www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හේමසිරිට හා පූජිත්ට පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ස්වයං ඝාතක සහරාන්ට සමානව කුමන්ත්‍රණයේ ප්‍රධාන හවුල්කරුවන් ලෙස නම් කරනවා


2019-09-09 11:26:10 -  289 යි

ඉකුත් පාස්කු ඉරු දින සිදුවූ මහ මිනිස් සංහාරයට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම පිළිබඳව හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන චූදිතයන්ට මෙම බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන ස්වයං ඝාතකයා වූ සහරාන් හෂීන් හා සමානවම මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන හවුල්කරුවන් ලෙස නම් කර අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම නඩුවේ දෙවැනි චූදිත වන අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ස්වයංඝාතක ප්‍රධානියා වූ සහරාන් හෂීන්ගෙන් වැටුප් ලබාගෙන ඇති ලැයිස්තුවේ සිටින්නේ දැයි මේ වනවිට විමර්ශනය කරන බවත් මෙම බෝම්බ ප්‍රහාරයට ආධාර දුන් තවත් සැකකරුවන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

බන්ධනාගාරගත කළ මෙම සැකකරුවන්ට නඩු වාර දෙකක් තුළදී මෙලෙස ඇප ලබාදීම තුළින් මහෙස්ත්‍රාත්වරිය නීතිය අවභාවිත කර ඇති බවට ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහෙස්ත්‍රාත්වරිය ලබාදුන් එම නියෝගය අත්තනෝමතික ක්‍රියාවක් බවද වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

මෙම සැකකරුවන්ට ඇප ලබාදීම පිළිබඳව කිසි ලෙසකත් අධිකරණය විවේචනය නොකරන බවත් නමුත් මහෙස්ත්‍රාත්වරියගේ එම නිගමන පිළිබඳව දැඩි ලෙස කරුණු 44ක් අනුව නීතිපතිවරයා විසින් අභියෝගයට ලක්කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. 

මහෙස්ත්‍රාත්වරිය එම තීන්දුවේ සඳහන් කර ඇති කරුණු අනුව සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමකින් තොරව ඔවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රශ්න කර ඇති බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රෝහල් දැඩිසත්කාර ඒකකයේ ඇතුළත් වී සිටි මෙම සැකකරුවන් ඇප දීමෙන් අනතුරුව නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විට ඔවුන්ට තිබූ රෝගී තත්ත්වය හා ඒ පිළිබඳ වෛද්‍ය සහතික පරීක්‍ෂා කර බැලීමට කිසිවිටෙකත් එතුමිය කටයුතු කර නොමැති බවද  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දැක්විය.

මොවුන්ගේ රාජකාරියට අනුව වට්ස්ඇප් මඟින් තොරතුරු ලබාදීම ප්‍රායෝගික නොවන බවට මහෙස්ත්‍රාත්වරිය නිගමනය කර ඇතත් මෙම චූදිතයන් ජංගම දුරකථනය සමඟම සිටින අය බවත් මොවුන් රැස්වීම්වලදී පවා දුරකථනය භාවිත කරන බවත් ඒ අනුව එතුමියගේ එම නිගමනයද අභියෝගයට ලක්කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීන් පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය විසින් වාර්තා 347ක් ලබාදී තිබෙන බවත් වාර්තා 131ක් පමණ පොලිස්පතිවරයාට යොමු කර ඇති බවත් තවත් වාර්තා 97ක් පමණ ආරක්‍ෂක ලේකම්වරයා වෙත යොමු කර ඇති නමුත් මේ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් මෙම චූදිතයන් දෙදෙනා ගෙන නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වා සිටියේය.

 

මෙපමණ වාර්තා ඉදිරිපත් වී තිබියදීත් ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකර පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ කොළඹ හා කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාටම නිවාඩු අනුමත කොට ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

ගහනවා කියලා දැනන් හිටියා. ඔහොම ගහයි කියලා හිතුවේ නෑ යනුවෙන් රටේ ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශයෙන්ද මෙම මහ මිනිස් සංහාරයට චූදිතයන් දෙදෙනාගේ චේතනාන්විත හා මන්දෝත්සාහී ක්‍රියාවන් බලපා ඇතැයි පැහැදිලි වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම චූදිතයන්ට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කරන ලද ප්‍රතිශෝධන අයැදුම්පත විභාගයට ගත් අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ මෙලෙස කරුණු දැක්විය.

මෙම ප්‍රතිශෝධන අයැදුම්පත් නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කළ මුල් අවස්ථාවේදීම මෙම චූදිතයන් විසින් මෙම ප්‍රතිශෝධන අයැදුම්පත්‍රය පවත්වාගෙන යෑම පිළිබදව මූලික විරෝධතාවක් ගොනු කර ඇති අතර මහාධිකරණ විනිසුරුවරයා විසින් එම විරෝධතාව ප්‍රතික්‍ෂේප කර තිබිණි.

ඒ අනුව එම ප්‍රතිශෝධන අයැදුම්පත්‍ර පිළිබදව විභාගයට ගැනීම සඳහා ඉකුත් 06 වැනි දින මෙම නඩුව කැඳවීමට විනිසුරුවරයා නියෝග කර තිබිණි.

චූදිතයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න හා අනුර මැද්දේගොඩ යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම නඩුවේ පළමු චූදිත වන හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු දක්වා සිටියේය.

ජාතික තව්හිද් ජමාත් සංවිධාන විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳව පොලිස් අධිකාරිවරයා මුලින්ම 2017 ජුනි මස 07 වැනිදා නීතිපතිවරයාට දැනුම් දෙමින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් 2018 මැයි මස 31 වැනිදා ඒ පිළිබඳ යළි සිහි කැඳවීමක් කොට ඇතත් මේ දක්වා ඒ පිළිබඳ උපදෙස් දී නැතැයිද මේ බුද්ධි අංශ තොරතුරු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත්ව සිටියත් සැකකරුවන් අල්ලා ගැනීමට ඔවුන්ද කටයුතු කර නොමැති බවද ඒ අනුව මේ ප්‍රහාරය පිළිබඳව මෙම චූදිතයන්ට  පමණක් චෝදනා කළ නොහැකි බවද අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු දැක්වීය.

 

රටේ ආරක්‍ෂක අංශය භාරව ඉන්න එකම පුද්ගලයා ආරක්‍ෂක ඇමැති වන ජනාධිපතිවරයා බවත් ආරක්‍ෂක ලේකම්වරයා වුවද ක්‍රියා කළ යුතු වන්නේ එම අණින් බවත් ඒ අනුව ආරක්‍ෂක ලේකම්වරයාට පමණක් වරද පැටවිය නොහැකි බවත් අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ), 30, 44 (ආ) (1), 52 යන වගන්ති පිළිබඳව අවධානයට යොමු කරන ලෙසත්, රටේ ආරක්‍ෂාව පිළිබඳව මෙම විත්තිකරුවන් දෙදෙනාට පමණක් චෝදනා එල්ල කළ නොහැකි බවත්, ඒ අනුව අධිකරණ මනසකින් බලා මේ පිළිබඳව තීරණ ගන්නා ලෙසත් අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

නඩුවේ දෙවැනි චූදිත වන අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ලබන අධිකරණ දිනයේ අදහස් දැක්වීමට නියමිතය.

 

ඒ අනුව නඩුව ලබන 19 හා 20 වැනි දිනයන්වල නැවත කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.

 

ඉකුත් ජූලි මස 03 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පූජිත් ජයසුන්දර යන මහත්වරුන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එදින බන්ධනාගාරගත කර මොවුන්ට 09 වැනි දින මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදී තිබිණි. ඒ අනුව මහෙස්ත්‍රාත්වරියගේ ඇප තීන්දුවේ සඳහන් කරුණු 44 අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන අයැදුම්පත්‍රය ගොනු කර තිබිණි.

 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com