ නවීන ස්නයිපර් ගිනි අවි දෙකක් නැගෙනහිර මුතූර් ප‍්‍රදේහයට රැගෙන ගියේ තීබන් හා දිනේෂ්, තරන් නමැති ත‍්‍රස්තයන් බවද හෙළි වී තිබූ තවත් කරුණක් විය.

ඔඞ්ඩුසුඩාන් සිද්ධියේදී පසුව අත්අඩංගුවට ගනු ලැබූ රාමයියා විවේකානන්දන් නොහොත් දිනේෂ් නමැති ත‍්‍රස්තවාදියා තීබන් සමග ඍජු සම්බන්ධකම් පවත්වා තිබෙන බවද බුද්ධි අංශ ඒ දිනවල හෙළිකරගෙන තිබුණු අතර මේ වන විට තීබන්ගේ ප‍්‍රකාශ අනුව දිනේෂ්වද පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එසේම තීබන් සහ දිනේෂ් යන නම් ගෝපි, අප්පන් සහ තේවියන් මරා දැමුණු නෙදුන්කර්නි සිද්ධියේදීද කියැවුණු එකක් බව බුද්ධි නිලධාරීහු දැන සිටියහ. ඒ අනුව තීබන් කොටුකර ගැනීම සඳහා සුවිශේෂී අවධානයක් යොමු කිරීමට ඔවුහු කටයුතු කළහ. ටී 56 ගිනි අවියක්ද සහිතව ප‍්‍රභූ ඝාතනයකට සූදානම් වූ එල්ටිටීඊ ත‍්‍රස්තවාදියකු ති‍්‍රකුණාමලය සාම්පූර් ප‍්‍රදේශයට පැමිණ සිටින බව යුද හමුදා හත්වන සන්නද්ධ බුද්ධි බළකායට මේ අතරතුර ඉකුත් සතියේ වාර්තා විය.

ඒ අනුව යුද හමුදා හත්වන සන්නද්ධ බුද්ධි බළකාය වහාම කි‍්‍රයාත්මක වී එම ත‍්‍රස්තවාදියා අත්අඩංගුවට ගත් අතර ඔහු අන් කිසිවකුත් නොව, ඔඞ්ඩුසුඩාන්වලදී පැන ගිය තීබන් නොහොත් ජෝශප් පීටර් රොබින්සන් බව පසුව හඳුනාගනු ලැබීය. ඔහු සාම්පූර් වෙත පැමිණ සිටියේ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ඝාතනය කිරීමේ සූදානම ඇතිව බවද මේ වන විට හෙළිවී ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් තීබන්ව අනතුරුව කඩිනමින් සාම්පූර් පොලිසියට භාර දෙන්නට යුද හමුදාව කටයුතු කර කළේය. ඒ ඉදිරි විමර්ශන කරගෙන යනු පිණිසය. රටේ පවතින නීතියට අනුව යුද හමුදාවට තීබන්ගෙන් ප‍්‍රශ්න කිරීමේ අවසරයක් නොමැති වීමේ අවාසනාව එලෙස ඔහුව භාර දීමට හේතු විය.

යුද හමුදාව මගින් එසේ සාම්පූර් පොලිසියට භාර දුන් තීබන් කිලිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවට අනාවරණය වීම නිසා පසුව ඔහුව කිලිනොච්චිය පොලිසියට භාරදීමට සාම්පූර් පොලිසිය කටයුතු කළේය. එහිදී සිදු කළ ප‍්‍රශ්නකිරීම්වලදී තීබන් පදිංචිව සිටි කිලිනොච්චිය ප‍්‍රදේශයේ නිවසේ සිවිලිම තුළ සඟවා තිබූ අධිබල පුපුරන ද්‍රව්‍ය ඇතුළු අවිආයුධ සහ ප‍්‍රභාකරන්ගේ රුව සහිත ටී ෂර්ට් ආදී වශයෙන් උපකරණ රාශියක් සොයා ගැනීමටද පොලිසිය සමත් විය.

එහෙත් ඉන් අනතුරුව සිදුවූයේ කුමක්ද? වහාම කි‍්‍රයාත්මක වූ පොලිසිය අවි ආයුධ රැසක් සමග තීබන් නොහොත් පීටර් රොබින්සන් ඇල්ලූවා යැයි මාධ්‍යයට ප‍්‍රසිද්ධ කරමින් මාධ්‍ය සංදර්ශනයක් පවත්වනු ලැබීය. ඒ සමගම සිදුවූයේ තීබන් සම්බන්ධව සිටි කොටි ජාලයේ සියලූ සබඳතා බිඳ වැටී සියල්ල සී සීකඩ විසිරී යෑම විය.

මේ තීබන් නොහොත් ජෝශප් පීටර් රොබින්සන් යනු කවරෙක්ද? වාර්තා වන අන්දමට සේරා නමින් එල්ටීටීඊය විසින් හඳන්වනු ලැබූ තීබන් 1983 වසරේදී පමණ එල්ටීටීඊයට සම්බන්ධ වී තිබෙන්නේ ළමා සොල්දාදුවකු ලෙසිනි. පසුකලක එල්ටිටීඊයේ ප‍්‍රබල සටන් බළකායන් දෙකක් වූ චාල්ස් ඇන්තනි බළකායට මෙන්ම ඉම්රාන් පාණ්ඩියන් බළකායටද සම්බන්ධ වී කටයුතු කර ඇති ඔහු අවසන් සටන ආරම්භ වී තිබූ ඉකුත් 2008 වසරෙදී පමණ යාපනය අර්ධද්වීපයේ හමුදා කණ්ඩායම් වෙත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව පැමිණ සිටියදී යුද හමුදාවට කොටුවී ඇත.

පසුව තීබන්ව මානසික පරිවර්තනයකට පත් කළ යුද හමුදා බුද්ධි අංශ ඔහුව හමුදා ඔත්තුකරුවකු ලෙස යොදා ගැනීමට කටයුතු කරනු ලැබීය. ඌරගේ මාලූ උගේ ඇෙඟ්ම තබා කැපීමේ මේ න්‍යාය ලොව ඕනෑම ඔත්තු සේවාවක් කි‍්‍රයාත්මක කරනු ලබන ක‍්‍රමවේදයකි. සතුරා අඩපණ කර ඔත්තුකරුවන් භාවිතයට නොගත් බුද්ධි සේවාවක් ලොව නැත. මෙහිදී යුද හමුදාවද කි‍්‍රයාත්මක වූයේ එකී න්‍යාය අනුවය.

ඒ තුළ ඇත්තේ සතුරා තුළින් සතුරා විනාශ කිරීම මිස කිසිසේත්ම සතුරා බෝ කිරීමක් නොවන්නේය. පසුගිය කාලයේ රජයට මේ යථාර්ථය වටහා ගැනීමට නොහැකි වූ බවක්ද පෙනෙන්නට තිබුණකි. කෙසේ වෙතත් ඒ අන්දමට 2008 වසරේ සිට යුද හමුදා ඔත්තුකරුවකු ලෙස කි‍්‍රයාත්මක වූ තීබන් අවසානයේ යහපාලනය තුළ බුද්ධි අංශවලට එල්ලවූ අති බිහිසුණු ප‍්‍රහාරයත් සමග යුද හමුදා බුද්ධි අංශවල අවධානයෙන් ගිලිහී ගියේය.

එහෙත් මේ මොහොතේ තීබන් එසේ ගැලවී යෑම යුද හමුදාවේ සැලසුමක් සහ වරදක් ලෙස පෙන්වා දීමට නූතන පොලිස් රාජ්‍යයේ ඇතැම් පොලිස් කාරයන් සැරසෙන බවද දැනගැනීමට ඇත.

අද ත‍්‍රස්තවාදියකු ලෙස යළි අප අතරට පැමිණ ඇත්තේ එසේ ගැලවී ඉගිල ගිය තීබන් නොහොත් ජෝශප් පීටර් රොබින්සන්ය. තීබන් කි‍්‍රයාත්මක කිරීමට සැරසුණේ ස්විස්, ප‍්‍රංශ සහ ඉන්දීය කොටි ජාලය හරහා කි‍්‍රයාත්මක වූ සැලසුමක් බවද මේ වන විට වාර්තා වී ඇත. එහෙත් පොලිසිය තීබන් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය සංදර්ශනයක් තුළින් ප‍්‍රසිද්ධියට පත් කිරීම නිසා මේ මොහොත වන විට ඒ ජාලයට සම්බන්ධ සියල්ල ඇත්තේ ද සැඟවී ගොසිනි. අද මේ රට තුළ ඒකාබද්ධ වූ බුද්ධි කි‍්‍රයාන්විතයක් සකී‍්‍රය ලෙස කි‍්‍රයාත්මක නොවීම මේ අවාසනාවන්ත තත්ත්වයට හේතුව නොවේද?

තීබන්ව අත්අඩංගුවට ගෙන පොලසියට භාර දුන්නද මේ වන විට පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය භාරයේ සිටින තීබන්ගෙන් ප‍්‍රශ්න කිරීමටවත් යුද හමුදා බුද්ධි අංශවලට අවසරයක් නොලැබීම තුළින් පෙනී යන්නේ පවතින කාලකණ්ණි ක‍්‍රමවේදයේ තරමය.

යුද හමුදා ඔත්තුකරුවකු ලෙස කි‍්‍රයාත්මක වෙමින් සිටියදී ඉකුත් 2015 වසරේදී බුද්ධි අංශවලට එල්ල වූ ප‍්‍රහාරයත් සමග හමුදා අධීක්‍ෂණයෙන් ගැලවී ගිය තීබන් අවසානයේ නතර වී ඇත්තේ කටාර් රාජ්‍යයේය. කටාර් රාජ්‍යය යනු මෙරටින් පැන ගිය කොටි ත‍්‍රස්තයන් රැසක් වාසය කරන ඉතා තදින් එල්ටීටීඊ මතවාදය පැතිර ඇති ඉසව්වකි.

යුද හමුදා ඔත්තුකරුවකු වූ තීබන් යළි එල්ටීටීඊ ත‍්‍රස්තවාදියකු බවට පත්ව කොටි ජාත්‍යන්තර ජාලයේ ඉත්තකු වී ඇත්තේ එසේ කටාර් රාජ්‍යයට යෑමෙන් පසුවය. අද විදේශගතව සිටින එල්ටීටීඊ නායකයන්ගේ ප‍්‍රධාන අරමුණ වන්නේ තව තවත් තීබන්ලා බිහි කිරීමය. මේ රට තුළ යළිත් එල්ටීටීඊය සකී‍්‍රය වන තාක් කල් ඔවුන්ගේ පැවත්මද සුරක්‍ෂිත වීම එයට හේතුවී ඇත.

ඕනෑම රටක අභ්‍යන්තර යුද ගැටුමකින් පසු සියල්ල යථා පරිදි නිවැරදි වීමට නම් අවම වශයෙන් විසි වසරක්වත් ප‍්‍රති බුද්ධි මෙහෙයුම් සකී‍්‍රය ලෙස කි‍්‍රයාත්මක විය යුතු බව ලෝකයම පිළිගත් මතයකි. විදේශගතව සිටින එල්ටීටීඊ ප‍්‍රධානීන්ගේ ඉහත කී අරමුණ පරාජය කිරීමට නම් එසේ ප‍්‍රතිබුද්ධි මෙහෙයුම් කි‍්‍රයාත්මක වීම අනිවාර්ය කරුණකි.

එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු 2009 වසරේ සිට මෙරට තුළද ඒ අන්දමින් බුද්ධි මෙහෙයුම් කි‍්‍රයාත්මක විය. එහෙත් සියල්ල වැනසී යමින් වත්මන් අවාසනාවන්ත යුගය උදා වූයේ බුද්ධි අංශවලට නින්දිත ප‍්‍රහාරයක් එල්ල වූ ඉකුත් 2015 වසරින් පසුවය.

එතෙක් මේ රටේ යුද, නාවික බුද්ධි බළකායන් ඇතුළු ආරක්‍ෂ හමුදා අති සාර්ථක ලෙස ප‍්‍රතිබුද්ධි මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට කටයුතු කළේය. කෙසේ වෙතත් වත්මන් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත්වීමෙන් පසුව යළිත් බුද්ධි අංශ වෙත ජීවයක් ලැබෙමින් තිබීම හත්වන බුද්ධි බළකාය සාම්පූර්හිදී තීබන් කොටුකර ගැනීමට ප‍්‍රධාන සාධකයක් වූ බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.

පැහැදිලිවම ත‍්‍රස්තවාදයේ හතරකොන මැනවින් දැන සිටින යුද හමුදාපතිවරයාගේ එකී මැදිහත් වීම නම් සතුටට කරුණකි. එහෙත් ඒ සතුට පරයා මතුවන භායානක තත්ත්වය වන්නේ තවත් තීබන්ලා කී දෙනකු උතුරේ කි‍්‍රයාත්මකව සිටින්නේදැයි යන්න කිසිවකුත් නොදැන සිටීමය.

නෙදුන්කර්නි සිදුවීමේ සිට චාවාකච්චේරි කොටියා සහ ඔඞ්ඩුසුඩාන් සිද්ධිය මෙන්ම පුළියන්කුලම බෝම්බ මල්ලේ කතාවත් පසුගිය දිනවල අනාවරණය වූ ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදියකු වන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා ශිවරූබන්ගේ මතුවීමෙන් පසු දැන් කරළියේ තිබෙන තීබන් දක්වා ඇදී ආ සියලූ සිදුවීම් දෙස බැලීමේදී මේ වන විට පැහැදිලිව පෙනී යන එක් වැදගත්ම කරුණක් වන්නේ යම් යම් අවස්ථාවල මේ සිදුවීම්වලට සම්බන්ධ එක් එක් චරිත එකිනෙකාට සම්බන්ධ වී සිටි බවය.

මේ සියලූ දෙනා ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය සහ ඉන්දීය විදේශ කොටි ජාලයන් සමග වෙන් වෙන් වශයෙන් සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය වී තිබිණ. එසේ නම් ඉන් කියැවෙන්නේ මේ වන විට යළි ප‍්‍රතිසංවිධානය වීමට සැරසෙන එල්ටිටීඊ ත‍්‍රස්තවාදීන්ගේ ජාලය ඉතා සංකීර්ණ ලෙස විහිදී තිබෙන එකක් බව නොවේද?

මේ අනුව විදේශීය කොටි ජාලය ඔස්සේ මෙහෙයවන තවත් ත‍්‍රස්තවාදීන් රැසක් එල්ටීටීඊයට නැවත පණදීමේ සූදානමින් මේ රට තුළ කි‍්‍රයාත්මකව සිටිනවා විය යුතුමය. එම තත්ත්වය හමුවේ මේ මොහොතේත් රට ඇත්තේ ඉතාම භයානක තැනක බව කාටවත් අමුතුවෙන් කියා දියයුතුද නැත. ඇත්ත ඇත්තේ එතැනය. එය එසේ නොවේ යැයි කියන්නට කිසිදු පණ්ඩිතයකුට හැකියාවක් ද නැත. මන්ද ඒබ බව තහවුරු කෙරෙන කරුණු කාරණා රැසක්ම දැන් ඇස් පනාපිට පෙනෙන්නට තිබෙන නිසාය.

මේ අවදානමෙන් ගැලවී යෑමට නම් අද පොලිසිය ත‍්‍රස්තවාදයට එරෙහිව සිදු කරන වන්මෑන් ෂෝ විමර්ශන පසෙක තබා කඩිනමින් යළිත් ඒකාබද්ධ වූ සකී‍්‍රය ප‍්‍රතිබුද්ධි මෙහෙයුමක් කි‍්‍රයාත්මක විය යුතුය. එසේ නොවුණහොත් නිශ්චිත නොවන අහඹු අවස්ථාවක මේ රටේ ජීවත් වන අහිංසක ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීම නම් කිසිවකුටත් වැළැක්විය නොහැකි වනු ඇත.

එදාට ඒ සාහසික අපරාධයට වග කියන්නට පවතින කාලකණ්ණි තත්ත්වය නිර්මාණය කළවුන් සූදානම්ද?


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com