www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රෂ් බලාපොරොත්තුවෙන් හිටපු වෙලාවක ලැබුණු චරිතයක්..... ගායනයේදී වේදිකාවේ දැනෙන තිගැස්මවත් රංගනයේදී මට දැනෙන්නේ නෑ!


2019-10-25 10:22:35 -  293 යි

සුනිල් විජේමාන්න කීර්තිමත් ව්‍යාපාරිකයකු වන අතර ඔහුගේ එකම පුත‍්‍රයා රිෂාන් විජේමාන්න (රෂ්) නම් වේ. කුඩා කල සිට තම මවගේ ආදරය අහිමි වන රෂ් අසාමාන්‍ය මානසික තත්ත්වයකින් හෙබිය. හදිසි කෝපය සහ තම ආශා කරන දේ කෙසේ හෝ ලබාගැනීමට යෑමෙන් අසාමාන්‍ය ආකාරයට හැසිරේ. කුඩා කල තරග පරාජයක් දරාගැනීමට නොහැකිව ජයග‍්‍රාහකයාට එල්ල කරන මාරාන්තික පහරකින් පසුව සුනිල් විජේමාන්නගේ එකම පුත‍්‍රයා වන රෂ් කෙරෙහි දැඩි අවධානයකින් පසුවේ. මේ කියන රෂ් ඔබේ ගමේ නගරයේ තිබෙන සිනමාහල්වල මේ දිනවල නිතර ගැවසෙනවා ඇත්තටම මේ රෂ් කවුද කියවලා බලන්නකෝ රෂ් කවුද කියලා.
 
  * රෂ් කොහොමද ඉතිං?
 
 රෂ් කොහොමද රෂ් පට්ට
 
 * රෂ් මේ දවස්වල කොහෙද ඉන්නේ
 
 රෂ් මේ දවස්වල ලංකාවේ හැම තැනම ඉන්නවා. මම හිතන්නේ ලංකාවේ සිනමාහල් හැත්තෑවකට ආසන්න ප‍්‍රමාණයක රෂ් ඉන්නවා.
 
 * රෂ්ට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

සමස්තයක් විදිහට ගත්තොත් රෂ්ට ආදරය කරන පිරිසක් ඉන්නවා කිව්වොත් මම නිවැරැුදියි. ඒ චිත‍්‍රපටයට ඇලූම් කරන ඒ චිත‍්‍රපටය විඳින ආශ්වාදය ලබන පේ‍්‍රක්‍ෂකාගාරයක් අපිට ඉන්නා බව අපිට පෙනෙනවා. ඔවුන්ගේ ඍජු විචාරයක් අපිට ලැබෙනවා. ඒ හරහා අපිට තීරණය කරන්න පුළුවන් වගේම අපිට දැනෙනවා. රෂ්ට මිනිස්සු කැමැතියි කියලා. අපේ පේ‍්‍රක්‍ෂකයෝ මේ චිත‍්‍රපටය බලනවා විතරක් නොවෙයි, මේ චිත‍්‍රපටය කියවනවා. ඒක හොඳ ප‍්‍රවණතාවක් විදිහට මම දකිනවා. ඒ චිත‍්‍රපටයේ ඇතුළේ තියෙන දේවල් ගැන ඔවුන් කතා කරනවා. අඩුපාඩු ගැන කියලා අපිව වර්ණනා කරනවා. ඒ සෑම දෙයකම ගතයුත්තක් තියෙනවා.
 
 * රෂ්ට ඇත්තටම ජීවය දෙන්නේ කවුද?
 
 රෂ්ට ජීවිතය දෙන්නේ උද්දික ඇතුළු කණ්ඩායම
 
 * එතකොට උද්දිකට කොහොමද රෂ්ව හමුවුණේ?
 
 අපි මොනවා හරි දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්න කොට ඒක ලැබෙනවා හරි අඩුයිනේ. අවශ්‍යතාවක් අපිට කොහොමත් තිබුණත් ඒවා සපුරා ගන්න තියෙන අවස්ථා හරි අඩුයි වගේම විරලයි. නමුත් මට හිතෙනවා, මම බලාපොරොත්තුවෙන් හිටපු වෙලාවක ලැබුණු චිත‍්‍රපටයක් තමයි රෂ් කියන්නේ. රෂ් හරහා මහේෂ් මහේෂි හරහා අපේ කණ්ඩායම ඉතිං මට ඒ හමුවීම ඉතා සොඳුරු ආදරණීය හමුවීමක්. ඒ හමුවීම තුළ තමා මම හිතන්නේ පේ‍්‍රක්‍ෂකයෝ මේ චිත‍්‍රපටය නරඹන්නේ. අවංකවම කියන්න ඕනෑ මේ චිත‍්‍රපටය මට ඕනෑ කරලා තිබුණා.
 
 * ඒ මොකද
 
 මොකද මීට කලින් මාව දැකලා තිබුණ චිත‍්‍රපටත් එක්ක මට මිනිස්සු අතිශයින් ඇලූම් කරලා තිබුණා. ඒ නිසාවෙන් මාව ඓතිහාසික චිත‍්‍රපට රැුල්ලේ, ඓතිහාසික චිත‍්‍රපට රාමුවේ ඔවුන්ගේ මතකයේ රැුඳිලා තිබුණා. එතැනින් එහාට ඒ පේ‍්‍රක්‍ෂකයන්ව ගෙනියන්න වුවමනා කරලා තිබුණා. ඉතිං ඒ අවශ්‍යතාව සපුරන්න මගේ ජීවිතය හොයාගෙන රෂ් මගේ ළඟට ආවා කියලා මට හිතෙනවා.
 
 * රෂ් ඇත්තටම දරුණුද?
 
 මේ ලෝකේ ජීවත්වෙන හැම මිනිහෙක් ළඟම හොඳ සහ නරක වගේම යහපත් සහ අයහපත් ගතිලක්‍ෂණ තියෙනවා. හැබැයි ඒ මිනිස්සුන්ගේ යහපත හෝ අයහපත එළියට එන්නේ මම විශ්වාස කරන දෙයක් තමයි අපි ජීවත්වෙන වටපිටාව, පරිසරය අනුව පරිසරය යහපත් නම් සුන්දරයි නම් අපේ ඇතුළේ ඉන්නේ සුන්දර මිනිසෙක් තමයි. හැබැයි වටේ තියෙන පරිසරය අයහපත් නම් අනිවාර්යයෙන්ම අපෙන් එළියට එන්නේ නරක මනුස්සයෙක්. එතකොට රෂ් කියන්නේ කුඩා කාලයේදීම මව් සෙනෙහස ගිලිහුන මනුස්සයෙක්. ඉතිං ඔහුට තාත්තා උත්සාහ කරනවා මවු සෙනෙහස වගේම පිය සෙනෙහස ලබා දෙන්න. ඒ අඩුපාඩුව තුළ ඒ දරුවා ආදරය සොයාගෙන ගියහම ඔහුට ලැබෙන ආදරය තුළ කොටුවෙලා බොහොම ආත්මාර්ථකාමී විදිහට මැදිහත් වෙනවා එතැනදි ඔහුගේ සමහර දේවල් විය හැකියි. නමුත් ඒ දේවල් අපිට විවිධ කෝණයන්ගෙන් බලන්න පුළුවන්. මම හිතනවා, මේ චිත‍්‍රපටයේ ඒ ආදරවන්තයා දිහා විවිධ කෝණයන්ගෙන් බලන්න පුළුවන් එහෙම බලලා ඔහු කෙරෙහි වගේම තමන් කෙරෙහි ආත්ම අනුකම්පාවක් ඇතිකර ගන්න පුළුවන්. එහෙම බැලූවහම ඔහු දරුණු නැහැ කියන එකයි මගේ අදහස.
 
 * රෂ්ට දෙයක් ලබාගන්න ඕනෑ වුණහම කොහොම හරි ඒ දේ ඉටුකර ගන්නවා එහෙමද?
 
 රෂ් එහෙම තමයි ඒ තමයි රෂ්.
 
 * උද්දික කොහොමද රෂ්ව දකින්නේ?
 
 ඇත්තටම රෂ් වගේ චරිත සහ ඊට එහා ජීවිතයේ යම් යම් දේවල් බලාපොරොත්තු අහිමි වුණ මිනිස්සු මේ රටේ ඕනෑ තරම් ඉන්නවා ඉතිං ඒ මිනිස්සු ගොඬේ තමයි මමත් මේ රටේ ජීවත් වෙන්නේ. අපේ රටේ බොහෝ දේවල් අත්පත් කරගත්තු මිනිසුන්ට වඩා බලාපොරොත්තු ඉෂ්ට නොකරගත්තු බහුතරයක් තමයි අපේ රටේ ජීවත් වෙන්නේ. එහෙම බැලූවහම මමත් ජීවත් වෙන්නේ ඒ රටේ නම් මමත් ඒ මිනිසුන්ගේ කොටසක් නම් ඇත්තටම රෂ්ට තියෙන අඩුපාඩුකම්. රෂ්ට නොලැබුණු දේවල් මා තුළත් තියෙනවා.
 
 * රෂ් හින්දා උද්දික පේ‍්‍රමරත්න කියන රංගන ශිල්පියාගේ පෙනුමත් වෙනස් වෙනවා.
 
 අනිවාර්යයෙන්ම ඕවා වෙනස්විය යුතුයි. අපි යාවත්කාලීන විය යුතුයි. හැමදාම හැම දේම අපි ළඟ තියෙන්නේ නැහැ. ඒ සියලූ දේ නැතිවෙන මොහොතක් එනවා වෙනස් වෙනස් දේවල් අලූත් අලූත් අත්හදා බැලීම් සිදුකළ යුතුයි.
 
 * රෂ් හින්දා උද්දික සටන් නළුවෙක් වුණා නේද?
 
 ඒ චිත‍්‍රපට කලාවේදි ග්ලැමර් බ්ලොක් බ්ලාස්ටර් චිත‍්‍රපට කලාව තුළ රෂ්ගේ රසවින්දන පරාසය අපිව විවිධ කෝණවලට රැගෙන යනවා. රෂ් හරහා විවිධ වූ රසයෙන් මතුවූ තැනක්. ඉතිං අපි රෂ් හරහා වීර රසය කි‍්‍රයාදාම හරහා ඇතිකර ගන්නවා. ඒක තමයි චිත‍්‍රපට කලාවේ ස්වරූපය. ඒ ස්වරූපයට අවශ්‍ය මොනවාද ඒ සියල්ල නළුවා විසින් සැපයිය යුතුයි.
 
 * රෂ් හින්ද උද්දිකට බැණුම් අහන්න වුණු අවස්ථා තියෙනවාද?
 
 රෂ් හින්ද බැණුම් නෙමෙයි ගුටිත් කාපු අවස්ථා තියෙනවා.
 
 * රෂ් හින්ද උද්දික ගුටිකෑවේ කාගෙන්ද?
 
 නවක නිළිය ඉරේෂා අසංකි අතේ තිබුණ මුගුරෙන් අවසාන දර්ශනයේදී මට හොඳටම තැලූවා. මම හිතන්නේ සෑහෙන වෙලා තැලූවා. මට දැනෙන්න තැලූවා. මොකද ඇයගේ පළමු නිර්මාණය නිසා ඇයට අවසානයක් ආරම්භයක් හොයා ගන්න බැරිවුණා. ඒ මොහොත චිත‍්‍රපටයේ අනෙක් අයත් රසවින්දා අවසානයේ තමයි, ඇයට තේරුණේ මට ඇත්තටම රිදුණා කියලා. රෂ් හින්දා මම ඇත්තටම ගුටිකෑවා. අවසානයේ රූගත කිරීම් අවසන් කරලා ඇය මට කතා කරලා මගේ හිත හැදුවා ඇය තේරුම් ගත්තා ඇයගෙන් වැරැද්දක් සිදුවුණා කියලා.
 
 මඩුගල්ලගේ මහත්තයගෙනුත් ගුටිකෑවා නේද?
 
 සනත් අයියා මුලින්ම අනේ මට මේ කොල්ලට ගහන්න බැහැ කියලා කිව්වා. මම කිව්වා සනත් අයියාට සනත් අයියේ ඔයා ගහන්න ඔයා ගහන්නේ නැතිව මේක කරන්න බැහැ කියලා. ඔයා ගහන්නම ඕනෑ. ඔයා ගැහැව්වොත් තමයි මට තාත්තා කෙනෙක් ගැහැව්වා වගේ දැනෙන්නේ. ඒ නිසා ගහන්න. ඊට පස්සේ අපි එක පාරින් ගමු කියලා ඇත්තටම ගැහැව්වා කඳුළු එන්නම ඇත්තටම ගැහැව්වා. ඒක සෑහෙන්න රිදුණා.
 
 * රෂ්ගෙන් පස්සේ උද්දිකගේ රංගනය මොන වගේ පැත්තකට යොමු වෙයිද?
 
 රෂ්ගේ රසවින්දනය පේ‍්‍රක්‍ෂකයන් කොයි තරම් දුරට විඳිනවාද කියලා අපි මුලින්ම බලමු. රෂ් එක්ක අපිට ඒක තීරණය කරන්නත් අමාරුයි. මොකද පේ‍්‍රක්‍ෂකයෝ ලෝක සිනමාවත් එක්ක ඉන්නවා.
 
 * උද්දික සිනමාව වෙනුවෙන් කැපකිරීම් කරන්නේ ඇයි?
 
 මේක මගේ ක්‍ෂේත‍්‍රය. මේක මගේ වෘත්තිය. ඉතිං අපිට කැපකිරීමක් නොකර මහන්සි නොවී කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. එහෙම පහළ වුණ දෙයක් මේ ලෝකයේ නැහැ. ඕනෑම දෙයක් කැපවීමෙන් මහන්සියෙන් උපයාගත යුතුයි. ගමන කටුක වූ තරමට සාර්ථකත්වය හදවතින් විඳිය හැකි බව මම විශ්වාස කරනවා මොන ක්‍ෂේත‍්‍රයක වුණත් සාර්ථකත්වය සඳහා යන ඉදිරි ගමන කටුකයි. හිතේ සියුම් තැන් රිදුණු මිනිසා තමයි, දන්නේ ටිකක් සැතපුනහම තියෙන අපමණ සුවය.
 
 * ඇත්තටම ඒ සුවය දැන් ඔබ විඳිනවාද?
 
 අවංකවම ඒහින්දා ගමන කටුක වූ තරමට සාර්ථකත්වය අත්විදිය හැකි බව මා විශ්වාස කරනවා. නමුත් තවමත් ඒ සාර්ථකත්වය අත්පත් කරගෙන නැහැ. මම ඉන්නේ ඒ කටුක ගමන ඇතුළේ.
 
 * ඒ කියන්නේ ඔබ තවමත් තෘප්තිමත් නැහැ
 
 නැහැ. එහෙම නෙමෙයි. ඒක නෙමෙයි. ලැබෙන දෙයින් සතුටු වෙනවා. නමුත් තව ඉදිරියට අපිට යන්න පුළුවන්නේ. තියුණුම තියුණු ගල් කණුවක් පාරවල් දහස් ගණනකින් ඉවසාගෙන හිටපු ගලක් තමයි දවසක සුන්දරම කලාත්මක නිර්මාණයක් බවට පත්වෙන්නේ. මම එක් තදින්ම විශ්වාස කරනවා. මල් පාවඩ උඩින් සාර්ථකත්වය කරා යන අය කොහේවත් නැහැ.
 
 * ඔබෙන් ඇසිය යුතුම දෙයක් තියෙනවා උද්දික පේ‍්‍රමරත්න කියන රංගන ශිල්පියා උඩට එනකොට ඔබ ළඟ තිබුණ හඬ යටගියා නේද?
 
 හඬ අතික‍්‍රමණය කර රංගනය ඉදිරියට ඇවිත් කියලනේ ඔබ කියන්නේ. ඇත්ත වශයෙන්ම ඒක ඇත්ත. මම ආවේ ගායකයෙක් ලෙස මට ඕනෑ වුණේ ගායකයෙක් වෙන්න. සමහර වෙලාවට මම වේදිකාවේ ගායනා කරද්දි පොඩි තිගැස්මක් පවා තියෙනවා. නමුත් රංගනයේදී ඒ තිගැස්ම නැහැ. එක අතකට මට හිතෙනවා, ගායන ශිල්පියෙක් වීම නිසා මට රංගන ශිල්පියෙක් වීමේ අවස්ථාවත් උදාවුණා. දැන් මම ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක්. ඒ දෙකම මට ලැබුණා.
 
 * ඔය හඬට මීට වඩා දෙයක් කළ හැකියි නේද?
 
 හඬට සාධාරණය කරන කට්ටිය මේ රටේ ඉන්නවානේ මේ රටේ සංගීත ශිල්පීන් ඉන්නවා වෙනම සංගීත ක්‍ෂේත‍්‍රයක් තියෙනවා ඉතිං අපි ඔවුන්ගේ දේවල් රස විඳිමින් ඒ ගායක ගායිකාවන්ගේ ගීත අපි ගායනා කරනවා.
 
  දිනේෂ් විතාන



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com