www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සාම්පූර් සුඩෙයිකුඩා දාගැබ ඩෝසර් කරලා (PHOTOS)


2019-10-14 12:54:40 -  457 යි

ත්‍රිකුණාමලය වරාය පිවිසුමේ දකුණු තුඩුව වන සාම්පුර් කෙවිලිය තුඩුවට මදක් ඔබ්බෙන් පිහිටි කෙවුල් ගමේ කුඩා කදු ගැටයක් මත පිහිටි පැරණි දා ගැබකි. ඉන්දීය සයුරට මුහුණලා පිහිටි මෙම දා ගැබ සේරුවිල පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය හරහා සොයා න දින දෙකක් තුල අන්‍තවාදින් විසින් ඩෝසර් යන්ත්‍ර යොදා මුළුමනින්ම ඩෝසර් කර දමනු ලැබුවා.

මීට දෙවසරකට පෙර උදුවප් මාසයේ දිනකය. ඩෝසර් කල බව සැලවු වහාම එහි ගිය මා සංවේගයට පත්වුයේ දා ගැබක් තිබු බවට සලකුණක් නැතිවන්නටම දා ගැ‍බ් ගොඩැල්ල ඩෝසර් කර කන්දෙන් පහලට තල්ලුකර දමා තිබීම හේතුවෙනි.ඩෝසර් කල දා ගැබ කැණීම් කර අවසන් කිරිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුව කටයුතු කළා.

මෙම ස්ථුපය සම්බන්ධව ධාතු වංශයේ යම් යම් හෝඩුවාවන් සදහන්වේ. එහි සදහන් වන පරිදි ක්‍රි. පු. දෙවන සියවසේ රුහුණේ පාලකයා වු යටාලතිස්ස රජුගේ පුත් ගෝඨාභය විසින් කතරගම පාලනය කල ක්ෂත්‍රීයන් දස දෙනෙකු සමුල ඝාතනය කරනු ලැබීය. ඒ පවින් මිදීම සදහා ඔහු වෙහෙර විහාර රාශියක් ඉදිකර ඇති අතර මහවැලි ගග අසබඩ එගොඩ වෙහෙර විහාර තුන්සියයක්ද මෙගොඩ වෙහෙර විහාර පන්සියයක්ද කල බව සදහන්වේ.

මෙම ස්ථුපයද එතුමා විසින් කරවන ලද්දක් විය හැකි බව වියතුන් අනුමාන කරයි. පුරාවිද්‍යාත්මක සාධක අනුව මෙම දා ගැබ අවධි දෙකකට අයත් වේ. ක්‍රී. පු. දෙවන සියවසෙහි සිට ක්‍රි.ව. දෙවන සියවස දක්වා කාලයට අයත් නිර්මාණයන් මෙන්ම ක්‍රි.ව. හතර හා අටවන සියවස් වලට අයත් කාලයන්ට අයත් නිර්මාණයන්ද මෙම ස්ථානයෙන් හමුවීම සුඩෙයිකුඩා දා ගැබ කෙතරම් පැරණි පුදබිමක්ද යන්න කියාපායි. මෙම දා ගැබ ඩෝසර් කිරිමට පෙර මීටර් හතරක් පමණ උසට ගොඩැල්ල තිබු බවත් ඒ මත සක්ක ගල් විශාල ප්‍රමාණයක් විසිරි තිබු බවත් යුපස්ථම්බය යැයි සැක කෙරෙන මීටර එකහමාරක් දිගැති සකස් කල ගල් කුළුණක්ද එහි ඊසාන දිග කොටසේ තිබු බව පුරාවිද්‍යා වාර්ථාවන්හි සදහන්වේ. 

මව් පාෂාණයට සම්බන්ධ කොටස දක්වා සම්පුර්ණයෙන්ම ඩෝසර් කර තිබු අතර දා ගැබ් පාදමට සම්බන්ධ යැයි සැක සහිත සක්කගල් විසිරිමක් දා ගැබෙහි බටහිර කොටසෙහි ඉතිරිව තිබුණි. දා ගැබෙහි ඉදිකිරිම් වලට සම්බන්ධ මධ්‍ය හා කුඩා ප්‍රමාණයේ සක්ක ගල් විශාල ප්‍රමාණයක් මීටර 12 ක් පමණ දුරකට බටහිර නැගෙනහිර හා දකුණු දිසාවන්ට තල්ලුකර දමා තිබුණි. ඒ අතර මැටි බදුන් කැබලි, තිරුවානා පතුරු, මෝල්ඩින් ගඩොල්, කුඩා ග‍ඩොල් සහ රතු දුඹුරු පස් ද විසිරි තිබු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්ථා කර තිබුණි.

දාගැබට ඊසාන දෙසින් මෑතක ඉදිකල හින්දු කෝවිලක්ද නැගෙනහිර දෙසින් කෝවිලට අයත් තවත් ගොඩනැගිල්ලක්ද පවති. මෙම කෝවිලට ඉදිරි කොටසේ මතුපිට උළු කැබලි බොහොමයක් විසිරි තිබුණි. පැරණි ගොඩනැගිලිවලට අයත් විවිධ ප්‍රමාණයේ පාදම් ගල් 10 ක් පමණ විසිරි ඇති අතර ඉන් කිහිපයක් බිදි පවති. මධ්‍යම ප්‍රමාණයේ සක්කගල්

යොදා තැනු ගල් බැම්මක නටඹුන් නැගෙනහිර දෙසින් ඇති අතර එහි ඇතැම් ස්ථාන බිදි පහලට ගරා වැටි තිබේ. මෙතරම් පාදම් ගල් ප්‍රමාණයක් දක්නට ඇත්තේ දැවයෙන් කල ගොඩනැගිලි තිබු බැවින් යැයි සිතිය හැකිය. සාම්පුර් සුඩෙයිකුඩා දා ගැබෙහි කැණීම් කටයුතු 2018 ජනවාරි 27 වැනිදා සිට මාර්තු 25 වනදා දක්වා මාස දෙකක කාලයක් පුරා සිදු කර තිබුණි. එම ස්ථානයෙන් හමුවු වංචල හා නිශ්චල දත්තයන් වෙන වෙනම වාර්ථා කිරිමටත් ප්‍රධාන පියවරයන් තුනක් යටතේදා ගබ ආශ්‍රිතව කැණීම් සිදු කිරිමටත් පර්යේෂකයන් කටයුතු කර තිබුණි. 

ඒ අනුව දා ගැබේ පාදම හා මළුව අණාවරණය කර ගැනීමත් භූ අභ්‍යන්තරයේ පවතින අනෙකුත් පුරාවිද්‍යාත්මක අංග නිරික්ෂණය කිරිමත් ස්ථානයට යාබද භුමි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක අංග සමීක්ෂණය කිරිමත් මේ අනුව කරනු ලැබීය. ‍ඩෝසර් කර තිබු දා ගැබෙහි අවුල්ව පැවැති සියලු කොටස් ඉවත් කර කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබ තිබුණි ඒ අනුව කැණීම් කිරිමෙන් මතු කරගත් දා ගැබෙහි පාදම මීටර් 12 ක පමණ විෂ්කම්භයකින් යුත් කවාකාර සක්කගල් හා මැටි මිශ්‍ර පාදමක් බව තහවුරු කර‍ගෙන තිබේ.

කදු මුදුනතෙහි ඊසාන දිග කෙලවරෙහි පිහිටි ග‍ඩොලින් ඉදිකල ව්‍යුහයක නටඹුන් අණාවරණය ව ඇති අතර එහි උළු කැට විශල වශයෙන් පැතිර තිබේ. ඒ අනුව මෙම ස්ථානය  සහිත ගොඩනැගිල්ලක් තිබු බව සිතිය හැකි බව පුරාවිද්‍යා නිලධාරින් පවසයි. ඊට ඊසාන දිගින් පියගැට පෙලක සේයාවක් මෙන් ඉදිකර ඇති කොටස හුණු මිශ්‍ර බදාමයකින් ආවරණය කර ඇත. එහි බටහිර කෙලවරින් උතුරු දෙසට ගොඩනැගු බැම්මක අවශේෂද අණාවරනය වි තිබේ. මෙම ඉදි කිරිම් වල ඉතිරි කොටස් තවදුරටත් පැතිර ඇති බව එහි පවතින පැරණි ග‍ඩොල් කියා පානවා.

වර්ථමාන කෝවිලේ ඝණ්ඨාර කුළුණ අසල කල කැණීමකින් ගඩොල් හා සක්ක ගල් මිශ්‍ර බැම්මක හෝ වෙනත් ඉදි කිරිමක සාධක අණාවරනය වි තිබේ. කෝවිල හා දා ගැබ අතර කැණීම් වලින් ගඩොලු ඇතුරුම් අණාවරනය වු නමුත් පැහැදිලිව නිශ්චය කර ගැනීමට නොහැකි බැවින් එම ප්‍රදේශය තවදුරටත් පුළුල් ලෙස කැණීම් කල යුතු බව පුරාවිද්‍යා නිළධාරින්ගේ අදහසයි.

මෙම දා ගැබ ආශ්‍රිතව කල කැණීම් වලින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තිරුවානා පතුරු බොහෝමයක් හමුව ඇති අතර මැටි බදුන් කැබලි රැසක්ද හමුව තිබේ ඒවා අතර කාල රක්ත වර්ණ, මැටි බදුන්, රතු මැටි බදුන් හා රතුමය දුඹුරු මැටි බදුන් වේ. උළු කැබලි හා ගඩොල් කැබලිද සෙන්ටි මීටර් අටක් පමණ දිගැති පැරණි හතරැස් යකඩ ඇණයක්ද කොත් කැබලි කිහිපයක්ද පබළු දෙකක්ද එමෙන්ම ඩෝසර් කරන ලද සුන්බුන් අතර තිබි දා ගැබෙහි වැලි කොන්තට අයත්විය හැකි මෝල්ඩින් ග‍ඩොල්, මැටි කැටයම් පුවරුවල අවශේෂද සොයා ගනු ලැබු බව සිය කැණීම් වාර්ථාවන්හි සදහන් කිරිමට පුරාවිදයා නිලධාරින් කටයුතු කර තිබේ.

සුඩෙයිකුඩා දා ගැබ පිහිටි පරිශ්‍රයට මීටර් 150 ක ඇතුලත පිහිටි භූමි ප්‍රදේශයේ දකුණු හා ගිණිකොන දෙසින් පුරාවිද්‍යාත්මක නටඹුන් හමුවේ. වැසි කාලයට පමණක් ජලයෙන් පිරියන කුඩා පොකුණු දෙකක් ගිණිකොන දිග බෑවුමේ දක්නට ලැබේ. දකුණු දෙස බෑවුමේ මධ්‍ය හා කුඩා ප්‍රමාණයේ සක්ක ගල් භාවිතා කරමින් නිර්මාණය කරන ලද බැමි දෙකක් දක්නට ඇත. සුඩෙයිකුඩා දා ගැබ ඩෝසර් කරනු ලැබුවද ඉතිරිව පවතින නෂ්ඨාවශේෂ ක්‍රි. පු. තුන්වන සියවස දක්වා කාලය තුල මෙම ප්‍රදේශයේ ප්‍රබෝධමත්ව පැවැති බෞද්ධාගම කේන්ද්‍ර කරගත් කෘෂිකාර්මික ජනාවාසයක තොරතුරු නිහඩවම කියාපායි.







  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com