www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මත්තලට එන අබිරහස් ගුවන් යානා


2019-08-07 11:55:38 -  464 යි

කලෙක රටම භීතියට පත් කළ අබිරහස් යානා වූයේ කොටින්ගේ කුරුම්බැට්ටි යානාය. එදා කොටි ත්‍රස්තයන් තම සැහැල්ලු ගුවන් යානා කොළඹටත් එව්වේය. එම අබිරහස් යානා එක්වරම මතුවී අතුරුදන් වෙද්දී රටම භීතියට පත්විය. නමුත් ඒ කෙටි කාලයකටය.

දැන් යළිත් අබිරහස් යානා ගැන කියවෙන්නට පටන් අරන්ය. ඒ පසුගියදා සිදු වූ අන්තවාදී ත්‍රස්තයන්ගේ පාස්කු ප්‍රහාරය නිසා රටම භීතියට පත්ව ඇති මොහොතකය.

නමක් නැති අබිරහස් ගුවන් යානයක් පසුගියදා කටුනායක ගුවන් තොටට පැමිණ තිබුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පසුගිය 25 දින ඒ කිසිදු නමක් නොමැති කටුනායකට පැමිණි අබිරහස් යානය කුමක්දැයි රටට වහා හෙළි කරන්නැයි රජයට බලපෑම් කළේය.

එන් 513 එස්.එන්. (N513SN) අංකය පමණක් ඇති කුමන රටක, කුමන ගුවන් සේවයකට අයත්දැයි සටහන් නොවූ මෙම යානය ගැන වූ එම හෙළිදරව්වෙන් පසුව අරුණ ඒ ගැන සොයා බැලුවාය. ලද තොරතුරුවලට අනුව එම ඇමෙරිකානු ගුවන් යානය මෙරටින් පිටව ගියේ කුවේට් රාජ්‍යයටය. අගෝස්තු 01 දා වන විට එම ඇමෙරිකානු යානය දකුණු කොරියාවේ සිට කසකස්තානයේ අල්මැටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොස් තිබුණේය.

ඒ අයුරින් ඇමෙරිකානු ගුවන් යානා කටුනායකට පමණක් නොව මත්තලටද පැමිණ තිබුණි. එම යානා හදිසියේ මත්තලට පැමිණීම ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයට මෙන්ම ආරක්ෂක අංශවලටද සැකසංකා ගෙන දුන්නේය. ඒවායේ කාර්ය මණ්ඩලයේ සැකකටයුතු හැසිරීම් යන හේතු කාරණා මතය.

පාස්කු ඉරිදා ප්‍රහාරය දිනයේ මත්තල ගුවන් තොටුපොළේ තිබූ ඇමෙරිකානු හමුදා යානය එදින (21) උදෑසන 6.30ට ශ්‍රී ලංකා උඩු ගුවනට නැගුණේය. එතැන් පටන් බෝම්බ ප්‍රහාරය සිදුවී උදෑසන දහය වනතුරුත් යානාව තිබී ඇත්තේ මෙරට උඩු ගුවනේය. මෙය අප්‍රේල් 18 දින මෙරටට පැමිණ තිබුණේ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට බව දන්වමිනි. පාස්කු ප්‍රහාරයට කලින් දින (20) මත්තල නවතා තිබූ ඇමෙරිකානු යානාව උඩුගුවනට ගොස් යුද අභ්‍යාසයකට සැරසුණේ පාස්කු ප්‍රහාරය කලින් දැන සිටි නිසාද යන්න දැන් මතුව ඇති ප්‍රශ්නයයි.

අවි ආයුධ, කැරලි මර්දන උපකරණ ඇතුළු දෑ සහිත මෙම ගුවන් යානය ප්‍රහාරයෙන් පැය හතළිස් අටකට පසුව මත්තලින් පිටව යන්නේය. ප්‍රහාරය කලින් දැන මොවුන් මෙරටට පැමිණියාද යන්න මෙහිදී මතුව ඇති සැකයකි.

පාස්කු ප්‍රහාරයට සතියකට කලින් මත්තල ගුවන් තොටුපොළට පැමිණි ඇමෙරිකානු යුද ගුවන් යානයක කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණේත් සැකසහිත ලෙසය. කාන්තාරවල භූමියට සරිලන ලෙස හැඳගත් යුද ඇඳුම් සහිත ඇමෙරිකානු භටයන් විසිඅට දෙනෙක් එහි සිටි බව ගුවන් තොටුපොළ වාර්තාවල සඳහන්ය.

මෙම ඇමෙරිකන් යානය මත්තල තිබියදීම ඉන්ධන ලබාගැනීමට බව කියා මත්තලට පැමිණි අනිත් යානයෙන් රට තුළට ගෙන ආ දේ අදටත් රහසක්ව ඇත. ඒවායේ තිබූ පෙට්ටිවල තිබුණේ අවි ආයුධද යන්න බුද්ධි අංශ පාර්ශ්වවලට පවා ඇති සැකයයි. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියට මෙරට ගුවන්තොටුපොළවලට දිනපතා පැමිණෙන ගුවන් යානා සම්බන්ධ ලේඛනය (DMR) පරීක්ෂා කිරීමෙන් මෙරටට පැමිණි යානාවල විස්තර ලබා ගත හැකිය. යළිත් නුදුරේදීම මත්තලට යුද අභ්‍යසයක් කරන්නට වන සූදානමක් ගැන තොරතුරු ඇත.

මත්තල ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානවලින් බහුතරයක් ඉන්ධන ලබාගැනීමට හා සේවකයන්ට විවේක ගැනීමට බව කියා පැමිණියත් එම ගුවන් ගමන්වලත් ප්‍රශ්නාර්ථ මතුවෙමින් පවතියි.

2018 අප්‍රේල් 19 දා ලොව විශාලතම ප්‍රවාහන ගුවන් යානයක් වන ඇන්ට​නොව් 225 යානාව මත්තල ගුවන් තොටුපොළට පැමිණ මොහොතේ එක් දිනකදී පමණක් රුපියල් මිලියන දහතුනක් මෙරටට ලැබී තිබිණි. ඒ යානයට ඉන්ධන ලබා ගැනීම හා කාර්ය මණ්ඩලයට ආහාර, නවාතැන් ඇතුළු පහසුකම් සැපයීම වෙනුවෙනි.

මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර අවි ආයුධ ඒජන්තවරුන් විසින් තම අවි ආයුධ බෙදා හැරීමේ මෙහෙයුම් මූලස්ථානයක් ලෙස යොදා ගන්නේ දැයි බුද්ධි අංශ වෙත සැක මතු වී තිබේ.

මෙම සැකය මතු වී ඇත්තේ මෙරටට පැමිණෙන යු‌ක්‍රේන් ඇන්ටනොව් ගුවන් යානාවල ඇති උපකරණවල තොරතුරු මෙරට බලධාරින්ට නොදීම, ගුවන් ගමන්වල විස්තර සැඟවීම ඇතුළු සැකකටයුතු කාරණා රැසක් ඔස්සේ විමර්ශන කිරීමේදීය.

යු‌ක්‍රේන්, පාකිස්තාන්, උගණ්ඩා, අසර්බයිජාන්, ඉන්දුනීසියා, දකුණු අප්‍රිකානු ඇතුළු රටවල් අතරේ වන මෙම අවි ආයුධ හුවමාරුව මත්තල ගුවන්තොටුපොළ ඔස්සේ සම්බන්ධීකරණය වන බවට බුද්ධි අංශවලට තොරතුරු හෙළි වී තිබේ.

ගත වූ දෙවසර තුළ ඇන්ටනොව් ගුවන් යානා තිහක් පමණ මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩබා ඇති බව ගුවන්තොටුපොළ තොරතුරුවල සඳහන් වේ. එසේ පැමිණි ගුවන් යානාවලින් බහුතරයක බර අවි, රසායනික ද්‍රව්‍ය හා වහා ගිනි ඇවිලෙනසුලු පුපුරන ද්‍රව්‍ය තිබූ බවට සාධක හෙළි වී ඇත.

කැස්පියන් මුහුද ආසන්නයේ පිහිටි අසර්බයිජානයේ පිහිටි බාකු ගුවන් තොටුපොළ හරහා පැමිණෙන අවි ආයුධ හා යුද උපකරණ රැගත් ඇන්ටනොව් වර්ගයේ යු‌ක්‍රේන් ගුවන් යානා තම ගනුදෙනු සිදුවනතුරු රැඳී සිටින ගුවන් තොටුපොළ ලෙස තෝරාගෙන ඇත්තේත් මත්තල බව පැවසේ. ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වූ මෙම පුපුරන ද්‍රව්‍ය හා යුද අවි සහිත ගුවන් යානා දින ගණන් ගුවන්තොටුපොළේ රැඳුනද රජයේ බලධාරින් දැනුවත්ව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත්, එහි සිටින රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශ නියෝජිතයන් පවා මෙම තත්ත්වය ගැන අවධානයෙන් සිටින බවත්, මත්තල ගුවන්තොටුපොළ මිලදී ගැනීමට සූදානමින් සිටින විදෙස් රටක ඔත්තු සේවාවක්ද මේ ගැන අවධානයෙන් සිටින බවත් අරුණ කළ සොයා බැලීමේදී හෙළි විය.

ගත වූ කාලය තුළ පැමිණි ගුවන් යානා අතර AN 124 (UR 82029), AN 124 (UR 82008), An 124 (UR 82073), AN 124 (UR 82029), AN 12 (URC 22), AN 124 (UR 82073), AN 12 (URCGV), AN 12 (UR 819), An 12 (UR CGW), AN 124 (UR 82072), AN 12 (UR CGV), AN 12 (UR CAT) යන ඇන්ටනොව් ගුවන් යානා මෙරටට පැමිණ ඇතැයි රත්මලාන ප්‍රධාන ගුවන් ගමන් පාලක මධ්‍යස්ථාන (ACC) වාර්තාවල සඳහන්ය. මෙම සියලුම ගුවන් යානාවල රුසියානු ගුවන් කාර්ය මණ්ඩලයක් පැමිණෙන බවත්, ඔවුන් ඉංග්‍රීසි නොදන්නා බව හඟවමින් තොරතුරු ලබා දීම මගහරින බවත් ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගත වූ දෙවසර තුළ ඇන්ටනොව් යානා දිගටම ආවත් 2018 ඔක්තෝබර් 26 දා සිට එක්වරම එම ගුවන් යානා පැමිණීම තාවකාලිකව නැවතී ඇත.

ඉන්පසුව යළිත් යුද උපකරණ රැගත් ඇන්ටනොව් ගුවන් යානාවක් මෙරටට එන්නේ පසුගිය සිකුරාදා (26) රාත්‍රී 1.51 ටය. අසර්බයිජානයේ බාකු ගුවන්තොටුපොළේ සිට UR 82007 දරන ඇන්ටනොව් 124 වර්ගයේ මීටර් හැටනවයක් දිගැති ගුවන් යානාව මත්තලට පැමිණ ඉන්දුනීසියාවේ මකසාර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යන්නේ ඉරිදා (28) උදෑසනය.

මත්තල ගුවන් තොටුපොළ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරියගෙන් අරුණ කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මත්තලට පැමිණ තුන්වැනි ගුවන් යානාව මෙය බවය.

ඇන්ටනොව් යානා යුක්රේන්වලින් එන ප්‍රවාහන ගුවන් යානා. ඒවායේ හෙලිකොප්ටර්, කෝච්චි එන්ජින් ඇතුළු දෑ එනවා යැයි හෙතෙම අරුණ කළ විමසීමකදී පැවසීය.

මෙම ගුවන් යානාවල අවි ආයුධ හා අන්තරායකර පුපුරන ද්‍රව්‍ය ගෙන ඒම සම්බන්ධව කළ විමසුමකදී ඔහු සඳහන් කළේ, ඒවා එද්දී රජයට දැනුම් දීලා එන්නේ. එතකොට රජයේ ආරක්ෂිත පියවර අනුගමනය කරනවා යනුවෙනි.

කෙසේ වුවත් මෙතෙක් මෙරටට පැමිණි ඇන්ටනොව් යානා අතරින් බොහෝමයක් තම ගුවන් ගමන් මාර්ගය නිශ්චිතව දැනුම් නොදී රහසේ ගමන් ගන්නා බවත්, ඒවා ගුවන් යානාවල ලියාපදිංචියටත් සොයාගත නොහැකි ලෙස පැමිණෙන ඒවා බව හෙළි වී ඇත. ඒත් ගුවන් ගමන් පාලක මැදිරියට ව්‍යාජ තොරතුරු දී පිටව ගිය යානා පිළිබඳ තොරතුරු පවා මේ වන විට හෙළි වී ඇත. ගුවන් යානා තුළ පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ තිබේ නම් අන්තරායකාරී භාණ්ඩ, රෙගුලාසි (Dangerous Goods Regulations - DGR) අනුව එය අදාළ රටට දැන්විය යුතුය. එසේ වුවද, ලංකාවට ඒවා ගොඩ නොබාන පදනම මත මේවායේ ඇති පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ ගැන තොරතුරු ලබා නොදීමට ගුවන් යානාවල පැමිණෙන කාර්ය මණ්ඩල කටයුතු කර ඇත.

2018 දෙසැම්බර් 25 දා මත්තලට පැමිණි ඇන්ටනොව් ගුවන් යානය පසුදින (26) ගුවන්ගත කිරීමට යාමේදී එන්ජිමේ ඇති වූ ගින්න නිවා දමනු ලැබුවේ ගුවන්තොටුපොළ ගිනි නිවීම් කාර්ය මණ්ඩලයේ දක්ෂතාවෙනි. එම යානාවේ පුපුරන ද්‍රව්‍ය ඇති බවට තොරතුරු තිබුණද ගින්න නිවා දැමූ පසුවවත් එය පරීක්ෂා කිරීමට මෙරට බලධාරින්ට අවසර දී තිබුණේ නැත.

ගිනිගත් ගුවන් යානයේ ගින්න ඇති වනතුරු අන්තරායකාරී භාණ්ඩ තිබූ බවට සඳහනක් ගුවන් තොටුපොළට ලබාදී නොතිබුණේය. ගින්නෙන් පසුව අලුතින් ඊමේල් පණිවුඩයක් එවා අන්තරායකර භාණ්ඩ යානය තුළ තිබෙන බව දන්වා තිබුණේය.

සිවිල් ගුවන් සේවා නීතිය අනුව මෙවැනි සිදුවීමකදී පරීක්ෂණයක් කර ගුවන් යානාව පිට කිරීමට හැකියාව ඇතත් මෙම යානාව විවෘත කර පෙන්වීමට රුසියානුවන් ඉඩ දී නැති බව හෙළි වී තිබේ.

එහි වහා ගිනි ඇවිලෙනසුලුයි යනුවෙන් සඳහන් විශාල සිලින්ඩර තිබුණද ඒ ගැන ඔවුන් පවසා තිබුණේ නැත. මෙම විමර්ශනයට පැමිණි සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරියා ඉහළින් ලද උපදෙස් මත කිසිදු වග විභාගයකින් තොරව යානාව මුදා හැර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් උද්ගත වීමට ඉඩ ඇති බව සඳහන් කරමිනි. කෙසේ වෙතත් මත්තල ගුවන්තොටුපොළ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය පවසන්නේ එහි තිබුණේ ගුවන් යානා එන්ජින් බවය.

ශ්‍රී ලංකා ගුවන් කලාපයේ සිට අනෙක් රටවල ගුවන් කලාපවලට මෙම යානා ඇතුළු වීමට ගුවන් ගමන් අඩු අවස්ථා එනතුරු වෙනත් රටවල් ඉඩ ලබා නොදීම නිසා මේවා මත්තල රඳවා තැබීමට රුසියානුවන්ට සිදුවන බව ගුවන් තොරතුරු සේවය (AIS) වාර්තාවලින් අනාවරණය වෙයි.

වරෙක පාකිස්තානය බලා යාමට මත්තලට පැමිණි යානයකට දින හතරක් යනතුරු ඉන්දියාවෙන් අවසර ලැබී තිබුණේ නැත.

සාමාන්‍යයෙන් ගුවන් යානයක් පැය දොළහකට වඩා ගුවන්ගත වී නම් (FDB) කාර්ය මණ්ඩලයට විවේක ගැනීමට ළඟම ගුවන් තොටුපොළට ගොඩබාන අතර ඒ සඳහා යු‌ක්‍රේන් යානා තෝරාගෙන ඇත්තේ මත්තල වීම විශේෂිතය. එසේ පැමිණ දින තුන හතර මත්තල ගුවන් යානා රඳවා ගන්නේ යා යුතු රටින් දැනුම් දීමක් ලැබෙනතුරුය.

Flight Rader 24 නමැති වෙබ් අඩවිය හරහා ලොව ඕනෑම ගුවන් යානයක ගමන් මාර්ගය සජීවීව බලා ගත හැකිය. එහෙත් බොහෝ අවස්ථාවල මත්තලට එන ඇන්ටනොව් යානාවල ගමන් මාර්ගය ඒ හරහා දැකගත නොහැක්කේ ගුවන් යානයේ එස්.එස්.ආර්. රේඩාරයේ සීමෝස් නමැති උපාංගය විසන්ධි කිරීම නිසාය. මෙම ගුවන් යානා බොහෝ අවස්ථාවල ඒ අයුරින් ගමන් කරන අතර පසුගිය සතියේ පැමිණි යානයක් ඒ අයුරින් නොපෙනී ලංකාවෙන් පිටවී තිබිණි. ඇන්ටනොව් ගුවන් යානා අතරින් එකක් අසර්බයිජාන් බාකු ගුවන් තොටුපොළේ සිට එද්දී හදිසියේ ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොළ වෙත ගොඩබා කාර්ය මණ්ඩලයට විවේක ගැනීමට කියා යළි මත්තලට පැමිණ තිබුණේය. අවි ආයුධ රැගත් එම ගුවන් යානාව දවස් තුනක් මත්තල රැඳී සිට නැවත ගොස් තිබුණේ ඉන්දියාවේ ගෝවා වෙතය. මුම්බායි සිට ගෝවා ගුවන්තොටුපොළට පැය භාගයක් ඇතුළත යා හැකි වුවත් මෙම ගුවන් යානය මත්තලට පැමිණ තිබුණේ ඉන්දියානු ගුවන් තොටුපොළවල් තුළ අධි අවදානම් සහිත අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන යානා තම ගුවන් තොටුපොළවල රඳවා නොගන්නා බවට සඳහන් නිසාය.

මත්තලට මෙවැනි ගුවන් යානා පැමිණීමෙන් ආදායමක් ලැබෙන බව සැබෑය. නමුත් රටට විදේශ විනිමය බලාපොරොත්තුවෙන් ජාතික ආරක්ෂාවටත් ගුවන් ​තොටුපොළටත් තර්ජනයක් වන මෙවැනි දේ යොදා ගැනීම අනාගතයට ප්‍රශ්නයක් පැන නගිනු ඇත.

මෙහි සත්‍ය තහවුරු කරගන්නට අවශ්‍ය නම් මත්තල, රත්මලාන මෙන්ම කටුනායකිනුත් සංඛ්‍යා දත්ත ඔස්සේ විමර්ශනයක් කළ හැකිය. ඉන්දියාව ඇතුළු රටවල් රැසක් රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් විය හැකි වන නිසා මෙවැනි ගුවන් යානා තම රටේ ගුවන් තොටක නවත්වන්නට අවසර නොදෙන්නා සේ ඉදිරියේ අප රටද ක්‍රියා කරනු ඇතැයි සිතන්නට තවම කල් වැඩිය.






  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com