www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තාරක-සුජී පාතාල යුද්ධයට ප්‍රභාකරන්ගෙ වෙඩික්කාරයෙක්


2019-10-26 19:32:19 -  273 යි

දණ්ඩ නීති සංග්‍රහය අපට ලැබෙන්නේ ඉන්දියාවෙනි. බුදු දහමට පසුව ඉන්දියාවෙන් ලැබුණු බලවත්ම ඉගැන්වීම දණ්ඩ නීති සංග්‍රහය යැයි කියුවොත් වඩා නිවැරදිය. ශ්‍රී ලංකා මහපොළොවේ සිදුවන සාතිශය බහුතරයක් අපරාධ, වැරැදිවලට නීතියෙන් දෙන පිළිතුර ඇත්තේ මේ පොතේය. එහෙව් පොතේ කෝටි දහසක් කොල්ල කෑවාට ලැබෙන දඬුවම වසර කිහිපයක් සිපිරි ගෙදරට යෑම පමණි. නමුත් අදාළ කොල්ලකෑම මැද වැරැදීමකින් හෝ ජීවිතයක් හානි වුවහොත් ඉහත කී දඬුවම ජීවිතාන්තය දක්වා සිරගත වීමක් හෝ මරණ දඬුවම වීමට ඇති ඉඩ වැඩිය. පාතාලයන් කොල්ල කෑවාට මිනී නොමරා සිටින්නට පරෙස්සම් වන්නේ එබැවිනි. කොස්ගොඩ තාරකද මිනී නොමරා මංකොල්ලකෑම පමණක් කරන්නට උත්සාහ දැරූවෙකි. එහෙත් ඔහු සිය දිවියේ සිදුකළ ලොකුම මංකොල්ලය මැදදී එක් ඝාතනයක් සිදුවිය. මංකොල්ලය නම් රටම දන්නා මාතර නිලේකා ජුවලරියේ කොල්ලයයි. ඝාතනය වූයේ මාතර පොලිසියේ නිලදරුවෙකි. කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව සිදුවූ එකී ඝාතනය පිළිබඳ කොස්ගොඩ තාරක අදටත් පසුතැවෙන බව කියැවේ. 

මෙකී මාතර කොල්ලයෙන් පසුව තාරක හා ඔහුගේ සහෝදරයා මුලින්ම රැගෙන යන්නේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයටය. එහි පැමිණෙන අයියා - මලෝ දෙදෙනා වෙනුවෙන් පිළිගැනීමේ සාදයක් පවා පැවැත්වූ බව කියැවේ. ඒ ඔවුන්ගේ ලෝකයයි. තාරක වෙනුවෙන් අදාළ සාදය සංවිධානය කරවන්නේ මාකදුර මධූෂ්ය. මධූෂ්ද තාරකද දෙදෙනාම බෙන්තර ගඟෙන් එහා එවුන්ය. උන් අතර ඇති තමන්ගේ කම දකුණේ පාතාලය කොතරම් අවසන් කරන්නට උත්සාහ කළද කරන්නට නොහැක්කක් බවට පත්වීමේ මූලික හේතුවය. තමන්ගේ කම මෙන්ම ගඟෙන් එහා එවුන් වෛරක්කාරයන් කරගත් පසු සිදුවන වින්නැහියද ඊට දෙවැනි නැත. දකුණේ උපන් කොස්ගොඩ තාරකට එරෙහිව දැන් මිහිපිට සිටිනා ලොකුම වෛරක්කාරයා වන්නේද දකුණේම එකෙක් වන්නේ එහෙයිනි. හේ දකුණේ පමණක් නොවේ තාරකගේ ගමේමය. එපමණක්ද නොවේ තාරකගේ මුල්ම මංකොල්ලය කරන්නේද ඔහු සමඟය. හේ කොස්ගොඩ සුජීය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බලවත්ම පාතාල කල්ලි ලෙස සැලකෙන්නේ මාකදුරේ මධූෂ්ගේ සහ කොස්ගොඩ සුජීගේ කල්ලි දෙකය. කොස්ගොඩ සුජී සිය කල්ලිය පාලනය කරන්නේ ඩුබායි සිටය. ඔහුගේ කල්ලියේ එල්ටීටීඊ වෙඩික්කරුවෝද සිටිති. පසුගියදා සිය දියණියගේ ශිෂ්‍යත්වයට පෙර දිනයේ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තෙන්නකෝන් ඝාතනය පිටුපස සිටින පොඩි ලැසී මෙන්ම කරන්දෙණියේ සුද්දාද කොස්ගොඩ සුජීගේ අනු කල්ලියක ප්‍රබලයෝය. දැනට වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින්නේ කොස්ගොඩ සුජීගේත් මාකඳුරේ මධූෂ්ගේත් කල්ලි දෙකටය. ඔවුන්ගේ සාමාජික ඝනත්වය සියයකට වැඩි මිස අඩු නැත. මේ කල්ලි දෙකට සම්බන්ධ වැඩි පිරිසක් දැන් සිටින්නේ හිරේය.

කොස්ගොඩ සුජී හෙවත් ගජමුනි සුජීව ද සොයිසා සහ කොස්ගොඩ තාරක හෙවත් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර එක් කාලවකවානුවකදී ළබැඳියන්ය. රත්ගම නදුන් ධර්මකීර්ති දැනට ඉතාලියේ සිටින අතීත වැඩ්ඩෙකි. නදුන් බලවත් චරිතයක් වූ සමයේ ඔහු සමඟ කොස්ගොඩ මහජන බැංකුව කොල්ලකමින් රිමාන්ඩ්  බන්ධනාගාරගත වන සුජී සහ තාරක පාතාලයට අත්පොත් තබන්නේය. පසු කලෙක කොස්ගොඩ සුජීට සැකයක් ඇතිවන්නේ තම හවුල්කරුවන් ගැනය. ඔහු සිතන්නේ  බැංකු කොල්ලයේ මුදල් කොස්ගොඩ තාරක සහ නදුන් විසින් යටිමඩි ගසා ගත්තා යැයි කියාය.

 ඒ සැකය මත ක්‍රියාත්මක වන කොස්ගොඩ සුජී වෙනම පාතාල සාමාජිකයන් කණ්ඩායමක් සංවිධානය කරගන්නා අතර එහි ප්‍රධානියා වන්නේ රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් පුෂ්පකුමාර මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන තෙල්වත්තේ පොඩි ලැසීය. පොඩි ලැසී පෙරටු කරගනිමින් කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය දකුණේ පාතාල කිරුළ සඳහා මාකදුරේ මධූෂ්  සමඟ සීතල යුද්ධයක් ආරම්භ කරන කාලයේ හුදෙකලා චරිතයක් බවට පත්වන කොස්ගොඩ තාරක තම ආරක්ෂාව පතා කොළඹට පැමිණේ. ඉන් පසු තාරක හබරකඩ වසන්ත හරහා කොළඹට තදාසන්න පාතාල සාමාජිකයන් දැන හදුනාගෙන දක්ෂ වෙඩික්කරුවෙක් ලෙස එම පාතාල කණ්ඩායම්වලට තම සේවය ලබාදීම සිදුකරයි. රණාලේ සමයං නමැත්තාව අංගොඩ ලොක්කාගේ කණ්ඩායම විසින් ඝාතනය කරනු ලබන විට ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකසා දීම සිදුකළ මාකදුරේ මධූෂ් පසුකාලීනව තම පාතාල කණ්ඩායමට කොස්ගොඩ තාරක සම්බන්ධ කරගනු ලබන්නේ තමන්ගේ දකුණේ ප්‍රතිවාදියා වන කොස්ගොඩ සුජී විනාශ කර දැමීමට කොස්ගොඩ තාරකව යොදවා ගැනීමට සහ කොළඹ අවට පාතාලය තුළ තම අණසක ක්‍රියාවට නැංවීමට තාරක පහසු චරිතයක් බව දැන හැඳින ගත්තාට පසුවය.

සමයං සහ අංගොඩ ලොක්කා අතර බස්නාහිර පළාතේද මනෝජ් මෙන්ඩිස් සහ පොඩි ලැසී අතර දකුණු පළාතේද ඇති වූ පාතාල එදිරිවාදිකම් නිසා පසුගිය 2016 වර්ෂයේ අග කාර්තුවේ සිට මේ දක්වා පුද්ගල ඝාතන 20කට ආසන්නව සිදුවී ඇති අතර ඒ ඝාතන සියල්ල එකිනෙකට අෑඳුණු ඒවාය. මෙම ඝාතන සඳහා ප්‍රතිඋත්තර සැපයීම තවදුරටත් තීව්‍ර කරමින් මාකදුරේ මධූෂ් කොස්ගොඩ තාරකට සහ හබරකඩ වසන්තට උපදෙස් ලබාදී ඇත්තේ තෙල්වත්තේ පොඩි ලැසී ගාල්ල බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවකදී රණාලේ සමයං ඇතුළු හත් දෙනෙක් ඝාතනය කළ ආකාරයේ ප්‍රහාරයක් බන්ධනාගාර බස් රථය මුල් කරගෙන දියත් කළ යුතු බවයි. එවැනි ප්‍රහාරයක් සඳහා අවශ්‍ය වෙඩික්කරුවන් සපයා ගැනීමේදී ඇති වූ ගැටලුවකදී කොස්ගොඩ තාරක ඒ සඳහා වේයන්ගොඩ මාලිගාතැන්නේ චාමර ඉන්ද්‍රජිත් (29) හදුන්වාදී ඇති අතර එම ප්‍රහාරය එල්ල කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ උපක්‍රමශීලීත්වය මත නොහැකි වීමෙන් පසු කොස්ගොඩ තාරක, හබරකඩ වසන්ත, මාලිගාතැන්නේ චාමර අසාර්ථක වූ මාතර නිලේකා ස්වර්ණාභරණ කොල්ලයට ක්ෂණික තීරණයක් මත යොමු වී තිබේ. කොස්ගොඩ තාරක බන්ධනාගාරගත වන්නේ මෙකී කොල්ලයේදීය. මරාගැනීම් සියල්ලේ  අවසන් සහ උණුසුම් අවස්ථාව ලෙස දැන් කරළියට පැමිණ ඇත්තේ මෙරට ජීවතුන් අතර සිටින බලවත්ම පාතාල සාමාජිකයන් දෙදෙනාගෙන් අයෙක් වන කොස්ගොඩ තාරක ඝාතනය කිරීමට එල්ටීටීඊ වෙඩික්කරුවකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමෙන්ය.

සුජීගේ ඉලක්කය වෙලා ඉන්නේ කොස්ගොඩ තාරක. තාරක දැනට ඉන්නේ වැලිකඩ රිමාන්ඩ් එකේ. තාරක එන බස් එකට ගහන්න තමයි ප්ලෑන් එක. මේ ඔපරේෂන් එකට සුජියා ඩුබායි ඉඳන් උෟරගහ මයිකල්ව මෑතකදී ලංකාවට එවලා තියෙනවා. මයිකල් පාතාල මර්දනයට බයෙන් ලංකාවෙන් පැන්න එකෙක්. සුජියගේ සෙට් එකේ හොඳම වැඩකරුවෝ අතරේ මයිකල් හිටියා. උෟරගහ මයිකල් දකුණේ කන්ට්‍රැක්ට්වලට මැරුවේ කෙනඩි කියන එල්ටීටීඊ ෂූටර් කෙනෙක් දාගෙනයි. සුජියා බූස්සේ හිරගෙදර ඉද්දි තමයි කෙනඩි හෙවත් බුම්මා කියන එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ ආරක්ෂාවට හිටපු කොටින්ගේ ෂූටර්ව ගේම්වලට දාගත්තේ. එල්ටීටීඊ එකෙන් දාලා මිනීමැරුවේත් මුලින්ම කොස්ගොඩ සුජියා යැයි පාතාල මර්දන ඒකකයක බුද්ධි නිලධාරියකු අනාවරණය කළේය.

බුම්මා පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයෙකි. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආරක්ෂාවට යොදවා සිටි චාල්ස් ඇන්තනී බළකායේ දක්ෂ වෙඩික්කරුවකු වූ බුම්මා පාතාලයේ අතපොත් තබන්නේ කොස්ගොඩ සුජීගෙනි. ඒ අතර බුම්මා කොන්ත්‍රාත් ඝාතනවලද නිරතව සිටින බව සඳහන්ය. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරයකු පවා ඔහු ඝාතනය කරනු ලැබුවේ කොන්ත්‍රාත්තුවකට අනුවය. බුම්මාත් ඔහුගේ සහචරයා වූ පූකුඩිකන්නාත් මිනිස් ඝාතනවල නිරතව සිටින්නේත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නේත් මෙරටත් ඉන්දියාවේත් වරින්වර රැඳී සිටිමිනි. ඔවුන් ඉන්දියාවට යන්නේ බෝට්ටුවලිනි.

කොස්ගොඩ තාරකට එරෙහිව කොස්ගොඩ සුජී ඩුබායි සිටම මරණ වරෙන්තුව නිකුත් කරන්නේ 2017 වසරේදී තම මාමා වූ ජගමුනි මහින්ද රාජා ඇතුළුව ඔහුගේ පවුලේ සිවුදෙනකු එකම දිනක ඝාතනය කිරීමේ පළිය ගන්නටය. කොස්ගොඩ පොලිස් වසමේ යුද පිටියක් කරමින් ගම් තුනකට පැය භාගයක් තුළ කඩාවැදී හතරදෙනාම මරා දැමුවේ කොස්ගොඩ තාරක ඇතුළු කණ්ඩායමකි. මහින්ද රාජා කලක් බළපිටියේ එජාප මන්ත්‍රිවරයකුද වූයෙන් කොස්ගොඩ සුජීට ඔහුගෙන් විශාල රැකවරණයක් විය. මාමාගේ පවුලට කළ අපරාධයට ලෙයට ලෙය පළිගන්නට කොස්ගොඩ සුජී තම කණ්ඩායම් යවා 2017 ඔක්තෝබර් 31දා රාත්‍රියේ බටපොළදී කොස්ගොඩ තාරකගේ මාමා වූ අසංක මනෝරාජ්ද සොයිසා ඇතුළු දරුවන් තිදෙනාත් අසල සිටි අයෙකුත් ඇතුළු පහකට වෙඩි තැබූහ. එතැනදී පස්දෙනාම තුවාල ලබා බේරුණෙන් සුජී තම පළිය කොයි මොහොතේ හෝ ගන්නට සැලසුම් කළද තාරක සැඟවුණු චරිතයක් නිසා කොටු කරගත නොහැකි විය. ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර ඇතත් අදටත් කොස්ගොඩ සුජී හෙවත් ජගමුනි සුජීව ද සොයිසා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වාගත නොහැකිව ඇත්තේය. මාන්නගේ ‍ෙදාන් රොෂාන් පද්ම කුමාර නමින් 55233373 දරන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් 2016 පෙබරවාරි 14දා ඩුබායි බලා ගිය සුජීගේ විවාහයට පවා අස්සන් කර රටින් පනින්නට උදවු කරන්නේත් වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයකුමය. ගණේමුල්ල මාකිලංගමුවේ සංජීව නමැති එල්ටීටීඊ කල්ලි සමඟ සබඳතා පැවැත්වූ පාතාල නායකයා සමඟත් කිඹුලාඇළ ගුණාගේ කල්ලි සමඟත් සෘජු සබඳතා පවත්වන බව කියැවේ. දෙමටගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිය අතුරුගිරිය පාරේ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරවන්නේද කිඹුලාඇළ ගුණා ඉන්දියාවේ සිටය.

තාරකව ඝාතනය කරන්නට ආර්.පී.ජී. අවි කිහිපයක් බෝට්ටු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බව පසුගිය සමයේ හෙළි විය. ඉතාලියේ සිටින රත්ගම නදුන්ගේ සහාය මැද කොස්ගොඩ සුජී මෙරටට ආර්.පී.ජී. අවි දෙකක් හා ටී - 56 දහයක් කුඩු රැගෙන එන බෝට්ටුවලින් රැගෙන ආ වග බුද්ධි අංශවලට තොරතුරු ලැබුණේ උෟරගහ මයිකල්ගේ ආගමනයත් සමඟය. උෟරගහ මයිකල් රට තුළ සිටින බවට තහවුරු වන්නේ ඇල්පිටියෙන් මෙම සතියේ යළිත් පාතාල ඝාතනයක් සිදුවීමෙන්ය. අලුත්ගම සිට ඇල්පිටිය බලා ගමන් ගත් ලංගම බස් රථයකට නැඟගත් වෙඩික්කරුවන් රංජිත් ජයවර්ධන නමැති අයව ඝාතනය කරන්නේ පසුගිය 06දාය. ඇල්පිටියේ පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම ඝාතනය සිදුවන්නේ කොස්ගොඩ සුජීගේ අණින්ය. ඇල්පිටිය රත්තොටුවිලදී චමිල දීපාල් හා සමන් සුරේෂ් දෙදෙනා ඝාතනය කර සමන් සුරේෂ්ගේ බෙල්ල කපාගෙන ගොස් රත්තොටුවිල සමුපකාරය අසල තබා ගොස් තිබුණේය. ඒ සුජීගේ කල්ලියත් මේ ආකාරයට තම ප්‍රතිවිරුද්ධ කල්ලියේ අයකුගේ ගෙල කපා විත් මෙම ස්ථානයේ දමා යෑමෙන් පසුය.

එයට පළියක් ගන්නට චමිල දීපාල් හා සුරේෂ් ඝාතනය කරන්නේ උෟරගහ ඉන්දිකගේ මෙහෙයවීමෙන් බව කියන්නේය. කොස්ගොඩ තාරකට පසුව කොස්ගොඩ සුජීට එරෙහිව එළිපිට සටන් වැදුණේ උෟරගහ ඉන්දිකය. ඉන්දිකගේ ආධාරකරුවකු වූ රංජිත් ජයවර්ධන නමැති අයව රත්තොටුවිල ඝාතනයේ පළිය ගන්නට මෙසේ ඝාතනය කළ බව දැන් හෙළිවන්නේය. මෙම ඝාතනය මෙරටට පැමිණි උෟරගහ මයිකල්ගේ මෙහෙයවීමෙන් කොස්ගොඩ සුජී කළ දෙයක් බවට බුද්ධි අංශ හෙළි කරගෙන තිබෙන්නේය. හෝමාගම උසාවියට ගෙනයන අතරේ කොට්ටාව අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ට වන ගුවන් පාලම මතදී කොස්ගොඩ තාරක යන බස් රථයට පහර දෙන සැලසුමක් ගැන අනතුරු හැඟවීමෙන් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම පොලිසියටද දැනගන්නට ලැබිණි. ඒ අනුව විශේෂ ආරක්ෂාවක් මැද තාරකව නඩුවට රැගෙනවිත් ආරක්ෂක උපක්‍රම යොදමින් යළි නිරුපද්‍රිතව බන්ධනාගාරයට රැගෙන එන්නට පළපුරුදු බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමකට හැකි විය. මොවුන්ගේ සහායට විශේෂ පොලිස් කණ්ඩායමක්ද ලබාදී තිබුණේය. තාරකව හැකි ඉක්මනින් අධිකරණය වෙත ඉදිරිපත් කර රැගෙන ගියේය. කොස්ගොඩ තාරකව මරන්න අතරමඟ ඔත්තු බැලීමේ කණ්ඩායම් යොදවා ඇති බව බුද්ධි අංශද අනාවරණය කරගත්හ. 

තාරකට එරෙහිව ඇති නඩුවලට කළුතර, බළපිටිය, මොරටුව, ගල්කිස්ස, ගංගොඩවිල, හෝමාගම අධිකරණවලට රැගෙන එන අතර එම අවස්ථාවල පහරදීමට උත්සාහ කරන බව පාතාල මර්දන ඒකකද අනාවරණය කරගෙන තිබුණේය. කොස්ගොඩ සුජී මෙම ඉලක්කය ගැනීමට පවරා තිබුණේ තමාගේ ළඟම සගයන් වූ දකුණේ පාතාලයේ රණාල රාජු, කරන්දෙණියේ සුදු මල්ලි, පොඩි ලැසී ඇතුළු ගාල්ල බන්ධනාගාරයේ රජ කරන කණ්ඩායමටය. නමුත් ඔවුන්ට ඉලක්කයන් වෙත යෑමට අසීරු නිසා උෟරගහ මයිකල්වත් ලංකාවට එවූ බව කියැවෙන්නේය. ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව ආර්.පී.ජී. ඇතුළු අවි ආයුධ රටට ඇතුළු වී ඇත්තේ වැලිගමට නුදුරු මිරිස්ස ප්‍රදේශයෙනි. මෙම තොරතුරු අනුව දැන් දකුණේ පොලිසිද කැලඹී ගොසිනි. ඒ මෙම අවි ආයුධ තවත් ලේ වැගිරීමකට මිස වෙනකකට නොවන බව දන්නා නිසාය.

ආයුධ සමඟ ගොඩබාගත් හෙරොයින් තොගය හික්කඩුවේදී සුරාබදු නිලධාරීන්ට කොටු වුවත් සුජීගේ ආයුධ තොගය සඟවා ඇති තැනක් තවමත් හෙළි වී නැත. මේ සියල්ල මැද ඉදිරි සතිය තුළදී කොස්ගොඩ තාරක නැවතත් මහපාරේ බස් රථයකින් අධිකරණයට යෑමට නියමිතය.

 

මනෝජ් කොඩිතුවක්කු

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com