www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තරු පහේ වාහනයෙන් යන වමතින් යෂ්ටිය දරන ෆීල්ඩ්, ෆ්ලීට්, එයාර් මාර්ෂල්වරු


2019-08-13 11:35:36 -  1792 යි

දහස් ගණනින් වූ යුද්ධ හමුදා රථ අතර තරු සවිකර දිවෙන වාහන සිය ගණනකි. ඒ අතරින් තරු පහක් සවිකර දිවෙන වාහන ඇත්තේ එකකි. එහි හිමිකරුවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාය.

පසුගිය බ්‍රහස්පතින්දා (07) දා සිට අපේ රටේ තරු පහේ වාහන සංස්කෘතියට තවත් වාහන දෙකක් එකතු වූයේය. ඒ ජෙනරාල් සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් නිලය ලබා දුන්නා සේම විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩට අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් හා විශ්‍රාමික එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලකට මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් යන හමුදාමය නිල නාමයන් ලබාදීමත් සමගිනි.

ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැසට් පත්‍රයක් මගින් මෙම නිල නාමයන් ප්‍රදානය කළේය. ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘ භූමියෙන් තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භීතභාවය, ජාතියට පුද කළ ප්‍රශංසාත්මක සේවය හා සිදු කළ අද්විතීයම මෙහෙවර උදෙසා ගෞරව නිල නාමයන් ප්‍රදානය කෙරුණු බව ගැසට් පත්‍රයේ සඳහන් වේ.

මේ අනුව ෆීල්ඩ් මාෂල් සරත් ​ෆොන්සේකාට ලැබූ ගෞරවාන්විත තත්ත්වය ඔවුනට ද හිමි වන්නේය. මෙය හමුදාවක නිලධාරියකුට ලබාගැනීමට හැකිවන ඉහළම නිලයද වේ. බොහෝ විට මෙම නිලයට හිමිකම් කීම සඳහා එකී හමුදාවන් තුළ සෙබළුන් කිසියම් සංඛ්‍යාවක් සිටිය යුතු අතර එලෙසම නාවික හා ගුවන් හමුදාවද අදාළ නැව් හා ගුවන් යානා සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය. නමුත් ජාත්‍යන්තර පිළිගැනීම නොසලකා රටක ජනාධිපතිවරයාට සන්නද්ධ හමුදා සේනාවිධායක ලෙස මෙවැනි තත්ත්වයන් ලබාදිය හැකිය. අපේ රටේ මෙවැනි උසස්වීමකට බලපෑ ප්‍රධානම හේතුව වන්නේ මෙකී ත්‍රිවිධ හමුදාපතිවරුන් දශක ගණනාවක් පැවැති දරුණු යුද්ධයක් නිමා කිරීමයි.

ෆීල්ඩ් මාෂල් වැනි නිලයන් පිළිබඳව වැඩි කතාබහක් ඇත්තේ දෙවැනි ලෝක යුද්ධය සමයේය. එකල කරළියේ කතාබහට ලක් වූ ෆීල්ඩ් මාෂල්වරයෙක් වන්නේ ජර්මානු යුද සෙන්පතියකු වන ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල්ය. ඔහු කාන්තාරයේ හිවලා (desert fox) ලෙසද හඳුන්වයි. දහදිය, රුධිරය ආරක්ෂා කරයි යන්න ඔහුගේ ප්‍රකට ප්‍රකාශවලින් එකකි. සන්නද්ධ රථ සටන්වල දී හෙතෙම සතුරු බලඇණි වෙත කඩා පැන, ඔවුන් විනාශ කරන්නේ කිසිවකුට හෝ සිතා ගැනීමටත් නොහැකි අයුරිනි. නමුත් ෆීල්ඩ් මාෂල් රොමෙල්, දෙවැනි ලෝක යුද සටනේ, බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාෂල් බර්නාඩ් මොන්(ට්) ගොමරි අතින් පරාජයට පත් වන්නේය. ෆීල්ඩ් මාෂල් රොමෙල් පරාජයට, පත් වූ‍යේ එල් අල්මෙයින් සටනේදීය. එයින් ජයග්‍රහණය තහවුරු කර ගත් ෆීල්ඩ් මාෂල් ගොමරි ඔව(ර්) ලෝඩ් සිට නෝමැන්ඩි දක්වා සටන මෙහෙයවූවේය. එංගලන්ත නෝමැන්ඩි සටන ඉතිහාසගතව ඇත්තේය.

නෝමැන්ඩි සටනේදී මිත්‍ර හමුදාවට අණ දුන්නේ ඇමෙරිකානු ජාතික තරුපහේ ජෙනරාල්වරයා වූ අයිසන් හවර්ය. ඔහු ගුවන් හමුදාව මෙහෙයවන්නේය. නමුත් පැරෂුට් හමුදාව මගින් සැලසුම් කළ මාර්කට් ගාර්ඩින් ක්‍රියාන්විතය අසාර්ථක වන්නේය. නමුත් ඔහුද දක්ෂ සෙනෙවියෙකි. පසු කාලයේදී ඔහුට පුද කෙරෙන ගෞරවයක් ලෙස කුඩා ගුවන් යානා රැගෙන යන විශාල ගුවන් යානා ඔහු නමින් නම් කරන්නේය.

ෆීල්ඩ් මාෂල්වරුන් පිළිබඳ කතා කිරීමේදී අමතක කළ නොහැකි ෆීල්ඩ් මාෂල්වරයකු වන්නේ ඉන්දියාවේ ෆීල්ඩ් මාෂල් මානික්ෂෝය. එකල ඉන්දියාවට ඉහළ දෙපසින්ම පිහිටියේ පාකිස්තානයයි. එහි නැගෙනහිර කොටසින් තර්ජනයක් එල්ල විය. මෙය මර්දනය කිරීමට මුල් වූයේ මනික්ෂෝය. නැගෙනහිර කොටස පසු කාලීනව බංගලාදේශය බවට පත් වූයේය.

මීට අමතරව මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් තනතුර හිමි වූ අයෙක්ද සිටියි. ඒ අර්ජාන් සිංය. (Arjan singh)

මෙම නිලය ගෞරවාන්විත තත්ත්වයකි. මෙය බොහෝ රටවල රාජකීයයන්ට ගෞරවයක් ලෙස ලබා දීමට පියවර ගෙන ඇත්තේය. එංගලන්තයේ ඩියුක් ඔෆ් එඩින්බරෝ හෙවත් පිලිප් කුමරු වෙත මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් හිමිව ඇති බවට අන්තර්ජාලයේ සඳහනක් වේ. එසේම තායිලන්ත රැජනක් වන සිරිකිට් (Sirikit) රැජනටද මාෂල් ඔෆ් එයා ෆෝස් නිලය ලබාදී තිබේ. මෙම තනතුරු හිමි බොහෝ දෙනකු රාජකීයයන්ය. තනතුරු ලබාදීමේදී රටකින් රටක ක්‍රමවේදයද වෙනස් බව පැවසේ. අන්තර්ජාලයේ සඳහන් කරුණුවලට අනුව අවසන් වරට මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් තනතුර ලැබී ඇත්තේ රාජකීය ගුවන් හමුදාවේ ජැක් ස්ට්‍රියුප්ටය. (Jack Stirrup) ඒ 2004 වසරේදීය.

පළමු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිලය හොබවා ඇත්තේ රාජකීය නාවික හමුදාවේ නිලධාරියකු වන ජෝන්ඩි බිචෑන්ට්ටය.

පළමු ලෝක යුද සමයේ ජෝන් පනින්හැම් (John Puningham) සහ අන්ඩෲ පනින්හැම් යන දෙදෙනාට අද්මිරාල් ඔෆ් ෆ්ලීට් නිලය ලබාදී තිබේ.

දෙවැනි ලෝක යුද සමයේ මවුන්ට් බැටන් සාමිවරයාට අද්මිරාල් ඔෆ් ෆිලීට් නාමය ලබාදී ඇත. ඔහු 1943 හා 1946 වකවානුවල ගිනිකොන ආසියා මුහුදු තීරයට අණ ලබා දුන්නේය. ඔහු රාජකීය නාවික හමුදාවේ කටයුතු කළද ඔහු ඉපදී ඇත්තේ බුරුමයේය.

තරු පහේ නිලය සඳහා බොහෝ තත්ත්වයන් හිමිය. නිල ධුරාවලියට අනුව හිමිවන්නේ පස්වන කාණ්ඩයේ සී ස්ථානයයි. ජනාධිපති, අගමැති, කථානායක, අග්‍රවිනිශ්චයකාරට පසුව කැබිනට් අමාත්‍යවරුන්ය. එහි ඒ කොටසෙහි සිටින්නේ අමාත්‍යවරුන්ය. බී කොටස විපක්ෂනායකට හිමිය. තරු පහේ නිලයට හිමි වන්නේ සී කොටසයි. යම් උත්සවයකදී ස්වදේශ කටුයුතු අමාත්‍යාංශය විසින් අසුන් පනවන්නේ මේ ධුරාවලියට අනුවය.

එම නිසා තරු පහේ තනතුරු කැබිනට් අමාත්‍යවරයකු හා සම තැන් ගන්නේය.

මෙකී තනතුරු සඳහා නිල කාර්ය මණ්ඩලයක් සහ නිල රථ වාහන ද හිමි වේ. මොවුන් ගමන් ගන්නා රථය තරු පහකින් සමන්විතවේ. රට රටවල් සඳහා ආවේණික ක්‍රම යටතේ ලාංඡනය හිමි වේ. බ්‍රිතාන්‍යයේ ඔටුන්න මුල්කර ගනිමින් උරහිස් ලාංඡනය නිම වී ඇත. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ලාංඡනය නිමවා ඇත්තේ අපගේ රාජ්‍ය ලාංඡනය මුල් කරගනිමිනි.

යෂ්ටියද මෙම තනතුර සතු සං​කේතයකි. සාමාන්‍ය හමුදා නිලධාරියකු යෂ්ටිය දරන්නේ දකුණු අතෙහිය. නමුත් තරු පහේ ජෙනරාල්වරයකු යෂ්ටිය දරන්නේ වම් අතෙනි.තරු පහේ ජෙනරාල්වරයකු ආචාර කරනුයේ රටක ජනාධිපතිට හෝ රටෙහි රජතුමාට පමණි.

සේවා දිගුවක් නොලැබුවහොත් ත්‍රිවිධ හමුදාවේ සෑම නිලධාරියකුම අවුරුදු පනස්පහෙන් විශ්‍රාම යැවේ. සේවා දිගු ලැබෙන්නේ හමුදාපතිවරුන්ටය. මොවුනට මෙම වරප්‍රසාදය ජීවිත කාලය පුරාම හිමිය.

තරු පහේ තනතුරු පිරිනැමීම සිදු කරනුයේ රටක ජනාධිපති සහභාගි වන සම්මානනීය පෙළපාළියකිනි.

 

ශිරෝමි රත්නායක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com